පණ මෙන් දරුවන් සුරකිමු | දිනමිණ

පණ මෙන් දරුවන් සුරකිමු

දුමින්ද අලුත්ගෙදර

රට තුළ සිදුවන ළමා අපයෝජන අවම කිරීමේ අරමුණින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ද ඉදිරියට පැමිණ තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලය දියත් කරන “දරුවන් සුරකිමු” ජාතික වැඩසටහනට සමගාමීව දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා එක්ව “ජන පවුර” ජාතික වැඩසටහනක් ආරම්භ කොට ඇත. “දරුවා මගේ ය” යන සංකල්පය වෙනස් කොට “දරුවා අපේ ය” යන සංකල්පය සමාජ ගත කිරීම එහි ප්‍රමුඛ කාර්ය යි.

දරුවන් ගැන සොයා බලන කිසිවකුත් නොමැති යුගයක් පසු කළ ශ්‍රී ලාංකිකයෝ වත්මනේ පැමිණ සිටින්නේ දරුවන්ගේ ආරක්ෂාව හා අයිතිවාසිකම් ගැන තර්ක විතර්ක කරන කාලයකට ය. වෙනදාට වඩා ළමා මානව හිමිකම් සම්බන්ධයෙන් හඬ නඟන බොහෝ දෙනෙක් පෙන්වා දෙන්නේ මේ රටේ ළමා පරපුර හිංසනයට හා මත් ජාවාරමේ ප්‍රධාන ඉලක්කය වී ඇති බවකි. එය මැඩලීමට නම් රාජ්‍ය නායකයාගේ සිට පහළ නිලධරයන් දක්වා පිරිස් එහි අවදානම අවබෝධ කරගත යුතු බවකි.

දරුවන්ට වුවමනා රැකවරණය, ආදරය, ආරක්ෂාව අහිමි වී යෑම ජාතික වශයෙන් අප මුහුණපා සිටින ඛේදනීය තත්ත්වයකි. ඊට ඕනෑ තරම් ලාංකේය සමාජය තුළ උදාහරණ ඇත්තේ ය. ඇතැම් දරුවන්ට මාතෘත්වය, පිතෘත්වය අහිමි වී බාරකරුවන්ගේ ග්‍රහණයේ සිට අනේක දුක් කම්කොටළුවලට මුහුණ දෙන්නේ ය. කීර්තිය ප්‍රශංසාව පමණක්ම ඉලක්ක කරගත් වැඩිහිටි පරපුරක් සිටින අපේ රටේ දරුවන් අනතුරේ ය. සමාජ මට්ටම් හිමිකර ගැනීමට ජනප්‍රියත්වය හා ප්‍රසිද්ධිය පසුපසම ලුහුබඳින ඇතමකුට තම දරුවා මඟ හැරෙන්නේ ය. ඒ නිසා ම අතීතයේ තිබූ ආරක්ෂාව දරුවන්ගෙන් ගිලිහී පියවරු අතින් දරුවෝ මියැදෙන අතර මවුවරු දරුවන් අතරමං කර යන්නෝ ය. එවැනි දරුවන්ට ළමා කාලයක් නොමැත. අත් දකින්නේ වේදනාව උරුමකරගත් කටුක ළමා කාලයකි.

ළමා ආරක්ෂාව

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත් වූ පසු ළමා ආරක්ෂාව වෙනුවෙන් ඇති නීති රීති දැඩි කිරීමට අවශ්‍ය බව නොයෙක් වර පවසා සිටියේ ය. එපමණක් ද නොව ‘දරුවන් සුරකිමු‘ ජාතික වැඩසටහන ක්‍රියාවට නැංවූයේ රටේ අනාගතය සුරක්ෂිත කිරීමට ය. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව පුරා විසිරී ඇති දරුවන්ගේ මානව හිමිකම් කඩවීම් වෙනුවෙන් පෙනී සිටින්නට බොහෝ සංවිධාන උත්සුක වන බවක් ද පෙනේ. යම් තරමකට එය සාධනීය තත්ත්වයකි. දරුවන් ආරක්ෂා කළ යුත්තේ මවුපියන් ය. ඔවුන් තම දරුවාගේ අනාගතය නිර්මාණය කළ යුතු ය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ළමා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම යහපත් වුවත්, ළමා පරපුර මුහුණ දී සිටින අනතුරු හා අභියෝග එතරම් සුබදායක නොවේ. මෛත්‍රී ජනාධිපතිවරයාගේ ‘දරුවන් සුරකිමු’ ජාතික වැඩසටහන ජාතියේ දරුවන් සුරකින, ඔවුන්ට අහිමි වී ගිය සුන්දර ළමා ලෝකය නැවත ඇති කිරීමේ වෑයමකි. ළමා කල අහිමි වී ගිය දරුවන් වැඩිහිටියන් ලෙස සමාජගත වීමේ දී සමස්ත සමාජයට පිළිලයක් වන අවස්ථා ඕනෑ තරම් ය. ජනපතිවරයා මත්ද්‍රව්‍ය එරෙහි සටන දියත් කිරීමේ දී මෑතකදී මාකඳුරේ මධූෂ් නැමැත්තා අත්අඩංගුවට පත් වූයේ විදෙස් රටක දී ය. මෙරට මාධ්‍ය මාකඳුරේ මධූෂ් ගැන වාර්තා පළ කළේ ළමා කල ඔහු විඳි අනර්ථයන් ගැන ය. ඉන් පැහැදිලි වන්නේ ඔහු සමාජයට පිළිලයක් වී ඇත්තේ ළමා කල අහිමි වී ගිය තැන විඳින්නට සිදුවූ කටුක අත්දැකීම් නිසා බව ය. කුමන ආකාරයට දරුවකු හිංසනයට ලක් වන්නෙ නම් එය අනාගත අනතුරකි. එනිසා ව්‍යසනයක් බවට පත්ව ඇති මත් ජාවාරම සහ ළමා ශ්‍රමය සූරාකෑම් නවතා දැමීමට දරුවන් සුරකිමු වැඩසටහන ඉදිරිගාමී පියවරකි.

රට තුළ සිදුවන ළමා අපයෝජන අවම කිරීමේ අරමුණින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ද ඉදිරියට පැමිණ තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලය දියත් කරන “දරුවන් සුරකිමු’’ ජාතික වැඩසටහනට සමගාමීව දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා එක්ව “ජන පවුර’’ ජාතික වැඩසටහනක් ආරම්භ කොට ඇත. “දරුවා මගේ ය’’ යන සංකල්පය වෙනස් කොට “දරුවා අපේ ය’’ යන සංකල්පය සමාජ ගත කිරීම එහි ප්‍රමුඛ කාර්ය යි. වඩාත් සුරක්ෂිත හෙට දවසක් උදාකර දීමෙන් ළමා අපයෝජන වැළැක්වීම, හඳුනාගැනීම සහ ඊට අවශ්‍ය ක්ෂණික පියවර පිළිබඳ දැනුවත් කිරීම . “ජනපවුර’’ ජාතික වැඩසටහන තුළින් ක්‍රියාවට නැංවේ. දිවයිනේ ග්‍රාම සේවා වසම් 14021ක ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන මෙකී වැඩසටහන තුළින් යහපත් ළමා සමාජයක් දැයට උරුමකර දීම අපහසු නොවන්නේ ය.

ජනපතිවරයා දිවයින පුරා ඇති පාසල්වලට නොයෙක් වර යමින් එමින් දරුවන්ගේ අනාගතය ගැන විමසීම මෙරට පුරවැසියන් ලද භාග්‍යයකි. මත් උවදුර මැඬලීමට පියවර ගැනීම ප්‍රසංසාවට ලක් වන්නේ ද එනිසා ය. ඉන් ළමා පරපුරේ හෙට දවස යහපත් වන බව දන්නා නිසා පුරවැසියෝ ජනපතිගේ උත්සාහයට අත්වැල් බඳිමින් සිටින්නෝය.

‘‘විශේෂයෙන් පාසල්වල උත්සවවලට මම සහභාගී වීමට වැඩි උනන්දුවක්‌ දක්‌වනවා. ඊට හේතුව දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නඟා සිටුවීමට රජය විසින් කරන කටයුතුවල සාර්ථක අසාර්ථක භාවය, ඒවා නිවැරදි කර ගැනීමට තිබෙන යෝජනා, පාසල්වල තත්ත්වය ආදිය පිළිබඳ අවබෝධයක්‌ ලැබෙන නිසා” යැයි පවසන ජනපතිවරයා පෙන්වා දෙන්නේ මේ රටේ ලක්ෂ 43ක දරුවන් පාසල් අධ්‍යාපනය ලබන බවකි. නගරයේ පාසල්වලට දරුවන් ඇතුළත් කර ගැනීමට මව්පියන්ට ඇති තරගය ගැනත් විවිධ අවස්ථාවල ජනපතිවරයා ප්‍රශ්න කළේ ය.

සම අයිතිය

‘‘කොළඹ නගරයේ පැල්පත්වල ජීවත්වන ජනතාව සඳහා නව නිවාස ලබාදීමේ අවස්‌ථාවකට මම මෑතකදී සහභාගී වුණා. මම එහි සිටි දරුවන් සමඟ කතා කළා. මම ඒ දරුවන් සහ මවුපියන් සමඟ කතාකරද්දි දැන ගත්තේ ඒ දරුවන්ගෙන් කාටවත් කොළඹ නගරයේ ජනප්‍රිය පාසල් හිමිවී නැති බව.”

ජනපතිවරයා කියා සිටියේ කොළඹ ළමයින්ට කොළඹ පාසල් අහිමි වී ඇති බවකි. අධ්‍යාපනයේ සම අවස්ථා වෙනුවෙන් ද ජනපතිවරයා අවධානයෙන් පසුවන බවක් පෙනේ. එය මේ රටේ දුගී ජනතාවගේ දරුවන් වෙනුවෙන් මැදිහත් වීමකි. වසර පනහක දේශපාලන ජීවිතයේ දී, පාසල් තුළ ඇති තරගයයේ යථාර්ථය කොතරම් බරපතළ ද යන්න තේරුම්ගත්තේ මෑතක බවත් ජනපතිවරයා පවසා සිටියේ ය. දරුවන්ගේ අධ්‍යාපනයේ වටිනකාම් හඳුනා ගන්නා විට බොහෝ කාලය ඉක්ම ගොසිනි. එනිසා ඒ පිළිබඳ අධ්‍යාපන බලධරයින් උනන්දුවක් දැක්විය යුතු ය යන්න ජනපතිවරයාගේ අදහස ය.

මෛත්‍රී ජනාධිපතිවරයා සවිඥානිකව දරුවන්ගේ හෙට දවස ගැන විමසන්නේ ය. එනිසා ම විනාශකාරි බලවේගවලට සෘජුව පහර දෙන්නේ ය. දරුවන් ගැන මේ තරම් කම්පාවට පත් වූ නායකයෙක් අපේ රටේ සිටී ද යන්න අප ප්‍රශ්න කළ යුතු ය. දේශපාලන යුග පෙරළි අධ්‍යයනය කළහොත් කිසි කලෙක ළමා අයිතීන් හා ආරක්ෂාව ගැන කැපවීමක් හා වැඩි නැඹුරුවක් තිබූ බවක් නොපෙනේ. දරුවන් ජාතියේ ජීවනාලිය යැයි සිතන්නට ශ්‍රී ලාංකිකයන් ප්‍රමාද නැත. ජාතියේ දරුපරපුර බේරාගැනීමට සාධනීය සැලැස්මක් ඉදිරිපත් කළ ජනපති දැයේ සෑම දරුවකුටම පියෙක් වන්නේ ය. රාජ්‍ය නායකයාගේ ප්‍රතිපත්තිය තවත් වසර සිය දහස් ගණනකට වුව ගැලපෙන්නේය යන්න තහවුරු වන්නේ අවුරුදු 17ට වඩා වයසින් අඩු පිරිස් ගැන රාජ්‍ය නායකයකු මේ සා උනන්දුවක් හා අවධානයක් යොමු කිරීම නිසා ය.

ජනපති වෑයම

සංස්කෘතිය, හැදියාව ගැන පමණක් නොව කාන්තාවන් සහ ළමයින් ගැන ඇති දැක්මත්, පීඩිතයන් පිළිබඳ ඇති දයාවත් අතින් වත්මන් ජනපති සම කළ හැකි නායකයකු වේ ද යන්න සිතන්නට නොහැක. ශ්‍රී ලංකාවේ දේශපාලන චරිත අතර වෙනස් මඟක් ගත් වත්මන් ජනපතිගේ වෑයම ‘දරුවන් සුරකිමු’ ජාතික වැඩසටහන තුළින් පැහැදිලි වනු ඇත. පාසල, සමාජය යනාදී දරුවන් වෙසෙන සෑම තැනකදීම මුහුණ පා ඇති හා මුහුණ දෙමින් සිටින ප්‍රශ්න හා ගැටලු අවබෝධකර ගැනීමෙන් පසු ඒවා වළක්වාගත හැකි සාධනීය යෝජනාද ජනපතිගේ වැඩසටහනට ඇතුළත් ය. එසේම දරුවන් සමඟ නිබඳව සිටින හා ගැටෙන, වැඩිහිටියන්, දරුවන් හා වෙනත් පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කර තිබීම විශේෂත්වයකි.

මෛත්‍රී ජනාධිපතිවරයා දරුවන් සුරැකීමේ ජාතික වැඩසටහන ආරම්භ කරනුයේ උතුරු පළාතෙනි. එහි රජ වී තිබුණු ආයුධ, බෝම්බ, කාලතුවක්කු, මෝටාර්, යුද සංස්කෘතියේ අඳුර බිඳලීමට නම් ජන හදට ආමන්ත්‍රණය කළ යුතු ය. සහජීවනයෙන් ජීවත් වීමට නම් රාජ්‍ය නායකයා ඔවුන්ට ළැදි විය යුතු ය. එය තහවුරු කළ ජනපති මෛත්‍රී උතුරුකරයේ දරුවන්ගේ අනාගතය ගැන කතා කරන්නේ ය. උතුරෙන් ඇරැඹි ‘දරුවන් සුරකිමු’ ජාතික වැඩසටහන දිවයින පුරා ඇදී යන්නේ ය. දැයේ දරුවන් ලක් මවගේ සාඩම්බර උරුමකරුවන් බවට පරිවර්තනය කරවන ජනපතිගේ උඩුගම්බලා පිහිනීම නුදුරේදීම යථාර්ථයක් වනු ඇත.


නව අදහස දක්වන්න