රට දෙකඩ කරනවා කියා විපක්ෂයේ ඇතැමුන් ජනතාව මුලා කරනවා | දිනමිණ

රට දෙකඩ කරනවා කියා විපක්ෂයේ ඇතැමුන් ජනතාව මුලා කරනවා

වත්මන් රජය මගින් රට දෙකඩ කරවන නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට සූදානම් වන බව පවසමින් විපක්ෂයේ බංකොලොත් දේශපාලන නියෝජිතයන් ජනතාව මුලාකරමින් සිටින බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට පෙර ඉදිරිපත් කරන ව්‍යවස්ථා කෙටුම්පත හෝ කෙටුම්පත සැකසීම සඳහා කිසිදු සාකච්ඡාවක් වත් කර නැති බවත් විපක්ෂයේ ඇතැම් පිරිස් තමාට එල්ල කරන චෝදනා ව්‍යවස්ථාදායක සභාවේ මෙහෙයුම් කමිටූවේ සභාපති ලෙස ප්‍රතික්ෂේප කරන බවත් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ පසුගියදා (10) බලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තෙමහල් ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

සමරු ඵලකය නිරාවරණය කිරීමෙන් අනතුරුව අගමැතිවරයා ආගමික අවස්ථා කීපයකටද එක්විය.

එහිදී වැඩිදුරටත් අගමැති වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

අද බලපිටිය මේ ගොඩනැගිල්ල විවෘත කිරීමට මට ආරාධනා කිරීම ගැන ස්තූතිවන්ත වෙනවා. බලපිටිය ප්‍රදේශය ආර්ථික වශයෙන් බැලුවොත් එදා ඉදන් කුරුඳු තිබ්බා, ධීවර කර්මාන්තය තිබුණා, සංචාරක කර්මාන්තය තිබුණා. ලංකාවේ තිබෙන හොඳම හෝටල් කීපයක් කොස්ගොඩ සිට අහුංගල්ල දක්වා තිබෙනවා. මේ වන විටත් සියලු පහසුකම්වලින් අංගසම්පූර්ණ හෝටල් දෙකක් මේ ප්‍රදේශවල ඉදිකිරීමට අනුමත කර තිබෙනවා. ඒ නිසා බලපිටිය දකුණේ ආර්ථිකයේ කේන්ද්‍රස්ථානයක් වෙනවා.

අපේ අදහස බලපිටිය පමණක් දියුණු කිරීම නෙමෙයි. අපි මේ ගෙවන්න තිබෙන ණය කන්දරාව ගෙවිම සඳහා විදේශ විනිමය ගලාඒමේ වැඩසටහනක් ලෙස දකුණු පළාතේ සංචාරක ආකර්ෂණය දියුණු කර දකුණු ආසියාවේ හොඳම සංචාරක කලාපය බවට පත්කිරීමට බලාපොරොත්තු වෙනවා. එක අතකින් අපි අධිවේගී මාර්ගය හම්බන්තොට දක්වා දික්කර තිබෙනවා, දෙවනුව අපි නුවර ඉදන් කොළඹට අධිවේගී මාර්ගය කොළඹට ගේනවා. ඒ මගින් පැය හතරකින් නුවර සිට හම්බන්තොටට යා හැකියි. මත්තල ගුවන්තොටුපොළ ලාභ ලබන්නේ නැති නිසා පාඩු ලබා තිබුණේ. මේ වන විට අප ඉන්දියන් ගුවන් සමාගම සමඟ සාකච්ඡා කර ඒ අයට මත්තල ගුවන්තොටුපොළ සම්බන්ධයෙන් ලංකාවේ ගුවන් අධිකාරිය සමඟ එකතු වී වැඩකටයුතු කරන්න. එවිට ඒ අයට පුළුවන් වෙනවා ඉන්දියාවේ සංචාරකයන් වැඩිවශයෙන් මෙරටට ගෙනඑන්න.

ගාලු වරායේ එක් කොටසක් සංචාරක නැව් ඒම සඳහා වැඩිදියුණු කිරීමට මම සාගල රත්නායක ඇමැතිතුමාට උපදෙස් දුන්නා. අන්න එතැනින් තමයි සංචාරක කර්මාන්තයේ දියුණුව ඇතිවන්නේ. අපි බලාපොරොත්තු වෙනවා විශාල සංචාරක කලාප ඇතිකරන්න. නුවරටම යන්නේ නැතිව කඳුකරය දියුණු කිරීමට. දෙණියාය ප්‍රදේශයේ මෝර්නින් සයිට් වැඩි වතු දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ප්‍රදේශවල නව හෝටල් ගණනාවක් ඇතිවෙනවා. තමන්ගේම කියලා පොඩි කඩයක් හදාගෙන විදේශිකයන් සඳහා ආහාර ලබාදී ව්‍යාපාරයක් කිරීම මගින් මේ ප්‍රදේශ දියුණු කරන්න පුළුවන්. ඒ සඳහා ජනතාවට දිරිය ලබාදෙන ලෙස මම ප්‍රාදේශීය සභාවලින් ඉල්ලා සිටිනවා.

එන්න එන්නම මේ ප්‍රදේශයේ ආර්ථික වැඩකටයුතු වැඩිවන නිසා තට්ටු හතරේ පහේ ප්‍රාදේශිය ලේකම් කාර්යාල අවශ්‍යයි. එන්න එන්නම ජනාකීර්ණ වෙන නිසා. 1977 මේ ප්‍රදේශවලට ඇවිත් අපි ගොඩනැගිලි ලබාදෙන විට මේ ප්‍රදේශයේ ධීවර කර්මාන්තයයි. කුරුඳු කර්මාන්තයයි විතරයි තිබුණේ. දැන් ඊට වඩා නවීන කර්මාන්ත, නවීන සමාජයක්, නවීන ආර්ථිකයක් තිබෙනවා.

ඉඩම් ඇමැති ගයන්ත කරුණාතිලක මහතා විසින් ඉඩම්වල හිමිකම නැති ජනතාවට සින්නක්කර ඔප්පු ලබාදීමේ වැඩසටහනක් මේ දිනවල ක්‍රියාත්මක කරමින් තිබෙනවා. මේ ප්‍රදේශයේ රාජ්‍ය ආයතනවල ඉඩම් ගැටලුත් එම ඇමැතිවරයා යටතේ සිදුවෙයි කියා මා සිතනවා. මා කලින් සඳහන් කළ ආකාරයට එළැඹෙන වසර පහ තුළ මේ ප්‍රදේශයේ ආර්ථික දියුණුවක් ඇතිකළ යුතුයි. එම ආර්ථික දියුණුව ඇතිවුණාම ජනතාවගේ අතේ තිබෙන මුදල් වැඩිවෙන්න ඕනෑ.

ඉස්සර අපි ගාල්ලට එනකොට ගාල්ල පුරාම හිටියේ සුද්දෝ. මම පසුගිය දිනක ගාල්ල වටා ඇවිද්දා එතකොට මං දැක්කා වැඩි වශයෙන් සංචාරකයන් ලෙස ඉන්නේ චීන මිනිසුන්. මේ ප්‍රදේශවල ජනතාවගේ ආර්ථික තත්ත්වය දියුණු කිරීමට නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ජනතාවට අවශ්‍ය කාර්මාන්ත ආරම්භ කිරීම සඳහා දිරි දිය යුතුයි. ජනතාවට ව්‍යාපාර සඳහා ඉඩමක් අත්පත් කරගන්න තිබෙනවා නම් ඉක්මනින් කළ යුතුයි, බලපත්‍ර ලබාදීමට තිබෙනවා නම් ඒවා ඉක්මනින් ලබාදිය යුතුයි. මම එය සියලු පළාත් පාලන නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

මම පසුගිය දින කීපයේ පුවත්පත්වල දැක්කා නව ව්‍යවස්ථාව සහ ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳව. සමහරු කියනවා මේ ව්‍යවස්ථාවෙන් රට බෙදෙනවාලු. මේ බොරු ප්‍රචාර යවන අය ඒවා ජනතාව අතරට යවන්නේ විජයබා කොල්ලයෙන් පස්සේ කෝට්ටේ කොටස් තුනකට බෙදුණා වගේ මේ නව ව්‍යවස්ථාවෙන් රට බෙදෙනවා කියා. සමහරු කියනවා මේකෙන් බුද්ධාගම නැතිවෙනවා කියලා. ඒ බොරු ප්‍රචාර යවන අය කියන්නේ හරියට කාලිංග මාඝ ඇවිත් රටේ වෙහෙර විහාරස්ථාන විනාශ කළා වගේ මේ රටේ බෞද්ධාගම නැතිවෙනවා කියා. මේවා තමයි ඇතැම් දේශපාලන නායකයන් කියන කතා. මෙසේ බොරු ප්‍රචාර යැවීම බංකොලොත් දේශපාලනයක්.

මේ වන විට නව ව්‍යවස්ථාවකුත් නෑ, ව්‍යවස්ථා කෙටුම්පතකුත් ගෙනල්ලා නෑ. නැති තැන ඒවා කරන්න බෑනේ. ඔන්න නව ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කර තිබෙනවා නම් අපිට පුළුවන් වාද විවාද කරන්න. ඔය කතාකරන සමහරු දන්නේ නෑ කාලිංග මාඝ කියන පුද්ගලයා කවුද කියලා.

ව්‍යවස්ථාදායක සභාවේ මෙහෙයුම් කමිටුවේ සභාපති ලෙස මම වගකීමෙන් කියනවා .ව්‍යවස්ථාවක් හැදීම තියා කෙටුම්පතක් හදන්න හෝ වාඩිවෙලා සාකච්ඡා කරලවත් නෑ. සමහර විද්වතුන්, පුද්ගලයන් ව්‍යවස්ථාවක් අවශ්‍ය බව හෝ නැති බවට ඉදිරිපත් කර ඇති වාර්තා අපි පාර්ලිමේන්තුවට පමණක් ඉදිරිපත් කර තිබෙනවා. ඒවාට එකඟ වෙනවා නම් කෙටුම්පතක් හදමු නැතිනම් හදන්නේ නැතිව ඉමු කියලා මම සියලු පක්ෂ නායකයන්ට දැනුවත් කර තිබෙනවා.

ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් ලැබුණු වාර්තාවල සඳහන් වෙනවා. බුද්ධාගාමට ප්‍රමුඛස්ථානය සිය යුතු බවට. ඒ ගැන කිසිදු වාදයක් නෑ. වෙනත් ආගම්වල පුද්ගලයන්ට ආගම ඇදහීමේ වටපිටාව සකසා දෙන්න කියල එම වාර්තාවල සඳහන් වුණා.

එක්සත් ජාතික පෙරමුණ, දෙමළ ජාතික සන්ධානයට, ජනතා විමුක්ති පෙරමුණත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි යන තීරණයේ සිටිනවා. අපි අතරත් විවිධ අදහස් තිබෙනවා .කොහොමද කළ යුත්තේ කියා. විධායක ජනාධිපති ක්‍රමය ආපසු ආවත්, අගමැති ක්‍රමය ආවත් එතන ස්ථාවර භාවයක් තිබිය යුතුයි. ඒ ගැන අපි කරුණු සලකා බලනවා. ජනතා විමුක්ති පෙරමුණ තමන්ගෙම කෙටුම්පතක් දාලා තිබෙනවා විස්ස කියලා. ඒකේ අඩුපාඩුකම් තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ සියලුම පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. එයට යම්කිසි එකඟතාවක් ආවොත් අපිට පුළුවන් එයත් අවසන් වුණා කියා කියන්න. දැන් මේ සියල්ල ගෙනත් තියෙන්නේ ජන්දෙකුත් අල්ලා, ජන්දය එද්දි මෙය ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි කියලා කියන්න අමාරුයි.

විධායකයටත් බලපාන දෙයක් තමයි මේ ජන්ද ක්‍රමය කියන්නේ. ජන්ද ක්‍රමය ගැන දැන් එකඟත්වයක් නෑ. ප්‍රධාන පක්ෂ එක ස්ථාවරයක ඉන්නේ කුඩා පක්ෂ තව ස්ථාවරයක ඉන්නේ. ප්‍රධාන පක්ෂ කියන්නේ අනුපාත ක්‍රමය හොඳයි .නමුත් එක පක්ෂයක් දිනනවා නම් ආණ්ඩුවක් හදන්න පුළුවන් විදියේ බහුතරයක් දෙන්න කියා. කුඩා පක්ෂවලටත් ජන්ද අනුපාතය අනුව බලතල දෙන්න කියා.

නමුත් කුඩා පක්ෂ කියනවා එතකොට අපේ තිබෙන ගාන අඩු වෙනවා ඒ නිසා සම්පූර්ණ අනුපාතය තිබුණොත් අපේ ගාන වැඩිවෙනවා කියා. ඕක දේශපාලනය හරහා යන්නේ. අනුපාත ක්‍රමය ආවොත් ස්ථාවර ආණ්ඩුවක් තිබෙනවා අගමැති ක්‍රමයක් යටතේ ක්‍රියාත්මක වන. මේ ප්‍රශ්නය අපිට විසඳන්න බැරිවුණොත් ඊළඟ ජන්දයේදී ජනතාවගෙන් ඇසිය යුතුයි මොන ක්‍රමයද අවශ්‍ය කියලා. මේ කුඩා පක්ෂ සහ තනි පක්ෂවල ඡන්ද ක්‍රමය ගැන තිබෙන කඹ ඇදිල්ල අවසන් වනතුරු ව්‍යවස්ථාවක් තියා කෙටුම්පතක්වත් ගේන්න බෑ.

අපේ පෙරමුණේ පොඩි පක්ෂයි අනෙක් පිලේ පොඩි පක්ෂයි, තවත් පොඩි පක්ෂයි එක තැනක සිටිනවා. ලොකු පක්ෂ තව තැනක සිටිනවා. ඉතින් මේ පිළිබඳව සාකච්ඡා කර බලා නිසි විසඳුමක් ගත යුතුයි. මම ප්‍රසිද්ධියේ කියලා තියෙන්නේ එක පක්ෂයකට ආණ්ඩුවක් ගෙන යා හැකි ස්ථාවරභාවයක් තිබිය යුුතු බවට. නැත්තම් පාලනය අමාරු වෙනවා පොඩි පොඩි පක්ෂ එක්ක හැමවෙලේම දුවන්න වෙනවා.

පළාත් පාලන, පළාත් සභා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා- ග්‍රාමසේවා වසම් 52යි. ජනගහනය 78000ක් විතර ඉන්නවා. ගෙවල් 18000ක් විතර බලාගන්න තිබෙන ප්‍රධාන මූලස්ථානය වන මේ බලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අඩුපාඩු ගොඩක් තිබුණු තැනක්. මේ වන විට එම අඩුපාඩු සියල්ල සම්පූර්ණ වී තිබෙනවා.

ජනාධිපතිගේ දිස්ත්‍රික්කය වන පොළොන්නරුවේ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක් තිබුණේ නෑ. දැන් වසර සිය ගානකට පස්සේ පොළොන්නරුවට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක් ලබාදෙන්න අගමැතිවරයා බිලියන 1.7ක් වෙන්කරදී තිබෙනවා. මැයි මාසයේ ජනතා අයිතියට පත්කරනවා. එහි වර්ග අඩි එක්ලක්ෂ හැත්තැපන්දහසක්.

මඩකළපුවේ වසර 300ක විතර සිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක් නෑ. ඒකත් අපි මැයි මාසයේ ජනතා අයිතියට පත්වෙනවා, රත්නපුරේට බිලියනයක වියදමින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක් ලබාදුන්නා ඒකෙත් වැඩ ඉවරයි, මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වැඩ ඉවරයි. දිස්ත්‍රික් විසිපහේම පරිපාලන මධ්‍යස්ථාන ඉදිකරදී පරිපාලනය ශක්තිමත් කරනවා.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ග්‍රාමසේවා වසම් 365යි නිල සෙවන කාර්යාලය 365ම හදලා ඉවරයි දෙසැම්බර් 31වන විට. අගමැතිවරයා මුදල් ලබාදුන්නා මේ සේරම ඉවරකරන්න කියා. අගමැතිවරයාගේ බලාපොරොත්තුවක් තිබෙනවා ගමත්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත්, ප්‍රාදේශීය සභාවත්, එකට සම්බන්ධ කරලා රටේ පරිපාලනය එක තැනකට ගේන්න. ඒ නිසා තමයි ග්‍රාම රාජ්‍ය සංකල්පයත් අගමැතිතුමා 2015 මැතිවරණය ප්‍රකාශනයට ඉදිරිපත් කර තිබුණේ.

ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත කරුණාතිලක මහතා- ගොඩනැගිල්ලේ වැඩ අවසන් වන විට ලක්ෂ 800ක් විතර වෙනවා . ගොඩනැගිල්ලට අවශ්‍ය විදුලි සෝපානයත් අගමැතිතුමා ලබාදෙන්නම් කිව්වා. සෑම ප්‍රදේශයකම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ගොඩනැගිලි ලබාදෙනවා. මේ වන විට සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම අලුත් ගොඩනැගිලි දකින්න පුළුවන්.

අගමැතිගේ මැදිහත්වීමෙන් ඉඩම් ගැටලු කඩිනමින් විසදන්න වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ලබන සතියේ කැබිනට් එකට විශේෂ පනතක් එනවා. අගමැතිගේ බොහෝම බලවත් අවශ්‍යතාවක් ඉටුවන පනතක්. එතුමා කිව්වා මේ රටේ ඉඩම් බුක්ති විදින ජනතාවට තමන්ගේ ඉඩම සින්නක්කර අයිතිය අනුව නිදහසේ බුක්තිවිදීමේ ක්‍රමයක් ඇතිකරන්න අවශ්‍යි කියා. ගැටලු තිබූ ඉඩම් සින්නක්කර ඉඩම් බවට පත්කරදෙන පනත අපි ඉදිරි සති දෙක තුළදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වනවා.

මැති ඇමැතිවරුන් වන වජිර අබේවර්ධන, ජේ. සී. අලවතුවල, ගයන්ත කරුණාතිලක, විජයපාල හෙට්ටිආරච්ච, මනූෂ නානයක්කාර,බන්දුලාල් බණ්ඩාරිගොඩ මහත්වරුද ,බලපිටිය ප්‍රාදේශීය ලේකම්, බලපිටිය දිසාපති ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

අසේල ලියනගේ
ජායාරූප - හිරන්ත ගුණතිලක

නව අදහස දක්වන්න