ව්‍යවස්ථාවට පටහැනි ජාතික ආණ්ඩුවක් හදන්නේ නැහැ | දිනමිණ

ව්‍යවස්ථාවට පටහැනි ජාතික ආණ්ඩුවක් හදන්නේ නැහැ

කිසිම විටෙක ව්‍යවස්ථාවට පටහැනි ජාතික ආණ්ඩුවක් හදන්නේ නැතැයි මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා සදහන් කරයි. 
 
ඇමතිවරයා මේ බව කියා සිටියේ දැදිගම ප්‍රදේශයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පැවරීමේ හා වැඩ ආරම්භ කිරීමේ උත්සව මාලාවකට එක් වෙමිනි. 
 
2015 වසරේ රටේ ඇති වූ වෙනසත් සමඟ එක්සත් ජාතික පක්ෂය රට තුල ගැන හිතලා, ජාතික ආණ්ඩු වැඩ පිලිවෙලකට එක් වුණා. රටක් වෙනස් කිරීමට යන විට ප්‍රශ්ණ ඇති වෙනවා. දිගු කලක් පැවති ක්‍රමවේදයක් වෙනස් කරන විට වාද විවාද ඇති වෙනවා. නමුත් එක්සත් ජාතික පක්ෂය හැමදාම හරි දේ කරන පක්ෂයක් විදියට ජනතාව ගැන හිතලා තීන්දු ගන්නවා. ප්‍රතිලාභ ලබන්න නම් කැපකිරීම් කලයුතු වෙනවා. නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටිමින් ජනතාවගේ ජීවිත වෙනස් කරන්න විශාල කැපකිරීම් කලයුතුව තිඛෙනවා. එම පොදු පරමාර්ථය ඉෂ්ඨ කිරීම වෙනුවෙන් දේශපාලන පක්ෂ පාට අමතක කර එක වේදිකාවකට නැඟීම වෙනුවෙන් තමයි මේ ජාතික ආණ්ඩු සංකල්පය අපි නිර්මාණය කළේ. රටක් ගොඩනැඟීමට නම් එක මතයක් දරාගෙන එක වැඩපිලිවෙලකට යෑම අත්‍යාවශ්‍ය වෙනවා. යැයි ද ඇමතිවරයා කියා සිටියේය. 
 
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
 
මේ දිනවල ජාතික ආණ්ඩුව ගැන විවිධ මතවාද විවාද සිදුවෙමින් පවතිනවා. එක්සත් ජාතික පෙරමුණ ජාතික ආණ්ඩු සංකල්පය හැදුවේ විනිවිද භාවයෙන් යුක්තවයි. පාර්ලිමේන්තුවේ සම්මත කල 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සියළු නීති රීති යටතේ පමණයි ජාතික ආණ්ඩුවක් හදන්නේ. කිසිම විටෙක ව්‍යවස්ථාවට පටහැනිව ජාතික ආණ්ඩුවක් හදන්නේ නැහැ. ජාතික ආණ්ඩුවක් හදන්නේ තනි පක්ෂයක් සමඟ නොවෙයි. වර්ථමාන රජය සමඟ එක්ව කටයුතු කිරීමට විශාල පිරිසක් බලාපොරොත්තුවේ සිටිනවා. විවිධ මත දරන අය තේරුම් අරගෙන තිඛෙනවා මේ ආණ්ඩුවට ශක්තිය ලබා දී පොදු වැඩපිලිවෙළක් තුලින් රට ඉදිරියට රැගෙන යායුතු බවට. මේ රට හදන්න නම් පළමුවෙන්ම ඉදිරි කාලය තුලදී රට තුල දේශපාලන ස්ථාවරත්වයත්, දේශපාලන බලයත් ගොඩනඟා රට පිලිබඳ විශ්වාසයක් ඇති කල යුතු වෙනවා. එම විශ්වාසය ඇති කරන්න නම් ජාතික ආණ්ඩු වැඩපිලිවෙල රටතුල ක්‍රියාත්මක කළ යුතු වෙනවා. රටට ආදරය කරන අනෙකුත් පක්ෂවල අයත් ඉදිරියේදී රජයට එක්වීමට නියමිතයි.
 
මෙම අවස්ථාවට ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

නව අදහස දක්වන්න