ග්‍රාමශක්ති නව මුහුණුවරකින් ඇරැඹුවේ දුගී ජනතාව ඉලක්ක කරගෙනයි | දිනමිණ

ග්‍රාමශක්ති නව මුහුණුවරකින් ඇරැඹුවේ දුගී ජනතාව ඉලක්ක කරගෙනයි

මහින්ද අලුත්ගෙදර

* නමින් ග්‍රාම ශක්ති වුවත් නාගරික ප්‍රදේශවලත් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි
* ජනලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව මේ ගම් තෝරා ගත්තේ පක්ෂ භේදයකින් තොරව
* මැතිවරණ වර්ෂයක් කියා ඡන්ද දෙස බලාගෙන සිටියොත් අපේ සංවර්ධන කටයුතු පහළට වැටෙනවා

ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය සඳහා ඒ ඒ ගම්මාන තෝරාගෙන තිබෙන්නේ කිසිඳු දේශපාලන පසුබිමකින්, පක්ෂ භේදයකින් තොරව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තා මත පදනම්ව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවේ එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල වැඩිම දුගීභාවයක් සහිත ග්‍රාමසේවා වසම් එක් එක් අදියරේ දී තෝරාගෙන මේ වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙන බව පවසන ඒ මහතා මේ සම්බන්ධයෙන් සෑම අංශයකම අවධානය යොමු කරවීමේ අපේක්ෂාවෙන් ග්‍රාමශක්ති සතියක් ප්‍රකාශයට පත්කර තිබෙන බවද පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ගම්පහ, හේනේගම ගෝල්ඩන් රීච් හෝටලයේ දී පෙරේදා (18) පැවැති ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ බස්නාහිර පළාත් මෙහෙයුම් කමිටු රැස්වීම අමතමිනි.

එළඹෙන 2030 පමණ වනවිට දිළිඳුබවින් තොර ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ ඇතිව ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ක්‍රියාත්මක කෙරෙන අතර අධ්‍යාපනය, සෞඛ්‍ය හා පෝෂණය, රැකියා උත්පාදනය, ව්‍යවසායකත්ව සංවර්ධනය සහ ආයතන ව්‍යුහය ආදී අංශ කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරයි. දිරිමත්ව, සවිමත්ව, විධිමත්ව සංවිධානය වී දිළිඳු බවින් මිදී දියුණුවේ මාවතට පිළිපන් ශ්‍රී ලාංකීය ජනතාවක් නිර්මාණය කිරීම මෙහි තේමාවයි.

එහිදී වැඩිදුරටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, මෙසේද කීය.

ගම්පහ දිස්ත්‍රික්කයේ දී අද බස්නාහිර පළාත මුල්කර ගනිමින් ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය තවත් වැදගත් අවස්ථාවකට එක්වන්න ලැබීම ගැන සතුටු වෙනවා. අද සිට සතියක් ග්‍රාම ශක්ති සතියක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. මේ වැඩසටහන පටන් ගෙන වසර තුනක් පමණ වෙනවා. මේ වසරේ මුලම සතියක් නම්කළේ මේ සම්බන්ධයෙන් සෑම අංශයකම වැඩි අවධානයක් යොමු කිරීමටයි. විශේෂයෙන්ම දේශපාලන නායකත්වයත් රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම වගේම මෙයින් ප්‍රතිලාභ ලබන ග්‍රාමීය ජනතාවට මෙයින් අත්වන ප්‍රතිලාභ ලබාදෙන්න මේ ගෙනයන වැඩසටහන ජනතාව තුළ සහ අනෙකුත් අංශවල දැඩි ලෙස අවධාරණය කරන්නයි සතියක් අපි ප්‍රකාශයට පත් කළේ. එසේ නොමැතිව සතිය පටන් ගෙන දවස් හතෙන් මේ වැඩසටහන් අවසන් වන්නේ නැහැ.

විශේෂයෙන්ම පසුගිය වසර දෙකහමාරක අත්දැකීම් සමඟ මේ වසරේ මේ වැඩසටහන තවත් කාර්යක්ෂම කිරීම අරමුණ වී තිබෙනවා. අපි සෑම අයෙකුටම තිබෙන ප්‍රබලම අභියෝගය දුගී බවයි. දුගීබව තුරන් කිරීම සඳහා පසුගිය වසර 50ට වඩා කාලයක් විවිධ රජයන් විවිධ වැඩසටන් කළා. ඒ වැඩසටහන්වල අත්දැකීම් සමඟ අපි ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය නව මුහුණුවරකින් ආරම්භ කළේ සෘජු ලෙසම ගම්වල සිටින දුගී ජනතාව ඉලක්ක කරගනිමින්. මේ ගම්මාන තෝරා ගැනීමේ දී කිසියම් දේශපාලන පසුබිමකින්, පක්ෂ භේදයකින් තොරව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව ශ්‍රී ලංකාවේ එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල වැඩිම දුගීභාවයක් සහිත ග්‍රාමසේවා වසම් තමයි එක් එක් අදියරේ දී තෝරාගෙන මේ වැඩසටහන ක්‍රියාත්මක කළේ.

ඒ නිසා මේ තෝරා ගැනීමේ දී මූලිකවම ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තා පදනම් කරගෙන තිබෙනවා. මම විශ්වාස කරනවා අපි දැනට මේ ගෙනයන වැඩපිළිවෙළීන් අපේ අත්දැකීම් සමඟ අනෙකුත් වැඩසටහන් සාර්ථක කර ගන්න ඔබගේ සහාය ලැබෙන බව. ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වන ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවල මෙහෙයුම් පිළිබඳව එක් වැඩපිළිවෙළක් යනවා නම් හොඳයි කියා ව්වා. එය ඉතාම වැදගත්. මොකද රජය විසින් ක්‍රියාත්මක කරන වැඩසටහන් රැසක් තිබෙනවා. සමෘද්ධි, ගැමිදිරිය, ගම්පෙරළිය වැඩසටහන් රැසක් තිබෙනවා. මේ සියලු අංශ දිසා ලේකම්, ප්‍රාදේශීය ලේකම් මූලික වශයෙන් අවශ්‍ය නායකත්වය ගෙන අවශ්‍ය සම්බන්ධීකරණය කිරීම වැදගත් වෙනවා. එයින් එහාට පළාත් සභා, රේඛීය අමාත්‍යාංශය ආදි වශයෙන් මේ කටයුතු කරගෙන යන්න පුළුවන්.

මේ ගැන පාර්ලිමේන්තුවේ සියලු මැති ඇමැතිවරුන්, ආණ්ඩුකාරවරුන්, පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට අපි චක්‍රලේඛ වරින් වර යවා තිබෙනවා. ඒ නිසා අපි මේ වැඩසටහනේ දී දුගී බව අවම කිරීම අරමුණු කරගත් මූලික වැඩසටහන් ලෙස ගෙනයාමේ දී අපි ග්‍රාම ශක්ති වුණත් බස්නාහිර පළාතේ අධිනාගරික අධි දේශවලත් දුගී බව තිබෙනවා. දුගී බව ගත්විට කොළඹ නගරයේ විශේෂයෙන්ම වතු ආශ්‍රිතව දුගී බව තිබෙනවා. නමින් ග්‍රාම ශක්ති වුවත් නාගරික ප්‍රදේශවලත් මේ ව්‍යාපෘතිය තෝරාගෙන සුදුසු විදියට ක්‍රියාත්මක කිරීමට අදාළ නිලධාරීන්ට වගකීමකින් ක්‍රියාත්මක වන්න පුළුවන්. බස්නාහිර පළාත වශයෙන් ගත්විට ලක්ෂ 60ක ජනගහනයක් ඉන්නවා. නමුත් ලක්ෂ 10ක් පමණ දෛනිකව ජනතාවක් එනවා. ඒ සියලු දේම සමාජ, ආර්ථිකි ප්‍රශ්නවලට බලපානවා. දුගී බව සඳහා ද මේ සම්බන්ධයෙන් බලපෑමක් එල්ලවන බව අපි දන්නවා.

කොළඹ දිස්ත්‍රික්කයේ ජනගහනය ලක්ෂ 23ක් පමණ වෙනවා. දිළිඳු ජනතාව 19,796 ක් පමණ වෙනවා. නමුත් 42,000ක් පමණ සමෘද්ධිය ලබනවා කියනවා. මෙතන පොඩි ගැටලුවක් තිබෙනවා. සමෘද්ධිය ලබන පිරිසත් අඩු ආදායම්ලාභීන් තමයි. මේ තත්ත්වය නිවැරැදි කළයුතු වෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ ජනගහනය තුළ දිළිඳු ජනගහනය 45827 ක් පමණ වෙනවා. නමුත් සමෘද්ධි ප්‍රතිලාභීන් 108,315 ක් ඉන්නවා. කළුතර දිස්ත්‍රික්කයේ දිළිඳු ජනතාව 35,719ක් පමණ වුණත් සමෘද්ධි ප්‍රතිලාභීන් පමණක් 71,815ක් ඉන්නවා. මේ ආර්ථිකය කළමනාකරණය පිරිස් සමඟ ඒ කටයුතු නිවැරැදි වියයුතු වෙනවා. 2018 වසරේ ග්‍රාම ශක්ති ව්‍යාපාරය තුළ කොළඹ දිස්ත්‍රික්කයට රුපියල් මිලියන 47ක් පමණ වෙන්කර තිබුණා. ගම්පහ දිස්ත්‍රික්කයට රුපියල් මිලියනයක් සහ කළුතර දිස්ත්‍රික්කයට රුපියල් මිලියනයක් වශයෙන් වෙන්කර තිබුණා.

නමුත් 2019 වසරේ දී කොළඹ දිස්ත්‍රික්කයට රුපියල් මිලියන 117ක් ද ගම්පහට මිලියන 117 ක් සහ කළුතර දිස්ත්‍රික්කයට මිලියන 216ක් ද මුදල් වෙන්කර තිබෙනවා. ඒ මුදල් ඉදිරියේ දී ලැබෙනවා. ඒ අනුව විශේෂයෙන් බලාපොරොත්තු වන සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව සාකච්ඡා කර ඒ න්‍යාය පත්‍රවල වැඩසටහන්වලට ප්‍රමුඛත්වයක් දී ඉලක්ක සහගත ලෙස දුගී ජනතාවට මේ වැඩසටහන් කරන්න සහාය දෙන්න. මෙහිදී ඉදිරිපත් කළ යෝජනා සහ ගැටලු සම්බන්ධයෙන් දුගීබව අවම කර ගන්න සහාය දෙන්න. විවිධ ගැටලු සහ යෝජනා සම්බන්ධයෙන් මගේ ස්තුතිය පිරිනමනවා.

නිෂ්පාදනය කරන අයට අලෙවි කරන ස්ථාන පිළිබඳ ප්‍රශ්න තිබෙනවා. ඒ අයගේ හැකියාව, දක්ෂතා, කුසලතා අනුව නිෂ්පාදනය කරනවා. මේක හැමදාම තිබෙන ප්‍රශ්නයක්. මෙය පළාත් සභාව, පළාත් පාලන ආයතනවල බලධාරීන්ගේ අවධානය යොමු කළයුතු වෙනවා. ඒ අයට අලෙවි මධ්‍යස්ථාන ප්‍රශ්නය විසඳන්න පියවර ගන්න. අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාදෙන්න අපිට පුළුවන්. මේ සඳහා යහපත් ප්‍රතිචාර වගේම පසුගාමී ආකල්පද තිබෙනවා. එය අපේ සංස්කෘතියේ ප්‍රශ්නයක්. බොහෝ වෙලාවට ආත්ම ශක්තිය, ධෛර්ය අඩුවන තැන් තිබෙනවා. ඇතැම් වෙලාවට තමන් බලාපොරොත්තු වන ඉලක්කයට හොඳින් ගමන් කරනවා. විවිධ සමාජමය ප්‍රශ්න සමඟ පසුබෑම් ඇති වෙනවා. ඒ දුප්පත් ජනතාව ධෛර්යමත් කරන්න ඕනෑ. මේකෙන් ප්‍රතිඵල ගන්න පුළුවන් කියා ධෛර්යමත් කරන්න ඕනෑ. ඒ වෙනුවෙන් නිලධාරීන් නායකත්වය, මූලිකතත්වය ගතයුතු වෙනවා.

නිෂ්පාදන සහන සහ බදු සහන අවශ්‍ය වන්නේ කුමන අංශ සඳහා ද. ඒ සම්බන්ධයෙන් වාර්තා ගන්න. ඒ වෙනුවෙන් වැඩපිළිවෙළක් හදන්න ඕනෑ. ක්ෂණික ප්‍රතිඵල ඉල්ලනවා. අපේ සංස්කෘතියේ ප්‍රශ්නයක් මෙය. නමුත් එය සිදුවන්නේ නැහැ. අපි සත්‍ය තත්ත්වය පැහැදිලි කරදිය යුතුයි. මේ වසරේ විශාල මුදලක් වෙන්කර තිබෙනවා. එය නිසි පරිදි වැයකර ප්‍රතිඵල ගන්න. මේ වැඩසටහන සාර්ථක කර ගන්න ලබාදෙන සහයෝගය අගය කරනවා. මේ වසර මැතිවරණ වර්ෂයක් වශයෙන් පේන නමුත් නිලධාරීන් ඒ පැත්ත ගැන නොසිතා සංවර්ධන ඉලක්ක සඳහා තමන්ට වෙන්කර තිබෙන මුදල්, මැති ඇමැතිවරුන් මූලික වශයෙන් මුදල් වැයකිරීම සම්බන්ධයෙන් සංවර්ධනයේ ප්‍රමුඛතා හඳුනාගෙන ඒ ප්‍රතිපාදනවලින් ඉලක්ක සහගත ලෙස වැඩසටහන් ඉදිරියට ගෙනයාම ඉතාම වැදගත් වෙනවා.

මැතිවරණ වර්ෂයක් කියා ඡන්ද දෙස බලාගෙන කවුද ආණ්ඩුවේ ඉන්නේ, කුමක් ද වෙන්නේ කියා බල බලා සිටියොත් අපේ සංවර්ධන කටයුතු පහළට වැටෙනවා. අද වනවිට අපේ රටේ ආර්ථික සංවර්ධන වේගය විශාල පසුබෑමක තිබෙන්නේ. ඒ නිසා අපි රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්න මේ වසරේ දී විශාල කැපකිරීමක් අවශ්‍ය වෙනවා. ඒ නිසා මේ සියලු අංශවලට සහාය දෙන ඔබ සැමට ස්තුතිය පිරිනමනවා. ව්‍යාපාරිකයන් ලියාපදිංචි කරන්න රුපියල් 2500ක් අය කරනවා. එතරම් අය කරන්න එපා. එය වහාම අඩු කරන්න. මෙවැනි ගැටළු සම්බන්ධයෙන් දිස්ත්‍රික් සංවර්ධන කමිටු සාකච්ඡාවේ දී අවධානය යොමු කළයුතු වෙනවා. ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න.

හිටපු ඇමැති ජෝශප් මයිකල් පෙරේරා මහතා- දිළිඳු ජනතාව කෙතරම් මේ දිස්ත්‍රික්ක තුනේ ඉන්නවාද. ඔවුන් දිළිඳුයි කියන්න තිබෙන නිර්ණායක මොනවාද. මේ ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ස්තුතිය පිරිනමනවා. දැන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කර්මාන්තකරුවන් ලියාපදිංචි කරන්න විශාල මුදලක් අය කරනවා. එය අසාධාරණයි. කුඩා කර්මාන්ත කරන අයට පොළක් ඉදිකරන්න ජා ඇල ඉඩමක් තිබෙනවා. එය අත්පත් කරගන්න ඕනෑ. ඒ තුළින් දහස් ගණනකට ජීවනෝපාය ශක්තිමත් කරගන්න පුළුවන්. රුපියල් 30,000ට අඩු ආදායමක් ලබන අය විශාල පිරිසක් සිටින නමුත් දිළිඳු පිරිස් විශාල වශයෙන් ඉන්නවා කියා අපිට හිතන්න අමාරුයි. බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ විශාල සංවර්ධනයක් අපි දකිනවා. ජනතාවට සහාය ලබාදෙනවා නම් ඔවුන්ගේ ජීවනෝපාය ශක්තිමත් කර ගන්න පුළුවන් වෙයි.

සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා- මත්ද්‍රව්‍ය තුරන් කරන්න ජනාධිපතිතුමා විශාල උනන්දුවකින් කටයුතු කරනවා. නමුත් මේ දිස්ත්‍රික්කයේ හෙරොයින් විශාල වශයෙන් පාවිච්චි කරන අය ඉන්නවා. මේ භයානක උවදුරෙන් මේ දිස්ත්‍රික්කය බේරා ගතයුතු වෙනවා.

රාජ්‍ය ඇමැති අජිත් මාන්නපෙරුම මහතා- පොළවල් සම්බන්ධයෙන් විශාල ගැටලු තිබෙනවා. ග්‍රාමශක්ති ව්‍යාපාරයට සම්බන්ධ අයට මෙහිදී අවස්ථාව දියයුතුයි. කෘෂිකර්මය ගත්විට ගොවිජන සේවා මධ්‍යස්ථාන විශාල ප්‍රමාණයක් තිබෙනවා. මේ තුළ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළයුතු වෙනවා.

බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතා- ස්වයං රැකියාලාභීන් ශක්තිමත් කරන්න විශාල වැඩසටහන් ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙනවා. තුර ඉසුර නමින් මේ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා. මේ වැඩසටහන ඉතාම හොඳින් මේ වනවිට බස්නාහිර පළාතේ ක්‍රියාත්මක වෙනවා. ජනතාවට තිබෙන අඩුපාඩු, ගැටලු හඳුනා ගනිමින් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න අපි කටයුතු යොදා තිබෙනවා.

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ගාමිණී තිලකසිරි මහතා- මේ පළාතේ අසරණ මිනිසුන් විශාල පිරිසක් ඉන්නවා. මේ කොස් විකුණන කරත්ත තියාගෙන ඉන්න විශාල පිරිසක් ඉන්නවා. මට ලැබෙන ප්‍රතිපාදන මත ඒ කොස් විකුණන අම්මාවරුන් වෙනුවෙන් යමක් කරන්න ඕනෑ. ඉතා අමාරුවෙන් මේ මේස ලෑල්ල තබාගෙන කටයුතු කරනවා. ඔවුන්ට අපේ ශක්තිය ලබාදිය යුතුයි. අපේ සම්බන්ධීකරණ කමිටුව ඉතා ඉක්මණින් රැස්කර අවශ්‍ය ගැටලු විසඳන්න සාකච්ඡා කරන්න අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලනවා.

ජනාධිපති අතිරේක ලේකම් චන්ද්‍රරත්න පල්ලේගම මහතා- බස්නාහිර පළාතේ ජනතාව ලක්ෂ 59ක් පමණ වෙනවා. ඒ තුළ දිළිඳු ජනතාව ලක්ෂ ගණනක් වාසය කරනවා. බස්නාහිර පළාතේ පළමු අදියර යටතේ ගම්මාන 129ක් මේ වනවිට ග්‍රාම ශක්ති වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. පළමු අදියරේ දී රුපියල් මිලියන 129ක් ද දෙවැනි අදියරේ දී මිලියන 319ක් ද මේ ගම්මාන සඳහා ලබාදෙන්න පියවර ගෙන තිබෙනවා. මේ වෙනුවෙන් නිලධාරීන්ගේ කැපවීම ඉතාම වැදගත්. මේ වැඩසටහන සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ මඟපෙන්වීම අවශ්‍යයි. මේ වැඩසටහන සඳහා ජනතාව ඒකරාශි වන අවස්ථාවේ දී සහාය දෙන්න. එය උදේ 8.30 සහ සවස 4.30 ට සීමා කරන්න එපා.

පෞද්ගලික අංශයේ මැදිහත්වීම ද මේ වැඩසටහන වෙනුවෙන් අවශ්‍ය වෙනවා. දුගීබව තුරන් කිරීම මෙමගින් අපේක්ෂා කරනවා. වැඩසටහන් රැසක් අද වනවිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක වෙනවා. මේවා ග්‍රාම ශක්ති සමිතිවල ක්‍රියාත්මකයි. ජනාධිපති කාර්යාලය මගින් මේ වැඩසටහන ක්‍රියාත්මකයි. වල් අරඹ අභිමන් ග්‍රාම ශක්ති සමිතියේ ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදුවෙනවා. ශ්‍රී ලංකාවේ දිළිඳුකම පිටුදැකීමේ ප්‍රමුඛතම කාර්යය වන ග්‍රාමශක්ති ව්‍යාපාරයට ඔබ සැමගේ සහාය අවශ්‍ය වෙනවා. අද සිට ග්‍රාමශක්ති සතියක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා- අද වනවිට ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය සාර්ථකත්වයට පත්ව තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කය ලංකාවේ විශේෂිත දිස්ත්‍රික්කයක්. අද ලංකාවේ වැඩිම ජනගහනයක් ජීවත් වෙනවා. ගම්මාන 1174ක් තිබෙනවා. පළාත් පාලන ආයතන 19ක් කෙන්ද්‍ර කරගනිමින් පරිපාලන කටයුතු ක්‍රියාත්මක වෙනවා. 2017 වසරේ දී මේ ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කළා. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 19ක එය ආරම්භ කළා. මුල් අදියරේ දී රුපියල් 250000 බැගින් ග්‍රාම ශක්ති වසමක් වෙනුවෙන් ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබාදුන්නා. එහි සාර්ථක ප්‍රතිඵල මේ වනවිට ජනතාව භුක්ති විඳිනවා. ඊට අමතරව හඳුනාගත් ව්‍යාපෘතියක් වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙකක් දුන්නා.

ස්වයං රැකියා ව්‍යාපෘති කිහිපයක් ගම්පහ දිස්ත්‍රික්කයේ මේ වනවිට ආරම්භ කර තිබෙනවා. ග්‍රාම ශක්ති ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමේ දී කුඩා පරිමාණ කර්මාන්තකරුවන්ට තම නිෂ්පාදන අලෙවි කිරීමේ දී විවිධ ගැටලු ඇතිව තිබෙනවා. මේ වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සලසන්න හැකිනම් අපිට ඒ ගැටලුව අවසන් කරන්න පුළුවන් වෙනවා. සමහර ගම්මානවල ජනතාව පසුගාමී මත දරනවා. ඔවුන් වෙත අපි සෘජුවම සම්බන්ධ වෙන්න ඕනෑ.

කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නංගර මහතා- කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය පසුගිය වසරේ දී පළමු පියවර වශයෙන් ආරම්භ කළා. ප්‍රධාන වශයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ අගනගරය සහ වාණිජ නගරය ක්‍රියාත්මක වෙනවා. ලංකාවේ දරිද්‍රතාව අඩුම දිස්ත්‍රික්කය වෙනවා. සංවර්ධනය ප්‍රධාන වශයෙන් කේන්ද්‍රගත දිස්ත්‍රික්කය නිසා වෙන්න ඇති. පළමු අදියරේ දී වසම් 61ක් මේ වෙනුවෙන් තෝරා ගත්තා. කුඩා කණ්ඩායම් සංඛ්‍යාව 416ක් පමණ වෙනවා. දෙවැනි අදියරේ දී වසම් 89ක් තෝරාගෙන තිබෙනවා. පළමු අදියරේ දී ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් රුපියල් 1,282,000ක් වෙන්කර තිබෙනවා. නිෂ්පාදන ගම්මාන ආශ්‍රිත වැඩසටහන් රැසක් මේ සඳහා තෝරාගෙන තිබෙනවා.

කළුතර දිස්ත්‍රික් ලේකම්- කළුතර දිස්ත්‍රික්කයේ ජයනගහනය ලක්ෂ 13 ට ආසන්න වෙනවා. නගර සභා 4ක් සහ ප්‍රාදේශීය සභා 14ක් ක්‍රියාත්මක වෙනවා. බස්නාහිර පළාතේ වැඩිම දරිද්‍රතාවක් ඇති දිස්ත්‍රික්කයයි. ප්‍රජාපාලිත ගම්මාන 28ක් නිෂ්පාදන ගම්මාන 14ක් වශයෙන් ගම්මාන 42ක් තෝරාගෙන තිබෙනවා. ගම්මාන 168ක ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ක්‍රියාත්මකයි. කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව අවස්ථා කිහිපයක දී දැනුවත් කරන්න පියවර ගත්තා. මේ ව්‍යාපෘතිය සෑම ගමකම සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙනවා. යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති රැසක් මේ වනවිට දිස්ත්‍රික්කය පුරා ආරම්භ කර තිබෙනවා. විවිධ කර්මාන්ත නඟා සිටුවන්න හැකි දිස්ත්‍රික්කයක්.

ග්‍රාමශක්ති ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී හඳුනාගත් ගැටලු සහ යෝජනා රැසක් ද තිබෙනවා. ඒ වගේම කඩිනමින් ක්‍රියාත්මක කළයුතු යෝජනා ද රැසක් හඳුනාගෙන තිබෙනවා. මේ ව්‍යාපෘතිය කළුතර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අපේ ගෞරවය පිරිනමනවා.

දිළිඳුකම පිටුදැකීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මඟපෙන්වීමෙන් ජනාධිපති කාර්යාලයේ ප‍්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස ක්‍රි‍යාත්මක ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ බස්නාහිර පළාත් මෙහෙයුම් කමිටු රැස්වීම මෙලෙස පැවැත්විණි. 2018 වසරේ දී කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රාමශක්ති සමිතිවලට ලබාදුන් ප‍්‍රතිපාදන ප‍්‍රමාණය රුපියල් මිලියන 47 කි. ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් රුපියල් මිලියන 39 ක් සහ කළුතර දිස්ත්‍රික්කය වෙනුවෙන් රුපියල් මිලියන 42 ක් ලබා දී තිබේ.

පළාතේ දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරින් යන දෙපාර්ශ්වයේම සහභාගිත්වයෙන් පැවති මේ රැස්වීමේ දී පළාතේ ජනතාව මුහුණ දී ඇති සෙසු ගැටලු පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කර ලබාදිය හැකි කඩිනම් විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගත් අතර බස්නාහිර පළාත් ග්‍රාමශක්ති සමිති සහ පෞද්ගලික සමාගම් කිහිපයක් අතර අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් තැබුණේ ග්‍රාමශක්ති සමිතිවල නව නිෂ්පාදන මිලදී ගැනීමට අදාළවයි.

ග්‍රාමශක්ති වැඩසටහන මෙතෙක් පැවති සමාජ සුබසාධන වැඩසටහන්වලින් කැපී පෙනෙන ලෙස වෙනස් වන ලක්ෂණ කිහිපයක් තිබෙන අතර ග්‍රාමශක්ති වැඩසටහන සම්පාදනය කර තිබෙන්නේ මෙතෙක් සිදුකරන ලද ජනසවිය, සමෘද්ධි, දිවි නැගුම ආදි සියලු වැඩසටහන් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව වන අතර ඒ සියල්ලටම වඩා ප‍්‍රගතිශීලි සහ ජනතාවාදී වැඩසටහනක් ලෙස ග්‍රාමශක්ති ක‍්‍රියාත්මක වේ.

නිෂ්පාදනය නඟා සිටුවීම මෙන්ම අන්ත දුගීභාවයෙන් මිදීම යන කාර්යයන් දෙකම එකවිට ග්‍රාමශක්ති ව්‍යාපාරය හරහා ඉටු කෙරේ. එමෙන්ම තරුණ ප‍්‍රජාව සහ කාන්තාව ප‍්‍රමුඛ වන පරිදි නිර්මාණය කරන ලද පළමු ජාතික මට්ටමේ ආර්ථික සුබසාධන වැඩසටහන ද ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයයි.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක, ඇමැති ජෝන් අමරතුංග, රාජ්‍ය ඇමැති අජිත් මාන්නපෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලසන්ත අලගියවන්න, හර්ෂණ රාජකරුණා, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි, බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය, හිටපු ඇමැති ජෝශප් මයිකල් පෙරේරා, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න, ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

ඡායාරූප - සදරුවන් අමරසංහ ජනාධිපති මාධ්‍ය අංශය, සුදත් මලවීර

නව අදහස දක්වන්න