ශ්‍රී ලංකාවේ ප්‍රථම සුහුරු ධීවර වරාය ලෙස කලමැටිය සංවර්ධනය කිරීමට පියවර | දිනමිණ

ශ්‍රී ලංකාවේ ප්‍රථම සුහුරු ධීවර වරාය ලෙස කලමැටිය සංවර්ධනය කිරීමට පියවර

බුද්ධිකා ඉඹුලාන

ශ්‍රී ලංකාවේ ප්‍රථම සුහුරු ධීවර වරාය (SMART FISHERY HARBOUR )ලෙස කලමැටිය සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා කියයි.

මෙහිදී ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා පැවසුවේ, කොරියානු ආධාර යටතේ මේ SMART FISHERY HARBOUR සංකල්පය ක්‍රියාත්මක කරන බවය . ධිවර වරායක කටයුතු වෙනුවෙන් විශාල විදුලියක් සේම විශාල ප්‍රමාණයක් දිනපතා අවශ්‍ය බවත් නව වැඩපිළිවෙළ යටතේ එම ජලය සහ විදුලිය වෙනුවෙන් වැයකිරීමට සිදුවන විශාල මුදලක් ඉතිරි කරගැනීමේ හැකියාව ලැබෙන බවත් රාජ්‍ය ඇමැතිවරයා පවසයි.

නිල් ආර්ථික වැඩපිළිවෙළ යටතේ මේ SMART FISHERY HARBOUR සංකල්පය ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ධීවර වරායේ ජල අවශ්‍යතා සඳහා අවශ්‍ය සම්පුර්ණ ජලය මුහුදු පතුලෙන් ලබාගැනීම පිළිබඳව මෙහිදී විශේෂ අධ්‍යයනයක නිරත වූ අතර මේ අවස්ථාවට එක්ව සිටි කොරියානු නියෝජිත කණ්ඩායම පැවසුවේ පරිසරය රැකගනිමින් මුහුදු පතුලේ සිට අඩි 150 වඩා යට සිට පිරිසිදු පානිය ජලය ලබාගැනීම මගින් ධිවර වරායේ කටයුතු සඳහා පමණක් නොව අවට ගම්මාන සඳහාද පානීය ජලය ලබාදීමේ හැකියාව පවතින බවයි. කලමැටිය ප්‍රදේශයේ පවතින උග්‍ර පානීය ජල ගැටලුවට මෙය තිරසර විසඳුමක් වියහැකි බව එහිදී රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.

මේ නිරීක්ෂණ චාරිකාවේදී සුර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමේ හැකියාව පිළිබඳව සොයාබැලූ අතර එමගින් නිපදවන විදුලියෙන් කලමැටිය ධිවර වරායේ සියලු විදුලිය අවශ්‍යතා සපුරා අතිරික්ත විදුලිය ජාතික පද්ධතියට ලබාදීමේ හැකියාව පවතින බවත් එමගින් ජාතික විදුලිය අවශ්‍යතාව වෙනුවෙන් දායක වීමට ද සුහුරු ධීවර වරාය (SMART FISHERY HARBOUR) සංකල්පය යටතේ හැකියාව ලැබෙන බවත් අවධාරණය කෙරිණි.

එසේම ධීවර වරාය ආවරණය වන පරිදි ආරක්ෂික කැමරා පද්ධතියක් සවිකර එමගින් ධීවර වරාය උපයෝගී කරගනිමින් සිදුකරන විවිධ ජාවාරම් මැඩ පැවැත්වීමට සේම ධීවර වරායේ සියලු කටයුතු , ධිවර බෝට්ටුවල ක්‍රියාකාරීත්වය , බෝට්ටුවේ ගමන් ගන්නා අය, බෝට්ටුවට පටවන දෑ ඇතුළු සියලු කටයුතු අධීක්ෂණය කිරීමේ හැකියාව පවතින බවද මෙහිදී හෙළි විණ.


නව අදහස දක්වන්න