නායකත්වය, අපේකම හා එකමුතුකම නැති තැන සියලු අංශ කඩා වැටෙනවා | දිනමිණ

නායකත්වය, අපේකම හා එකමුතුකම නැති තැන සියලු අංශ කඩා වැටෙනවා

නායකත්වය, අපේකම හා එකමුතුකම නොමැති තැන සියලු අංශ කඩා වැටෙන බව වැවිලි කර්මාන්ත ඇමැති හා එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක නවින් දිසානායක මහතා පැවසීය.

මාතර, කඹුරුගමුව, කොටවිල දිස්ත්‍රික් ක්‍රීඩාංගණයේදී ඉකුත්දා කුඩා තේවතු සංවර්ධන අධිකාරිය පැවැති වූ මාතර දිස්ත්‍රික් “ වැවිලි සවිය ක්‍රීඩා උළෙල 2019 ” සමාරම්භක උත්සවයට එක්වෙමින් වැවිලි කර්මාන්ත ඇමැති හා එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක නවින් දිසානායක මහතා එසේ සඳහන්ය.

එහිදී තවදුරටත් නවීන් දිසානායක මහතා මෙසේ ද කීය.

මාතර හම්බන්තොට ගාල්ල කොහොමත් මහින්ද රාජපක්ෂ මහතාගේ පැත්තට දමා තිබෙන්නේ. එය අපට ගැටලුවක් නැහැ. අනිත් දිස්ත්‍රික්ක සියල්ල මැතිවරණයෙන් අප දිනනවා.

ක්‍රීඩාව ගැන කතා කිරීමේදී ගැටලු රැසක් දකින්න තිබුණත් අද අපට ඉතාමත් දක්ෂ ක්‍රීඩකයන් පිරිසක් දකින්න වාසනාව ලැබුණා. ඉතාමත් දක්ෂ දරු පරපුරක් අපේ මාතෘ භූමියට ඉන්නවා. ඒ අනුව අප අපොහොසත්. දේශපාලනඥයන් මෙන්ම ආණ්ඩුව මේ අය නිසිමඟට යොමු කරවීමේ වගකීම තිබෙන්නේ. මාගේ දිවංගත පියාණන් 1980 දශකයේ මුල් කාලයේ වියළි කලාපය තෙත් කලාපයක් කර මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය හරහා මහවැලි ක්‍රීඩා කියා සංකල්පයක් ආරම්භ කළා.

මා එදා පුංචි දරුවෙක් ලෙස එතුමාගේ අතේ එල්ලී ඒ ක්‍රීඩා උත්සව නැරඹීමට ගියා. එදා ඒ අලුත් ගම්මානවල ස්ථාපිත වූ අලුත් ශිෂ්ඨාචාරයේ දරුවන්ට සිය දක්ෂතා ඔපමට්ටම් කර ගැනීමට අවස්ථාව ලැබුණා. එදා ඒ අයගේ ක්‍රීඩා කුසලතා පෙන්වා ඉදිරියට පැමිණ ජාතික ක්‍රීඩා තලයට ඇතුළුවෙන්න හැකි වූ අතර ශ්‍රියානි කුලවංශ ක්‍රීඩිකාව මහවැලි ගම්මානෙකින් ජාතික තලයට ආ ක්‍රීඩිකාවක්. වර්තමානයේ අපත් අලුතෙන් සිතා කුඩා තේ වතු සමිති , කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය හරහා මහවැලි ක්‍රීඩා වගේම ‘වැවිලි සවිය‘ ක්‍රීඩා ක්ෂේත්‍රය නංවන්න. ඉතාමත්ම විනයානුකූලව මේ දරුවන්ගේ දක්ෂතා හඳුනගෙන පුහුණුවක් ලබාදී ඒ දරුවන්ට අවශ්‍ය සම්පත් ටික ලබා දී කැපිල්ලකින් තොරව ඒ අය ඉහළට ගැනීමට පියවර ගත යුතුයි.

සමහර අවස්ථාවල දක්ෂ දරුවෙක් සිටින විට ඒ දරුවට ඉහළට එන්න දෙන්නේ නැහැ. නොයෙකුත් බාධා අභියෝග එල්ල කරනවා. ක්‍රීඩා සමිති , ක්‍රීඩා උපදේශකවරු මෙවැනි දරුවන්ට කුසලතා වර්ධනයට අවස්ථාව නිදහස ලබාදිය යුතුයි. සමහර අවස්ථාවල දක්ෂයාව නැති කර, පාගන්න උත්සාහ කරනවා. මෙරට දක්ෂ ක්‍රීඩකයෙක් වූ සිදත් වෙත්තමුනි මහතා ක්‍රීඩා අමාත්‍යංශයේ සභාපති ලෙස කටයුතු කළ අවංක මහත්තයෙක්. ඔහු ඉතාමත් හොඳින් ක්‍රිකට් මණ්ඩලය පාලනය කළා. ඊට පසු පැවැති මැතිවරණය අවසානයේ එම තනතුරට වෙන අයෙක් පත් කළ අතර නැවත සොරකම් හා දූෂණ තත්ත්වය එහි ඇති වුණා. ඒ නිසා ඉකුත් වසර තුනේම මෙරට ක්‍රිකට් ක්‍රීඩාව මෙතරම් අඩු තලයකට ආවේ. ඉතාමත් දක්ෂ ක්‍රීඩකයෝ සිටියත් ක්‍රිකට් ක්‍රීඩාව කරන්න ඒ අයගේ මනස හදලා නැහැ . කණ්ඩායම තුළ බෙදීම් ඇති වෙනවා. ක්‍රීඩාවත් ජීවිතය වගේ. ජයග්‍රහණය ඉලක්ක සපුරා ගන්න එකමුතුකම අවශ්‍යයි.විශේෂයෙන් අපේකම තිබිය යුතුයි. අවශ්‍ය නායකත්වය ලබා දිය යුතුයි. ඒවා වෙන්නේ නැතිකොට ක්‍රීඩාව පමණක් නොවෙයි. අනිත් දේවලුත් කඩා වැටෙනවා. ළඟ එක ක්‍රිකට් මැතිවරණයෙන් පසු දක්ෂයන් රැසක් බිහිවේවි කියා මා සිතනවා.

කෝටි ගණනින් විශාල මුදලක් ලැබෙන විට සොරකම දූෂණය ඇතිවීමේ ප්‍රවණතාව වැඩියි. නමුත් ඒවාට මා ඉඩ තබන්නේ නැහැ. සැමවිටම කෙලින් කතා කරන , වැඩ කරන ඉතාමත් විනිවිධ භාවයෙන් කටයුතු කරන පිරිසක් අවශ්‍යයි. අපේ මාතෘ භූමියේ ක්‍රීඩාවෙන් ජාතියක් ස්ථාවර කිරීම අවශ්‍යයි. එම තත්ත්වය ඕස්ට්‍රේලියාව කර තිබෙනවා. එරටත් අපේ ජනගහණයට සමානයි. කෝටි දෙකක ජනතාවක් ඕස්ට්‍රේලියාවේ ඉන්නවා. සෑම දරුවෙකුටම ක්‍රීඩාව අනිවාර්යයි. සතියට දින දෙක තුනක් පාසල් වේලාවෙන් පසු ක්‍රීඩා කළ යුතුයි. ඊට අවශ්‍ය උපදේශනය, පෝෂණය, ආදී අත්‍යවශ්‍ය දේට සම්පත් ලබා දෙන අතර එලෙසයි එරට දරුවගේ මනස සකසන්නේ. අපිත් මේ අයුරින් සාධනීය නව ආකාරයකින් මෙරට දරු පරම්පරාව නිර්මාණය කිරීම කළ යුතු කාලීන අවශ්‍යතාවක්.

එක් පැත්තකින් දරුවා පාසල් ගොස් කටපාඩම් කර විභාග සමත්වුවත් රැකියා අවස්ථා නැහැ. වර්තමානයේ අප වෙත එන්නෙ රැකියා ඉල්ලා තරුණ තරුණියන්ගෙ මවුපියන්. මේ ක්‍රමයට රටක් දියුණු කරන්න බැහැ. දරුවන් ක්‍රීඩාවට යොමුකිරීමත් රැකියා වෙළෙඳපොළ අනුව ඒ අයට අවශ්‍ය අධ්‍යාපනය ලබා දී අනාගත තරුණ පරම්පරාව සැකසීමට අප පියවර ගත යුතුයි.

මෑත ඉතිහාසයේ මෙරට තරුණ විප්ලව තුනක් ඇති වුණු බව අප මතක්කර ගත යුතුයි. එනම් 71 විප්ලවය තරුණ තරුණියන් 50000ක් මැරුවා. 88, 89 ඊළඟ විප්ලවය . එහිදීත් තරුණ තරුණියන් මියගිය අතර උතුරේ කැරැල්ල 1976 ප්‍රභාකරන්ගේ කණ්ඩායම. මුලින් වෙඩි තැබුවේ 1976 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරෙයප්පාට. ඒ ගමන 2009 වෙනකම් ගියා. තරුණ ජීවිත කීයක් නැති වුණාද . ඒ ශ්‍රී ලංකාවේ අපේම මානව සම්පත් අපිට ආරක්ෂා කරගන්න බැරි වෙලා තියෙනවා.

ඒ අනුව රටේ සංවර්ධනය , ක්‍රීඩාව ගැන, ශ්‍රී ලංකාව ගමන් කළ යුතුතේ කෙසේද කොතැනටද කියා අලුතෙන් හිතන්න අවශ්‍යයි. අප මේ පුංචි විප්ලවයක් ආරම්භ කළේ කුඩා තේ වතු සංවර්ධන අධිකාරියෙන්. කුඩා තේ වතු හිමියන්ට ඒ අවශ්‍ය සම්පත් හා හොඳ මිලක් ලබා දී, අපේ තේ සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළ ආරක්ෂා කරගෙන අපි ඉදිරියට යන්න උත්සාහ කරන්නේ.

දකුණේ , මාතර ජනතාව වැඩිය අපේ පක්ෂයත් සමඟ සම්බන්ධ නැහැ. ඡන්ද ගණන් කරන විට එය තේරෙනවා. නමුත් හොඳ දෙයක් කරන්න අප මෙහාට අාවේ. මාතර, හම්බන්තොට, ගාල්ල අපි කොහොමත් මහින්ද මහත්තයාට දාලා තියෙන්නේ. ඒක ප්‍රශ්නයක් නැහැ . අපි අනික් දිස්ත්‍රික්කනම් දිනනවා. මේ පළාතෙ අය පොහොට්ටුවට ඡන්දයක් දුන්නට ප්‍රශ්නයක් නැහැ. එය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. මේ අයට මා ආරාධනා කරනවා නුවර, මාතලේ, නුවරඑළිය, බදුල්ල පළාත්වලට එන්න ඔබලාට වෙනසක් දැනෙයි. මෙරට සංයුතිය එහෙමයි. දකුණ වාමාංශිකයි. උඩරට යූඑන්පීයට බරයි. උතුරු නැඟෙනහිරත් යූඑන්පීයට බරයි. බස්නාහිර පනහට පනහ (50ට 50). ඒක පාවෙන ඡන්දත් සමඟ නිතර ක්‍රියාත්මක වන්නේ. මෙවැනි සංයුතියක් තුළ විශේෂයෙන්ම ජනාධිපතිවරණයක් අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්.

ගන්දර සමූහ


නව අදහස දක්වන්න