අවස්ථාවාදයට බිලිවන ශ්‍රී ලාංකීය ජාතිය | දිනමිණ

අවස්ථාවාදයට බිලිවන ශ්‍රී ලාංකීය ජාතිය

බ්‍රිතාන්‍ය යටත්විජිතවාදීන් විසින් 1815 දී උඩරට රාජධානිය අල්ලා ගැනීමත් සමඟ මුළු දිවයින ඔවුනගේ අණසකට යටත්විය. 1818 සහ 1848 දී ලාංකිකයන් අරගල මඟින් බ්‍රිතාන්‍ය යටත්විජිතවාදය පරාජය කොට නිදහස උදාකර ගැනීමට ඉදිරියට පැමිණිය ද අසාර්ථක විය. එතැන් පටන් 1948 දක්වා වසර සියයක කාලපරිච්ඡේදයක් දේශපාලන ප්‍රතිසංස්කරණ දිනා ගැනීම මඟින් ස්වාධිපත්‍ය උදාකරගැනීම උදෙසා වූ සංවාදය කැපී පෙනෙන තත්ත්වයක පැවැතිණි. ව්‍යවස්ථාදායක සභාව, රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළ කටයුතු කළ ස්වදේශික නායකයෝ බොහෝ දෙනෙක් ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැගීම මඟින් එක්සත් රටක් ගොඩනැඟීම සඳහා පෙනී සිටියහ.

බ්‍රිතාන්‍ය යටත්විජිතවාදය දකුණු ආසියාවේ කාලීන වශයෙන් දැඩි විපර්යාසයකට පත් වූ කාලවකවානුවක් ලෙස 1940 පසු දශකය මතුවෙමින් පැවැතීම වාසිසහගත තත්ත්වයක් විය.

සෝල්බරි සාමි ප්‍රමුඛ ත්‍රිපුද්ගල කණ්ඩායම විසින් 1944 දී ලංකාව තුළ සියලු ජාතීන් එක්සත්කොට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදීම සඳහා තොරතුරු විමසීමට ලක්කිරීම මෙරට ඉතිහාසයේ එක්තරා සංධිස්ථානයක් ලෙස හඳුනාගත හැකිය. දේශපාලන ස්ථාවරභාවය පවත්වා ගැනීම සඳහා සියලු වාර්ගික පිරිස අතර උදාර මැදිහත්වී‍මක් තිබිය යුතු බව කොමිසමේ සාමාජිකයන් මෙන්ම ජාතික සටනේ පුරෝගාමීව කටයුතු කළ ඩී. එස්. සේනානායක වැනි පිරිස ද පිළිගෙන තිබිණි.

සුළු ජනකොටස්වල අයිතිවාසිකම් හා ව්‍යවස්ථාවේ අන්තර්ගතය පිළිබඳ සංවාදයේදී නායකයින්ට පොදු එකඟතාවකට පැමිණිමට හැකියාව ලැබීම රටේ අනාගතය වෙනුවෙන් ලැබූ ජයග්‍රහණයක් විය. එවක දෙමළ ජනතාවට නායකත්වය ලබාදුන් ජී. ජී. පොන්නම්බලම් මහතා පාර්ලිමේන්තුවේ සංයුතිය සකස්වීම පිළිබඳ ඉදිරිපත් කළ පනහට පනහ වාදය පසෙකලා නිදහස දිනාගැනීමේ සටනට එක්වීම ශ්‍රී ලංකා ජාතිය ගොඩනැගීම මඟින් එක්සත් රටක් නිර්මාණය කරගැනීමේ බලාපොරොත්තු ඇති කරවන්නක් විය.

නිදහස දිනීම

1948 පෙබරවාරි නිදහස දිනාගැනීම සමඟ එම වර්ෂයේ අගෝස්තු මස එජාප ආණ්ඩුවට පොන්නම්බලම් එකතුවීම වාර්ගික එකමුතුව ශක්තිමත් කිරීමට ලබාදුන් කදිම දේශපාලන ප්‍රවේශයක් ලෙස දැක්විය හැකිය.

එක් අතකින් දේශපාලන බලවේගවල සමතුලිතතාව හා ස්ථාවරබව ඇතිකිරීමට හේතුවූ නමුත් 1948 ඉදිරිපත් වූ පුරවැසි පනත හේතුවෙන් වතුකරයේ ඉන්දීය දෙමළ ජනතාවගේ පදිංචිය හා පුරවැසිකම පිළිබඳ ඇති කළ බලපෑම හේතුවෙන් ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැගීමට සකසාගත් විභවය තවත් දිසාවකට තල්ලු වූ බව පෙනේ. මෙහි එක් ප්‍රතිඵලයක් වූයේ 1949 දී එස්. ජේ. වී. චෙල්වනායගම් මහතා ජී. ජී. පොන්නම්බලම් මහතාගේ සමස්ත ලංකා දෙමළ කොන්ග්‍රසයෙන් ඉවත් වී ෆෙඩරල් පක්ෂය ආරම්භ කොට වාර්ගික හැඩතල මතුකිරීමේ දේශපාලන ධාරාවක් සඳහා යොමුවීමය.

භාෂා ගැටුම 1950 දශකය මැදභාගය වනවිට ආගමික ප්‍රචණ්ඩ කැළඹිල්ලක් බවට පත්වී තිබිණි. මෙම දේශපාලන විපර්යාසය හමුවේ 1951 දී එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක එජාපයෙන් ඉවත්වී ශ්‍රී.ල.නි.ප. ආරම්භ කිරීම හරහා ගොඩනැගුණු දේශපාලන මතවාදයද ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැගීම සඳහා වූ ක්‍රියාවලිය අඩපණ කිරීමට හේතුවිය. මෙහි ප්‍රතිඵලය වූයේ 1952 පාර්ලිමේන්තු මහ මැතිවරණ සමයේ උතුර හා දකුණ කේන්ද්‍රකරගත් දෙමළ සිංහල වාර්ගිකත්වය උත්ප්‍රාසයට ලක්කරන ආකාරයේ සමාජ දේශපාලන විභවය රට තුළ මතුවීමය.

සමාජ කැළඹීම

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් ඉක්බිතිව සිංහල, දෙමළ ජාතික භාෂා ද්වය රාජ්‍ය භාෂා ලෙස කටයුතු කිරීම සඳහා වූ ප්‍රතිපත්තිමය රාමුව වෙනුවට සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව ලෙස පිළිගන්නා පනත ඉදිරියට ගැනීම හේතුවෙන් සමාජ කැළඹීමක් ඇතිවිය. අනතුරුව බිඳවැටුණු එක්සත්බව යළි ගොඩනැගීමේ අරමුණ ඇතිව 1957 බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම මඟින් භාෂා ගැටලුව පදනම් කරගත් ගැටුම විසඳාගැනීමට කටයුතු කළ ද වාර්ගික බලපෑම් හමුවේ පනත ඉවත්කරගැනීමට බණ්ඩාරනායක මහතාට සිදුවිය. 1960 දී සිරිමා බණ්ඩාරනායක බලයට පැමිණ දිවංගත බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුමට පදනම් වූ යෝජනා ක්‍රියාත්මක කිරීමට පොරොන්දු වූවද එය සාර්ථක කරගැනීමට ඇයද සමත් වූයේ නැත.

ඩඩ්ලි සේනානායක - චෙල්වනායගම් 1965 දී බලය බෙදාගැනීම මඟින් වාර්ගික ගැටලුව සඳහා පිළියම් ලබාදීමට නැවත වතාවක් උත්සහ කළද වාර්ගික භේදය හමුවේ එය ද ඉවත්කර ගැනීමට සිදුවිය. ඒ නිසා එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩනගා රට ඉදිරියට ගෙනයාමේ වැඩපිළිවෙළ කඩාකප්පල් විය. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වාදීමේදී දිගුකාලයක සිට දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳාගැනීම සඳහා වූ ප්‍රවේශය අහිමි වූ බවට ‍චෝදනා එල්ලවීමද දක්නට ලැබිණි.

චෙල්වනායගම්ගේ නායකත්වය යටතේ 1976 දී වඩුක්කොඩෙයි යෝජනා නමින් සම්මත කරගත් ක්‍රියාවලිය මෙම ප්‍රශ්නය බරපතළ තත්ත්වයකට ගෙන යන ලදී. ‘වඩුක්කොඩෙයි යෝජනාව’ උතුරේ දෙමළ තරුණයන්ගේ නැගිටීම සඳහා දැඩි බලපෑමක් ඇති කළේය. පසුකාලයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් සිදුකළ බිහිසුණු ක්‍රියා අනුව ඒ බව පැහැදිලි වේ.

උද්ගතවූ ගැටලු විසඳා ගැනීම සඳහා 1987 දී ඉන්දු - ලංකා ගිවිසුම හරහා 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කිරීම යම් සහනයක් විය. වාර්ගික අසමගිකම බැහැරකොට භාෂා ප්‍රතිපත්තිය කෙරෙහි අවධානය යොමුකර බලය බෙදාගැනීම මඟින් දෙමළ ජනතාවගේ ගැටලු විසඳාගැනීම සඳහා පියවර කීපයක් ඉදිරියට තැබූ අවස්ථාවක් ලෙස මෙය දැක්විය හැකිය. පළාත් සභා ක්‍රමය හරහා යම් ප්‍රමාණයක බලය සහිත දේශපාලන හා පරිපාලන ව්‍යුහයක් ගොඩනැගීමට ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව ක්‍රියාකිරීම සාධනීයය. උතුර සහ නැගෙනහිර පළාත් සභා සඳහා සුළු ජන කොටස්වල ක්‍රියාකාරී දායකත්වය අනුව එමගින් යම් ආකාරයක විසඳුම් ලබාදී ඇති බව පෙනේ.‍

පළාත් සභා ක්‍රමය මඟින් රට කෑලිවලට බෙදෙන බවට ජනමතයක් ගොඩනැගීමට එකල ඇතැම් දේශපාලන පක්ෂ ක්‍රියා කළහ. නිසි අධ්‍යයනයකින් තොරව වාර්ගික අසමගිය ඇතිවෙන අයුරින් එදා කටයුතු කළ එම දේශපාලන පක්ෂ පළාත් සභා වර්ජනය කළහ. වර්තමානයේ දී පළාත් සභා ක්‍රමය පිළිගෙන සිටින එම දේශපාලන පක්ෂ ප්‍රධාන කොටගත් නායකයන් එදා සිදුකළේ ව්‍යාජයක් බව ඒ අනුව තහවුරු වී ඇත. කෙසේ වුව සමගාමී ලැයිස්තුවට ඇතුළත් කර ඇති විවිධ විෂයන් හරහා ඇති බලය කෙසේ විය යුතු ද යන්න පැහැදිලිකොට එය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව මේ වනවිටත් පවතී.

ඉන්දු - ලංකා ගිවිසුමට එල්.ටී.ටී.ඊ. සංවිධානය විරුද්ධවී පළාත් සභා ක්‍රමය ප්‍රතික්ෂේපකොට යුදමය කටයුතුවල තවදුරටත් නියැළීම නිසා පළාත් සභා හරහා ජාතිය එක්සත් කිරීමේ ක්‍රියාවලිය දරුණු කඩාවැටීමකට ලක්විය. 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ඉදිරිපත් කළ ‘පැකේජය’ යෝජනාවලිය මගින්ද සාධනීය විසඳුම් යෝජනා කර තිබුණද විරුද්ධ පක්ෂය ඊට සහාය ලබානොදුන්හ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ 2001 වර්ෂයේ දී සටන් විරාමය හරහා එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ සාකච්ඡා මගින් ගැටලුව විසඳා ගැනීමට අවකාශය ගොඩනගන ලදී. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව හදිසියේ විසුරුවා හැරීම නිසා එහි සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට නොහැකි විය.

ජාතික ගැටලුව

ශ්‍රී ලංකාව නිදහස දිනාගත් කාලයේ සිට විවිධ ගිවිසුම්, සාකච්ඡා ආදිය ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් වීම හා ඒවා වර්ගවාදී දෘෂ්ටියෙන් ප්‍රතික්ෂේප කිරීමට ප්‍රධාන විපක්ෂය සිදුකර තිබීම සුවිශේෂී කරුණක් ලෙස දැක්විය හැකිය. එබැවින් ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැගීම එක් පාර්ශ්වයක වගකීමක් සහ අනෙක් පාර්ශ්වය එය බලය නැවත ලබාගැනීමේ දේශපාලන ක්‍රීඩාවක් බවට පත්කර ගැනීම රටේ අවාසනාව වී තිබේ.

නිදහස ලැබූදා සිට විවිධ දේශපාලන නායකයන් ජාතික ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාගැනීම සඳහා වාර්ගික එකඟතාව හා දේශපාලන සමතුලිතතාව ඔස්සේ ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කළ ද ඒ සෑම අවස්ථාවකම ෆෙඩරල් යන වචනය දකුණේ ජනතාව අතරද ඒකීය යන වචනය උතුරේ ජනතාව අතර භීතිය ඇතිකිරීමේ පටු දේශපාලන අරමුණින් භාවිත කර ඇති බව පෙනේ.

එල්.ටී.ටී.ඊ. සංවිධානය 2009 දී යුදමය වශයෙන් පරාජය කරනු ලැබූවද සැලකිය යුතු කාලයක් ඉක්මගිය නමුදු දේශපාලන විසඳුමක් ලබාදීමට තවමත් සමත් වී නැත. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මඟින් වාර්ගික ගැටලුව විසඳාගැනීම සඳහා වූ මහජනතාව විසින් 2015 ජනාධිපති හා පාර්ලිමේන්තු මහ මැතිවරණවලදී බලය ලබාදී ඇත. එම ජනාධිපති මැතිවරණයේ දී දෙමළ ජාතික සන්ධානය සහාය දැක්වූයේ මෛත්‍රීපාල සිරිසේන මහතාටය.

මෛත්‍රී - රනිල් ආණ්ඩුවෙන් ජනතාව බලාපොරොත්තු වූයේ වසර දෙක තුනක සිට නැවත හිස ඔසවා තිබූ වාර්ගික ආගමික ගැටුම් හා වෛරී භාෂා භාවිතය අවසන්කොට සියලු වාර්ගික කණ්ඩායම්වලට සාමයෙන් ජීවත්වීමට හැකි පරිසරයක් නිර්මාණය කර ගැනීමය. ඒ බලාපොරොත්තුව තහවුරු කරමින් 2016 වර්ෂයේ දී සියලු පාර්ලිමේන්තු නියෝජිතයින්ගෙන් සමන්විත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පිහිටුවා ගැනීමට සමත්විය.

පක්ෂ නියෝජනය

එය තවදුරටත් ඉදිරියට ගෙන යමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලින් සමන්විත පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව ඇතුළු මූලික අයිතිවාසිකම්, අධිකරණය, මුදල්, නීතිය හා සාමය, රාජ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණ සහ මාධ්‍ය පර්යන්ත සබඳතා පිළිබඳ විෂය අනුකමිටු හයක් පත්කර ගන්නා ලදී.

මෙම වාර්තාවල අන්තර්ගත කරුණු පදනම් කරගෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කොට ජාතික සමගිය ගොඩනැගීම සියලු දේශපාලනඥයින්ගේ වගකීමය. ඒ වෙනුවට නැවත වතාවක් පෙර පරිදි වාර්ගික අසමගිය ඇතිකරන අදහස් ඉදිරිපත්කොට එය කඩාකප්පල් කිරීමට ඇතැම් අන්තවාදී කණ්ඩායම් කටයුතු කිරීම එක්සත් ජාතියක් ගොඩනැගීමට බාධාවකි.

සියලු ජාතීන් අමතා එදා ඩී. එස්. සේනානායක ප්‍රකාශ කළේ “ජාති හා ආගම් භේද අනවශ්‍ය ය. සිංහල හෝ ද්‍රවිඩ වුවද යෝනක ජාතික හෝ මැලේ ජාතික වුවද බර්ගර් නැතහොත් යුරේෂියන් වර්ගයට අයත් වුවද අප කියන්නේ මෙය අප ජනිත වූ අපගේම භූමිය කියාය. බෞද්ධ හෝ හින්දු වුවද මුස්ලිම් හෝ ක්‍රිස්තු භක්තික වුවද අප කියනුයේ අපේ භූමියට ආශිර්වාද වේවා යන වචනයයි” මෙය අපේ රටට උචිත දෘෂ්ටිවාදයයි. ඒ අනුව ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැගීම සඳහා අප සියලුදෙනාම ක්‍රියා කළ යුතු කාලය එළඹ ඇත.


නව අදහස දක්වන්න