ජැෆ්නා ෆෙස්ටිවල් තෙවැනි වරටත් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී | දිනමිණ

ජැෆ්නා ෆෙස්ටිවල් තෙවැනි වරටත් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී

විශිෂ්ට ආහාර පාන හා සංස්කෘතික අභිමානයකින් සමන්විත ශ්‍රී ලාංකීය සූපවේද හා සංස්කෘතික මංගල්ලය හෙවත් ‘ජැෆ්නා ෆෙස්ටිවල්’ පිළිවෙළින් තෙවැනි වරටත් පැවැත්වීමට සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වේ.

පසුගිය 14 වැනිදා ආරම්භ වූ මේ උළෙල මේ 24 වැනි දින දක්වා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ නුගගම පරිශ්‍රයේදී ඔබටත් යාපනයේ වෛවර්ණ ජීවන රටාව සමග බැඳී පවතින සංගීතය සමගින් පුළුල් පරාසයක පැතිරුණු ආහාර රසවිඳීමට අවස්ථාව උදාවී තිබේ. උතුරු පළාතට ආවේණික 70කට අධික සාම්ප්‍රදායික ආහාර වර්ග මෙහිදී රසවිඳිය හැකි අතර, දමිළ ජනයාගේ සාම්ප්‍රදායික නර්ථනාංගද මේ ආහාර උළෙල තවත් අලංකාරවත් කරනු ඇත. තල් ශාකයෙන් නිපදවනු ලබන අලංකාරවත් නිෂ්පාදන මෙන්ම වෙළෙඳ කුටි පමණක් නොව තවත් ආකර්ෂණීය අංග රැසකින් මේ උත්සවය සමන්විත වේ. යාපනය හා ඒ අවටින් සොයාගත හැකි අමුද්‍රව්‍ය යොදා සකසන මේ ආහාර පිසිනු ලබන්නේ යාපනයේම කාන්තාවන්ගේ අත්වලින්වීම මේ ආහාර උළෙලේ ඇති තවත් විශේෂත්වයකි.

සිනමන් ග්‍රෑන්ඩ් ජැෆ්නා ෆෙස්ටිවල් යනු පුළුල් පරාසයක පැතිරෙන ආහාර හා සංස්කෘතික අංග සම්මිශ්‍රණයක් වනවා පමණක් නොව ප්‍රජාවන් පිළිබඳ දැනුම ලබා දෙන අවස්ථාවක් ලෙසද හැඳින්විය හැකිය.

සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේ නුගගම හෙවත් නගරය මැද පිහිටි ගම්මානය තුළ පැවැත්වෙන මේ ආහාර උළෙල අතරතුර යාපනයේ පුන්කුඩුතිව් දිවයිනේ නිපදවන ප්‍රසිද්ධ කුළු බඩු වර්ග මිලදී ගැනීමටද හැකියාව පවතී. යුද්ධය පැවැති කාලයේදී ජීවිතයේ දුෂ්කරම කාලසීමාවක් පසු කළ මේ කාන්තාවන් යුද්ධයේ නිමාවත් සමග සිය ගෘහ ආශ්‍රිතව මේ කුළු බඩු නිෂ්පාදනය ආරම්භ කර තිබේ. කුළුබඩු පමණක් නොව තල් ආශ්‍රිත නිපැයුම් මෙන්ම අත්කම් නිර්මාණද මෙහිදී අලෙවියට තබා තිබේ. මේ අවස්ථාවට සහභාගී වන ඔබට යාපනයේ වැවෙන නැවුම් එළවළු වර්ග මෙන්ම වර්ග 10කට අධික කරවල වර්ගයන්ද මිලට ගැනීමට හැකියාව ලබා දී ඇත. ජෙලබීස් වැනි යාපනයේ ජනප්‍රිය සම්ප්‍රදායික රසකැවිලි වර්ග අලෙවිසැලක්ද මේ ආහාර උළෙල අතරතුර නුගගම පරිශ්‍රයේ සූදානම් කර තිබේ. මේ ආහාර නිෂ්පාදන සියල්ල යාපනය ප්‍රදේශයෙන් මිලදී ගෙන තිබෙන අතර අලෙවියෙන් ලැබෙන සම්පූර්ණ ආදායම වෙළෙඳුන්ටම හිමිවේ.

‘ජැෆ්නා ෆෙස්ටිවල්’ පැවැත්වෙන කාලයේදී නුගගම පරිශ්‍රය තුළ ‘A One Rhythm’ සංගීත කණ්ඩායම සජීවී සංගීතයෙන් උළෙල රසවත් කරනු ඇත. හිමාලයා නර්ථන කණ්ඩායම සහ නාගප්පු ග්‍රාමිය කලයි කුලු කණ්ඩායම ඉදිරිපත් කරන සංස්කෘතිකාංග මේ ආහාර උළෙලට පැමිණෙන අමුත්තන්ට ඔවුන් ආහාර ගනු ලබන අතරතුර ජීවිතයේ නව අත්දැකීමක් ලබා දෙයි. ඊට අමතරව විශිෂ්ට චිත්‍ර ශිල්පී තම්පිරාසා සුරේෂ්කුමාර් විසින් සජීවීව අඳිනු ලබන සිතුවම් මෙන්ම ශිල්පීය නිර්මාණද මිලදී ගැනීමට හැකියාව ඇත.

යාපනය ප්‍රදේශයේ ජනයා අතර පරපුරින් පරපුරට උරුම වූ ආහාර වර්ගයන් ‘ජැෆ්නා ෆෙස්ටිවල්’ වෙත පැමිණෙන්නන්ගේ රස නහර පිනවන අතර, යාපනය ප්‍රදේශයේ කාන්තාවන් අතින්ම එම ආහාර පිසීම නිසා ඊට තවත් අමතර වක් එකතු වී තිබේ.

නිවිති පිට්ටු, ඉඳිආප්ප, බත්, වම්බටු සුදු ව්‍යාංජනය, ළුෑණු උළුහාල් ව්‍යාංජනය, කොඬොල් අල ව්‍යාංජනය, තුවාරම් පරිප්පු ව්‍යාංජනය, ගල් මාලු ව්‍යාංජනය, ඉස්සන් ව්‍යාංජනය, මෝර මැල්ලුම, මඩු මාලු ව්‍යාංජනය, හරක්මස් ව්‍යාංජනය, දැල්ලො ව්‍යාංජනය සහ කුකුළු මස් ව්‍යාංජනය මෙන්ම බැදපු ඉස්සන්, බැදපු මාලු මෙන්ම බැදපු දැල්ලන්ද ඇතුළු තවත් බොහෝ ආහාර ජැෆ්නා ෆෙස්ටිවල්හිදී ඔබට රසවිඳිය හැකිය.

ආප්ප ආහාරයට ගැනීමට කැමති ආහාර රසවතුන් වෙනුවෙන් වෙනම ස්ථාන සූදානම් කර තිබෙන අතර, පිනාටු, ලඩ්ඩු, අඹ සහ වරකා මෙන්ම ජනප්‍රිය රියෝ අයිස්ක්‍රීම් ඇතුළු අතුරුපසින්ද මේ ආහාර උළෙල රසගන්වනු ඇත.

සතියේ දිනයන්හිදී රාත්‍රී ආහාර වේල් (පස්වරු 7.00 සිට පස්වරු 11.00 දක්වා) පමණක් සඳහාද, සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හිදී දිවා ආහාර වේල් සඳහා (පෙරවරු 11.30 සිට පස්වරු 3.00 දක්වාද) මෙන්ම රාත්‍රී ආහාර වේල් වෙනුවෙන්ද ජැෆ්නා ෆෙස්ටිවල් ආහාර උළෙල පැවැත්වෙනු ඇත.

 


නව අදහස දක්වන්න