රජරටට මිණි පහනක් බඳු අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන් මහා විහාරය | දිනමිණ

රජරටට මිණි පහනක් බඳු අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන් මහා විහාරය

ගිරාඹේ ආනන්ද අනුනාහිමියන් අරඹන ලද ශ්‍රී සාරානන්දයේ දළදා තේවාවන් අඛණ්ඩව සිදුකරමින්

අනුරාධපුර පුණ්‍ය භූමියෙහි පිහිටි ශ්‍රී සාරානන්ද මහපිරිවෙන සහිත මහා විහාරය උතුරුමැද පළාතේ පමණක් නොව ශ්‍රී ලංකාද්වීපයේම ඉතා ප්‍රකට පිරිවෙනක් මෙන්ම විහාරස්ථානයක් ලෙස සැලකේ.

මෙම පුණ්‍ය භූමියෙහි නිර්මාතෘවරයා වන්නේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ධර්ම කීර්ති ශ්‍රී සාරානන්ද අතිපූජ්‍ය පණ්ඩිත සියඹලන්ගමුවේ ගුණරතන අනුනාහිමියන්ය. ශ්‍රී සාරානන්ද පුදබිම පිහිටි භූමිය එකල ගව ගාලකි. මෙම ගවගාල මිලයට ගත් ගුණරතන අනුනාහිමියෝ විවිධ බාධක මධ්‍යයේ එහි ඉදිකිරීම් ආරම්භ කරන ලදී.

මෙම පිං බිමේ දැනට ඉදිකර ඇති 88 රියන් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ වැඩ බොහෝ දුරට කරගෙන යන අතරේ පුරාවිද්‍යාවෙන් ලිපියක් ලැබිණි. වහාම පිළිමයේ වැඩ නවත්වා එය කඩා ඉවත් කරන ලෙස එම ලිපියේ සඳහන්ව තිබුණි. වැඩ නැවතුනේ නැත. නිලධාරි මහතෙකු නාහිමියන් හමුවීමට පැමිණ “නායක හාමුදුරුවනේ මෙම පිළිමය අවසරයක් නැතිවයි ඉදිකරන්නෙ. ඒ නිසා එය ඉවත් කළ යුතුයි. අනික මේ පැරණි සිද්ධස්ථානයන් තිබෙන තැන්වල මේවා ඉදිකරපුවාම පැරණි ඒවාට අගෞරවයක් වෙනවා. එම නිසා මෙය ඉවත් කළ යුතුයි.” එවිට නාහිමියෝ මහත්තයෝ මේ රට බුදුන් වහන්සේට හත්වතාවක් පූජා කරපු එකක්. ඒ නිසා බුදුන් වහන්සේට ලංකා පොළොවේ ඕනෑම තැනක වැඩ ඉන්න කාගේවත් අවසරයක් අවශ්‍ය නැහැ. අනික පැරණි සිද්ධස්ථානවලට අලුතින් ඉදිවන ඒවා නිසා ‍අගෞරවයක් සිදුවනවා නම් මට ඉස්සරවෙලා දුටුගැමුණු රජ්ජුරුවන්ට දඬුවම් දිය යුතුයි.

නිලධාරි මහතා නිහඬව නැගිට ගියේය. පිළිමය නිර්මාණය කිරීමේ කටයුතු දිගටම සිදුවිය. දැන් එම පිළිම වහන්සේ බෞද්ධ ජනතාවගේ භක්තිය, ගෞරවය හා ශ්‍රද්ධාව ඉස්මතු කරන්නක් බවට පත්ව ඇත.

අනුරාධපුරය බෞද්ධයින්ගේ කේන්ද්‍රස්ථානය වූවත්, ඇතැම්විට වන්දනාවේ වැඩම කරන භික්ෂුන් වහන්සේලාට මෙන්ම බැතිමතුන්ට නවාතැන් ගැනීමටත් ඉඩක් නැති අවස්ථා එමටය. ඒ නිසාම සාරානන්ද බෞද්ධ මධ්‍යස්ථානය ඇරඹුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් කාමර 105 කින් යුත් දෙමහල් ගුණරතන විශ්‍රාම ශාලාව ඉදිවිය.

තමන් වහන්සේ තුළ තිබූ අදහසක් මුදුන් පත්කරමින් 1952 ජනවාරි මස තම ගුරු දේවයන්ගේ නමින් සිසුන් 08 දෙනෙකුගෙන් ශ්‍රී සාරානන්ද පිරිවෙන ආරම්භ කළහ. උන්වහන්සේගේ මුළු ජීවිත කාලයම කැප කළේ මෙම අධ්‍යාපන පීඨය වැඩිදියුණු කිරීමටය. පාසල් අහිමි වූ සිසුන්ටත්, භික්ෂුන් වහන්සේලාටත් වැඩිදුර අධ්‍යාපනය සඳහා මෙය බොහෝදුරට ඉවහල් විය. දක්ෂ ගුරු මණ්ඩලයේත්, ක්‍රමවත් කළමනාකරණයේත් ප්‍රතිඵලය වූයේ 1965, 66, 67 වර්ෂවල ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් ශ්‍රී සාරානන්දයෙන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමය. 6 වැනි ශ්‍රේණියේ සිට උපාධිය දක්වා එහි විද්‍යාකලා, වාණිජ පන්ති ඇරඹුණි. 1986, 87, 89 වර්ෂවල ලංකාවේ වැඩිම සිසුන් පිරිස අනුරාධපුර ශ්‍රී සාරානන්දයෙන් විද්‍යා උපාධි ලැබූහ. උන්වහන්සේගේ සේවය විශේෂයෙන් ගම්බද ලබාදුනි. ගම්බද අසරණ අහිංසක දරුවන්ට නේවාසික පහසුකම් ලබාදෙමින් නොමිලයේ ආහාරපාන සපයා දෙමින් ශිෂ්‍යත්ව ප්‍රදානය කරමින් අධ්‍යාපනය ලබාදුනි. ඒ අනුව අනුරාධපුර ශ්‍රී සාරානන්ද මහා පිරිවෙනින් බිහිවුණු උගතුන් දහස් ගණනකි. අද රජයේ මෙන්ම පුද්ගලික ආයතනයන්ගේ ද උසස් නිලතල දරන්නෝ අපමණය. මැති ඇමැතිවරුන් කීපදෙනෙක් සිටිති.

ගුණරතන අනුනාහිමියන්ගේ ජීවිතය ගෙවුනේ දුක් කරදර හිරිහැර බාධක මධ්‍යයේ ය. ඒවා සම්පත් ලෙස සැලකූ නාහිමියෝ අධෛර්යයට පත් නොවී ධෛර්යවත් බව ලබාගත්හ. ඒ තුළින් ඇතැමෙක් නොබැලූ තැන් බැලූහ. නොලැබූ තැන් ලැබූහ. ඒ තුළින් අපරිමිත සේවයක් සැලසූහ. එය අපේ අනාගතයට ආදර්ශයක් කරගතිමු. ගුණරතන අනුනාහිමියන්ද ස්වභාව ධර්මයට යටත් වූයේ 1989 මාර්තු 08 වැනිදාය.

සියඹලන්ගමුවේ ගුණරතන අනුනාහිමියන්ගේ අපවත්වීමෙන් පසු අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන් විහාරයේ අධිපති ධුරයට පත්වූයේ ගිරාඹේ ආනන්ද හිමියන්ය. ගිරාඹේ ආනන්ද හිමියන් අනුරාධපුර ශ්‍රී සාරානන්ද විහාරයට වැඩම කළේ 1997 ඔක්තෝම්බර් මස 10 වැනිදාය. ඒ වනවිට මෙම ස්ථානයේ වැඩ වත්මන් විහාරාධිපති සිටියේ අටබාගේ විමලඥාන හිමියන්ය. අපවත්වී වදාළ ගුණරතන නාහිමියන් අරඹන ලද සියලුම සංවර්ධන කටයුතු වේගවත්ව නිම කිරීමට ආනන්ද හිමියන් සමත්වූහ. විශ්‍රාම ශාලාව වැඩිදියුණු කිරීම, ශ්‍රී සාරානන්ද පිරිවෙනේ ගොඩනැගිලි නවීකරණය කිරීම, 88 රියන් ප්‍රතිමාවේ ඉදිකිරීම් සියල්ල නිම කිරීම, දළදා මන්දිරය තැනවීම, අටමුණිසෑය ඉදිකිරීම, බුද්ධ මන්දිරය නවීකරණය කිරීම, ලෙන් විහාර මන්දිරයක් ඉදිකිරීම, ධර්ම ශාලාව වැඩිදියුණු කිරීම ආදී සියලු සංවර්ධන කටයුතු ගිරාඹේ ආනන්ද නාහිමියන්ගේ නොපසුබට උත්සාහයෙන් සිදුවිය.

සියඹලන්ගමුවේ ගුණරතන අනුනාහිමියන්ගේ අපවත්වීමෙන් පසු ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභාවට පත්වූ ගිරාඹේ ආනන්ද නාහිමියෝ එතැන් සිට නිකායේ වැඩ කටයුතුවලට විශාල දායකත්වයක් ලබාදෙන ලදී. මේ අතර ශ්‍රී සාරානන්ද සඟ පරපුරේ නායකත්වයටද පත්කරගන්නා ලද්දේ ගිරාඹේ ආනන්ද නාහිමියන්ය. මීට සමගාමීව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ගරුතර කාරක සංඝ සභාව විසින් ගිරාඹේ ආනන්ද නාහිමියන්ට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පදවියද පිරිනමන ලදී.

1981 වසරේදී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උපසම්පදා උළෙල ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේ දී පැවැත්වීමටද මහත් කැපවීමකින් කටයුතු කළ ගිරාඹේ ආනන්ද අනුනාහිමියෝ 2010 වසරේදී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 67 වැනි උපසම්පදා මහෝත්සවයද අනුරාධපුරයේ පැවැත්වීමටද පුරෝගාමී වූහ. මෙසේ ජාතික වූත් ආගමික වුත් සමාජ මෙහෙවරයන්හි නිරතව සිටි ගිරාඹේ ආනන්ද අනුනාහිමියන්ද 2017.02.20 වැනි දින අපවත් වී වදාළ සේක.

ගිරාඹේ ආනන්ද අනුනාහිමියන්ගේ අපවත් වීමෙන් පසු අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන් මහා විහාරයේ විහාරාධිපති ධුරයට පත්වූයේ අටබාගේ විමලඥාන හිමියන්ය. 1953.03.22 වැනි දින ගම්පල අටබාගේ නමැති රමණීය ගම්පියසේ උපත ලද විමලඥාන හිමියන්ගේ පියා කංකානම්ගේ සමරතුංග උපාසක මහතාය. මව එස්. පී. කරලිනාහාමි උපාසිකා මාතාවය. විමලඥාන හිමියන්ගේ ගිහිනම ආරියදාසය. අටදෙනෙකුගෙන් යුත් පවුලේ පස්වැන්නා වූ ආරියදාස කුල කුමරු මූලික අධ්‍යාපනය ලැබුවේ අටබාගේ උඩගම තිරමනාගොඩ කනිටු විදුහලෙනි.

වයස නවයේදී කුල කුමරු අටබාගේ විමලඥාන නමින් සසුන්ගත වූහ. සාරානන්ද නිර්මාතෘ රාජකීය පණ්ඩිත සියඹලන්ගමුවේ ශ්‍රී ගුණරතන නාහිමියන්ගේ ශිෂ්‍ය රත්නය ලෙස පේරාදෙණිය ශ්‍රී සාරානන්ද පිරිවෙන් විහාරයේදී සසුන්ගත වූ විමලඥාන හිමියෝ පැවිදි වීමෙන් පසු පේරාදෙණිය ශ්‍රී සාරානන්ද පිරිවෙනට ඇතුළත්ව මූලික අධ්‍යාපනය ලැබූහ. පසුව නාරම්මල සීලවතී පිරිවෙනට ඇතුළත්ව අධ්‍යාපනය ලැබූ විමලඥාන හිමියෝ සාමාන්‍ය පෙළ සමත්වූහ. 1974 වසරේ දී අනුරාධපුර ශ්‍රී සාරානන්ද විහාරයට පැමිණ උන්වහන්සේ අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨයට ඇතුළත්ව ත්‍රිපිටකවේදී ගෞරව උපාධිය ලබාගත්හ. උන්වහන්සේ ස්ව උත්සාහයෙන්ම උසස් පෙළ හදාරා උසස් පෙළ ද සමත්ව විශ්වවිද්‍යාලයට තේරීපත් වූහ. විවිධ හේතූන් මත වැඩිදුර අධ්‍යාපනයට පිවිසුනේ නැත.

අපවත් වී වදාළ ගිරාඹේ ආනන්ද අනුනාහිමියන් සමඟ ශ්‍රී සාරානන්දය වැඩිදියුණු කිරීම සඳහා විශාල කැපකිරීමක් සිදුකළ විමලඥාන හිමියන් දැනුදු විහාරස්ථානයේ ඉදිරි කටයුතු ඉතා සාර්ථක අයුරින් සිදුකිරීමට සැලසුම් කර තිබීම විශේෂත්වයකි.

අපවත් වී වදාළ පණ්ඩිත සියඹලන්ගමුවේ ගුණරතන අනුනාහිමියන් හා අපවත් වී වදාළ ගිරාඹේ ආනන්ද අනුනාහිමියන්ගේ ගුණ සමරා මහා පුණ්‍ය කර්මයක් 2019.02.19,20 යන දෙදින තුළ සිදුකිරීමට මහා සංඝරත්නය ඇතුළු දායක කාරකාදීන් කටයුතු සූදානම් කර තිබේ. ඊයේ 19 වෙනි දින සර්වරාත්‍රික පිරිත් දේශනයෙන් අනතුරුව අද 20 වැනි දින දහවල් මහා සංඝරත්නය විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක් පිරිනැමේ.

අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන් විහාරයේ අභිනව විහාරාධිපති ධුරයට පත්ව සිටින පිරිවෙන් කෘත්‍යාධිකාරී, ශාස්ත්‍රපති, ත්‍රිපිටකවේදී අටබාගේ විමලඥාන හිමියනි ඔබවහන්සේගේ ඉදිරි ශාසනික කටයුතු සාර්ථකව සිදුකර ගෙනයාමට උතුම් ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ පිහිට හා ආරක්ෂාව ලැබ නිදුක් නිරෝගී සුවය අත්වේවා යන්න බොදු බැතිමතුන්ගේ පැතුමයි.

සේනපුර ඩී. නිශ්ශංක -
අනුරාධපුර නැගෙනහිර සමූහ


නව අදහස දක්වන්න