සජිත් ඉන්නකම් මෛත්‍රි - රනිල් දේශපාලන විවාහය කඩන්න ඉඩ තියන්නේ නෑ | දිනමිණ

සජිත් ඉන්නකම් මෛත්‍රි - රනිල් දේශපාලන විවාහය කඩන්න ඉඩ තියන්නේ නෑ

අද වේදිකාවල එක එක්කෙනා එක එක කතා කියනවා.අර ගොල්ලෝ එකතු වුණා.මේ ගොල්ලෝ එකතු වුණා කියලා වේදිකාවල කියාවි. නමුත් මම ඉන්නකම් මෛත්‍රිපාල සිරිසේන මහත්තයගෙත් රනිල් වික්‍රමසිංහ මහත්තයගෙත් මේ දේශපාලන විවාහය නම් දික්කසාද කරන්න මොනම ජගතෙකුටවත් ඉඩ තියන්නේ නැතැයි නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඇමැතිවරයා මේ බව පැවසුවේ පසුගියදා (16) සෙවණගල නුගේගලයාය ප්‍රදේශයේ ඉදි වු 165 වන උදාගම්මානය වන මිණිපහන්ගම උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.නිවාස 28කින් සමන්විත මේ උදා ගම්මානය ජලය,විදුලිය හා මහාමාර්ග පහසුකම්වලින්ද සමන්විතය.නිවාස ව්‍යාපෘතිය සඳහා වියදම් කර ඇති මුදල රුපියල් ලක්ෂ 935කි.

මෙහිදී ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

අපි මේ රනිල් මෛත්‍රි විවාහය දිවි හිමියෙන් ආරක්ෂා කර ගන්නවා.මොකද මේ රටේ වැඩි බහුතරයක් ජනතාව කතිරය ගැහුවේ මෛත්‍රි- රනිල් විවාහය සිදු කරන්න මිසක් වෙන විවාහ සිදු කරගන්න නෙමෙයි. මේ රටේ මිනිස්සු කතිරය ගැහුවේ නෑ එක එක්කෙනාට හොර පාරෙන් ඇවිත් අගමැති වෙන්න හෝ වෙනත් මැති ඇමැතිකම් ගන්න.අද මේ ආණ්ඩුවට මේ තියෙන්නේ නියම ජනවරමයි.මේ තියෙන්නේ නියම ජනතා ජන්දයෙන් ආ ආණ්ඩුවක් මිසක් හොර පාරෙන් ආ ආණ්ඩුවක් නෙමෙයි.ඒ නිසා මේ රටේ ජනතාව ලබාදුන් ජනවරම අපි දිවි හිමියෙන් ආරක්ෂා කරනවා වගේම මේ දේශපාලන දීගයත් කාටවත්ම කඩන්න ඉඩ තියන්නේත් නෑ.

අද අපේ විරුද්ධවාදීන් අපි මේ කරගෙන යන නිවාස වැඩපිළිවෙළටත් මඩ ගහගෙන යනවා.මේ සජිත් ප්‍රේමදාසට මඩ ගහන්න ගහන්න වැඩියෙන් වැඩ කරනවා කියන එකත් මගේ විරුද්ධවාදීන්ට මං කියන්න ඕනෑ.දැන් සමහර අය කියනවා සජිත් ප්‍රේමදාස රට වටා ඇවිද යමින් පෙට්ටි ගෙවල් හදනවලු. කෑගහන අය ගැන නම් මට ගැටලුවක් නෑ.අද මේ උදාගම්මානය විවෘත කරන මේ ස්ථානයට විශාල පිරිසක් එකතුවෙලා ඉන්නවා.මං මේ ඉන්න ජනතාවට කියනවා මේ උදාගම්මානයේ නිවාස 28ක් තියෙනවා.යන්න ගෙයින් ගෙට ගිහින් බලන්න. මෙහි එක ගෙයක්වත් පෙට්ටි ගෙවල් තියෙනවද කියලා.ඔය කෑගහන අය මේ වෙනකොට පොට වරද්දගෙන තියෙන්නේ.සජිත් ප්‍රේමදාස ගෙවල් හදන නිසා ගැහුවා ලේබලයක් ඔය හදන්නේ පෙට්ටි ගෙවල් කියලා.වැඩේ කියන්නේ ඔය කෑ ගහන අය දන්නේ නෑ. මේ සියලුම ගෙවල් හදන්නේ නිවාස ප්‍රතිලාභීන්ම බව.මේ ගෙවල් හදන්නේ අපිට ඕනෑ විදියට නෙමේ.මේ ගෙවල්වල පදිංචි කරුවන්ට ඕනෑ විදියටයි මේ ගෙවල් හැදෙන්නේ.මේ හැදෙන එක නිවසක්වත් බාල නිවසක් නෙමෙයි.බාල මිශ්‍රණයක් නැහැ.බාල ලී භාවිතා කරලා නැහැ.එදා වගේ නෙමෙයි අද තියෙන්නේ ප්‍රතිලාභී සහභාගිත්ව නිවාස සංවර්ධන වැඩපිළිවෙළකුයි .අපිට බනින, මේ නිවාස ව්‍යාපෘතිවල තියෙන්නේ පෙට්ටි ගෙවල්ය කියන අය හිතාගෙන ඉන්නේ ඒ අයගේ කාලේ වගේ අපිත් මේ ගෙවල් හදන්නේ කොන්ත්‍රාත් දීලයි කියලා වෙන්න ඇති.මේ හදන එක උදාගම්මානයකවත් ගෙවල් කොන්ත්‍රාත්දීලා අපි හදන්නේ නෑ.මේ සියලුම ගෙවල් හදන්නේ ඒ ඒ නිවාස ප්‍රතිලාභීන් විසින්මයි.ඉතින් තමන්ට ඉන්න හදාගන්න ගේ කවුද දෙයියනේ බාල විදියට අඩු ප්‍රමිතියෙන් හදාගන්නේ.මේ නිසා මේ නිවාස ව්‍යාපෘතිවල හැදෙන්නේ පෙට්ටි ගෙවල් කියලා වේදිකාවල කෑගහන අයට මං ආරාධනා කරනවා. එන්න මම උදාගම්මානයක් විවෘත කරන තැනකට.ඇවිත් ඒ ගෙවල්වල ඇවිදලා බලලා මට කියන්න සජිත් මේ ගෙවල් පෙට්ටි ගෙවල් කියලා.වේදිකාවල බොරුවට කෑගහන අපිව විවේචනය කරන අයට කොන්දක් තියෙනවා නම් එන්න උදාගමක් විවෘත කරන තැනකට.

නිකමට හිතලා බලන්න ඔය කෑගහන හාදයො කවුරුවත් අර දින 52ක් ආණ්ඩු කළ කාලේ එක ගෙයක් හැදුවද කියලා. අපි හදන ගෙවල් හොඳ නැතිනම් ඇත්තටම ජනතාවට සේවයක් කරන්නත් ඕනෑකම තිබුණ නම් ඒ අයටත් තිබුණනේ ගෙවල් හදන්න.අපි මේ වන විට 2025 නිවාස ඉලක්කය සම්පුර්ණ කිරීම සඳහා මම දිනකට උදාගම්මාන 05 බැගින් ආරම්භ කරනවා.දින 52ක් ආණ්ඩු කළ අපේ විරුද්ධවාදීන්ගේ කාලෙත් අගමැතිලා හිටියා.හොර පාරෙන්ම පත් වුණු නිවාස ඇමැතිලා ඇතුළු විවිධ වර්ගයේ ඇමැතිලත් හිටියා.හැබැයි එක උදාගමක් ආරම්භ කළාද.

අද අපි මේ බෙදා දෙන පර්චස් 40ක ඉඩම් කැබැල්ල විතරක් අඩුම රුපියල් ලක්ෂ 10ක් වටිනවා.මේ ඉඩම් කැබැල්ල වෙනුවෙන් එක රුපියලක්වත් අය කරන්නේ නෑ.ඉඩමත් දීලා ලයිට් වතුරත් අරගෙන දීලා ගේ හදාගන්න ණය මුදල් හා ආධාරත් දෙනවා.අද මේ නිවාස ලාභීන් 28 දෙනාටම තමන්ගේම කියලා ඉඩමක් තමයි මේ ලැබිලා තියෙන්නේ.අද විරුද්ධවාදීන් කියනවා අපි හදන මේ එක ගම්මානයට විශාල මුදලක් වියදම් කරනවා කියලා.අද විවෘත වෙන මේ ගම්මානයට විතරක් රුපියල් ලක්ෂ 935ක මුදලක් වියදම් කර තියෙනවා.මේකේ ගහන සමරු ඵලකය ගැන විතරක් සමහර අය කතා කරනවා.මේ හදපු එක ගමක්වත් මගේ නමින්වත් මගේ පියාගේ නමින්වත් මං හදලා නෑ.මං හදපු ගම්මානවලට මගේ නම දමා ගත්තේ නෑ.හම්බන්තොට මං හදලා තියෙනවා දස මහා යෝධයන්ගේ නමින් ගම්මාන 10ක්.අමරදේව ශූරින්ගේ නමින්,සෝභිත නාහිමි නමින්,සෙන්පති සදාවීර කැප්පෙටිපොල නමින් ගමක් හැදුවා.ඉස්සරත් එහෙමද සංවර්ධන වැඩවලට නම් දැම්මේ කියලා බලන්න.මහ කැලේ කපලා හැදුවා ක්‍රීඩාංගණයක්.මොකද්ද දැම්ම නම.මත්තල ගුවන් යානා එන්නේ නැති ගුවන්තොටුපොළක් හැදුවා .මොකද්ද දැම්ම නම.හම්බන්තොට වරායක් හැදුවා තමන්ගේ නම තමයි ගහගත්තේ.හැබැයි මේ සජිත් ප්‍රේමදාස හදපු ගෙවල්වලට කවදාවත් මගේ නම ගහගත්තේ නැ.ගහන්නෙත් නෑ.ඉදිරියේදි මං මගේ පියාණන්ගේ නමින් වගේම මහින්ද රාජපක්ෂ මහත්තයගේ නමිනුත් උදාගම්මානයක් හදනවා.එතුමා එපා කිව්වොත් ඒ නම මං වෙනස් කරගන්නවා. මේ ඔක්කොට කරන්නේ කෙළෙහිගුණ දක්වන්නයි.මම මගේ නම ගා ගන්නේ නෑ. මේ එක ගමකටවත්.මට එහෙම ඕනෑ නෑ.මට ඕනෑ නිවාස නැති අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ නිවාස සිහිනය 2025 වන විට සම්පුර්ණ කරන්න යැයි පැවසීය.

රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර,පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහත්වරු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

සුරියවැව විශේෂ - නුවන් ජයසේකර


නව අදහස දක්වන්න