A’19 :ආකිටෙක්ට් 2019 | දිනමිණ

A’19 :ආකිටෙක්ට් 2019

වාස්තු විද්‍යාඥයන්ගේ නිර්මාණ සහ වෙළෙඳ ප්‍රදර්ශනය1957 වර්ෂයේ ආරම්භ කරන ලද ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ සංගමය මෙම වසරේ සිය 61ක් වන සංවත්සරය සමරන අතර වාර්ෂිකව පවත්වන ශ්‍රී ලංකාවේ ප්‍රධානතම වාස්තු විද්‍යා ප්‍රදර්ශනය වන ආකිටෙක් ප්‍රදර්ශනය පෙබරවාරි මස 21 වන දින සිට 24 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව (BMICH) හිදී පැවැත්වීමට නියමිතය. අති සාර්ථක 37 වන වරට පවත්වනු ලබන මෙම වෙළඳ ප්‍රදර්ශනය සෑම දිනකම පෙ. ව. 10.00 සිට ප. ව. 10.00 දක්වා පැවැත්වෙන අතර මෙහිදී වෙළෙඳ කුටි 300කට අධික සංඛ්‍යාවක් සහ වාස්තු විද්‍යාඥයින්ගේ නිර්මාණ සහිත ඩිජිටල් පුවරුද ඇතුළත්ව පුවරු 150කට අධික සංඛ්‍යාවක් මහජනතාවට දැක බලා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.

මෙම වසරේ වාර්ෂික සැසියේ සමාරම්භක උළෙල 2019 පෙබරවාරි 20 වෙනිදා ප.ව. 3.15 ට පැවැත්වීමට නියමිත අතර මෙම උළෙලේ ප්‍රධාන අමුත්තා ලෙස ගරු පාග මග සජිත් ප්‍රේමදාස මැතිඳුන් සහභාගි වන අතර ආර්ක්ඒසියා සභාපතිනි වාස්තු විද්‍යාඥ රීටා සෝ මැතිණිය ආරාධිත අමුත්තා ලෙස සහභාගි වනු ඇත. තවද ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනයෙහි සාමාජිකයින්ද, කලාපයේ අනෙකුත් වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනවල සාමාජිකයින්ද, විදේශ අමුත්තන්ද, විශේෂ ආරාධිතයින්ද, වාස්තු විද්‍යා හදාරන සිසුන් ඇතුළු ආරාධිතයින් රැසක් මෙම උළෙලට සහභාගි වනු ඇත.

වාස්තු විද්‍යාඥයින්ගේ නිර්මාණ සහ වෙළෙඳ ප්‍රදර්ශනයේ විශේෂතම අංගයක් වන ජාතික සමුළුව මෙවර පැවැත්වෙන්නේ “ව්‍යවසායක වාස්තු විද්‍යාඥයාගේ නිර්ගමනය” යන තේමාව යටතේ වන අතර මෙම සමුළුව 2019 පෙබරවාරි 21 වන දින කොළඹ නගරාධිපතිනි ගරු රෝසි සේනානායක මහත්මිය විසින් සමාරම්භ කරනු ඇත.

ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනයේ ආරාධනයෙන් වාස්තු විද්‍යාඥ නිකලස් හෝ (හොංකොං) සහ න්‍ෂ් සංගමයේ සභාපති වාස්තු විද්‍යාඥ මහසරු රොකුෂිකා (ජපානය) ප්‍රධාන කතිකයන් ලෙසින් සභාව අමතන අතර වාස්තු විද්‍යාඥ යොසුකේ හයානෝ (චීනය) සහ වාස්තු විද්‍යාඥ බෝහා රාටර් (ස්පාඤ්ඤය) යන වාස්තු විද්‍යාඥයින් මෙම විෂය පථයේ ඔවුන්ගේ විශේෂඥ දැනුම සහ අත්දැකීම් බෙදා ගැනීමටද නියමිතය. තවද ප්‍රවීන ශ්‍රී ලාංකීය වාස්තු විද්‍යාඥයින් වන වාස්තු විද්‍යාඥ විනෝද් ජයසිංහ, වාස්තු විද්‍යාඥ රුචි ජෙයනාදන්, වාස්තු විද්‍යාඥ ශෂිකලා රණසිංහ, වාස්තු විද්‍යාඥ කුමුදු මුණසිංහ සහ වාස්තු විද්‍යාඥ මුදිත ප්‍රේමතිලක මෙම සැසිය අමතනු ඇත.

මෙවර ජාතික සමුළුව විශේෂිත මුහුණුවරක් ගන්නා අතර එහිදී වාස්තු විද්‍යාඥයින්ට පමණක් නොව මෙම විෂයෙහි ඇල්මක් දක්වන සියලු දෙනාටම මෙම සම්මන්ත්‍රණයෙන් ආමන්ත්‍රණය කරනු ඇත. එහිදී වාස්තු විද්‍යා නිර්මාණ සහ ඒවායේ බාහිර පරිසරය සැකසී ඇති ආකාරය අප ජීවිතයට කොතරම් බලපෑමක් ඇති කරන්නේද යන්න වැඩිදුරටත් සාකච්ඡා වනු ඇත.

 

නව අදහස දක්වන්න