මට සම්මාන අදාළ නෑ | දිනමිණ

මට සම්මාන අදාළ නෑ

කල්පනා ඇම්බ්‍රෝස්

කවිය තම මාධ්‍ය කරගත් කල්පනා ඇම්බ්‍රෝස් කිවිඳියගේ නවතම කාව්‍ය කෘති ද්විත්වය "නොපවතිනු වස් ප්‍රේමයව පවතිමි" හා "පියා නොහැඹූ පියාපත්" නමින් පසුගියදා සංහිඳ ප්‍රකාශන ලෙස නිකුත් විය. මේ ඇය හා කළ සාකච්ඡාවකි.

ඇතැම් කවියෙක් ජනතාවාදිව තම කවිය හසුරුවන අතර, ඇතැම් කවියෙක් කලාව නිසා තම කවිය හසුරුවනවා. ඔබ කවිය භාවිතාවක් කර ගන්නේ?

යම්කිසි ලිවීමක් ලියන්න ගනිද්දී, ජනතාව වෙනුවෙන් ලියනවද? එහෙමත් නැත්නම් කලාවට සේවයක් කරන්න ලියනවද? කියනවා වගේ එකක් මම කියන්නේ නෑ. යම්කිසි සිද්ධියක් නිසා අපට, ප්‍රබල හැඟීමක්, යම් කිසි ආකාරයක සෙලවීමක්, කම්පනයක් කරලා, ඒක ඇතුළේ තියාගන්න බැරිව පිට කළ යුතු අවස්ථා එනවා. ඒක පෞද්ගලික වෙන්න පුළුවන්. පොදු සමාජයේ දෙයක් වෙන්න පුළුවන්. මම නම් ලියන්නේ, ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි. මට ඒක පිටකර ගන්න ඕනේ. ඒක මූලික වශයෙන් එන්නේ පෞද්ගලික තැනකින්. ඊට පස්සේ තමයි මම අර මුලින් කිව්වා වගේ, ද්විතීකව තමයි සමාජයේ කතාබහට ලක්වීම හෝ නොවීම සිද්ධ වෙන්නේ. සමහර විට වෙනවා. සමහර විට නොවෙනවා.

හැබැයි අපි තව ටිකක් අර පෞද්ගලික වෙන හැඟීම කියන එකෙන් ආපස්සට ගියොත් එහෙම, කම්පනය වීම කියන එක ගත්තොත්, හැමෝම කම්පනය වෙන්නේ නෑනේ. ඒ කියන්නේ පෞද්ගලික ජීවිතය වේවා, පොදු සිද්ධියක්, සමාජ සිද්ධියක් නිසා හෝ දේශපාලන සිද්ධියක් නිසා හෝ වේවා, ඒ හැඟීම දැනෙන එක මේ කාලේ වෙන‍කොට ඉතා ම සීමිත පිරිසකට පෞද්ගලිකවත්, පොදුවේත් සිද්ධවෙන දෙයක් බවට පත් වෙලා.

එහෙම වුණහම, ඒ විදිහට දැනෙන පිරිස අඩු වෙමින් පවතිනවා. ඒකෙනුත් සීමිත පිරිසක් ඒක නිර්මාණ හැටියට පිට කරනවා. එතැනින් එහාට තමයි ලිවීම කියන එක එන්නේ.

කවිය ගැන මේ මොහොතේ පවා සමාජය තුළ ඇත්තේ ප්‍රබෝධවත් බවක්. මේ ප්‍රබෝධය සම්බන්ධයෙන් ඔබගේ අදහස තෘප්තිමත් එකක්ද?

මම ඒක වෙන වෙලාවලත් කියලා තියනවා. ඒ කියන්නේ විචාරකයෝ, එහෙම නැත්නම් අපි හැමෝම, මෙය ප්‍රවාහයක් කියලා එක විදිහකට හිතනවා. කවි ලියන අය කවිය ගැන එක විදිහකට හිතනවා. දීර්ඝ කාලයක් තිස්සේ කවි ලිව්ව අය, කවිය ගැන තවත් විදිහකට හිතනවා. අපි මේවා දිහා බල්නේ, අපට උගන්වන ලද සහ අපි විශ්වාස කරන නිර්ණායකවල ඉඳලයි. ගීතය හෝ කවිය හෝ වෙන්න පුළුවන්. මේ හැම එකක්ම දැන් ඉස්සර තිබුණා වගේ නෙමෙයි කියලා කෙනකුට හිතෙන්න පුළුවන්. එහෙම නැත්නම්, කවියේ ගුණාත්මක භාවය ඔහොම නෙමෙයි, මෙහෙම වෙන්න ඕනේ කියලා හිතෙන්න පුළුවන්. ඒ කියන්නේ, දෙන ලද නිර්ණායක ටිකකට අනුව තමයි අපි මේ හැම එකක් දිහාම බලන්නේ. ඒත්, මම හිතන දේ තමයි, සීගිරි ගලේ කවි ලියපු කාලේ මුල්ම කවිය හැටියට අපි අඳුරගත්ත තැන ඉඳන්, මේ දක්වා කවිය වෙනස් වෙවි ඇවිත් තියෙනවා.

අපි සොබාදහම ගැන විතරක් කවි ලිව්වා. කාන්තාවන්ගේ රූපශ්‍රීය ගැන කවි ලිව්වා. ඊට පස්සේ, යම් කාලෙකදී හොඳ - නරක, යහපත - අයහපත ගැන කවි ලිව්වා. ඊට පස්සේ කිසියම් දාර්ශනික මතයන්ට එළැඹෙනවා.

කොළඹ යුගයෙන් පස්සේ කාලයේදී අපි ඉතාම වෙනස් තැන්වලට ආවා. ඊළඟට ආකෘතිය අතින් වෙනස් වුණා. ඒ දේ වෙනස් වෙමින් ඇවිල්ලා, අද වෙනකොට ව්‍යාකරණමය වෙනස්කම්, ඊළඟට න ණ ල ළ භේදය නොසලකා හැරීම්, අකුරු පවා වෙනස් වෙලා. සමාජීය, දාර්ශනික සහ සෞන්දර්ය කියන මේ විවිධ කලාප කෙරෙහි අවධානය යොමු කරමින් ලියන, ඉතා ම පොහොසත් ලිවීමේ කලාවක් අපට තිබෙනවා. එතකොට දැන් කවි, ඉස්සර කවි කොහොමද කියන එක බලද්දී , ලොකු විභවතාවක්, ඒ කියන්නේ අපට ලොකු සරු පසක් සැකසිලා තිබෙනවා කියලා මම හිතනවා. ඒ මත, තමන්ගේ හැකියා වපුරමින් ඉන්නවා. ඒ වගේ ම ඒකෙන් අස්වැන්නත් ලැබෙමින් තිබෙනවා.

"නොපවතිනු වස් ප්‍රේමයව පවතිමි" තුළ ප්‍රේමයම ගැන කියැවෙන කවි පමණක් කවි ප්‍රස්තුත කර ගන්නේ හිතාමතාමද?

මේ පොතේ තියෙන්නේ, මං පහුගිය අවුරුදු දෙකක් තිස්සේ ලියපුවා. ප්‍රේමය ගැන කවි තියෙන්නේ. මේ තෝරා ගැනීම, මම පොතට කවි තෝරද්දී කරපු දෙයක්. ප්‍රේමය කියන තේමාව තමයි මම ගත්තේ. ඒකේ තේරුම, ඒ කාලය ඇතුළත මම වෙන කවි ලිව්වේ නෑ කියන එක නෙමෙයි. මම මේ තුළට ඒ කවි අඩංගු කරන්න ගියේ නෑ. ඒක නිසා තමයි, මේ කෘතියේ බොහෝ වෙලාවට සම්පූර්ණයෙන් ම ප්‍රේමය සම්බන්ධව කවි විතරක් කැටි වෙන්නේ. බොහොමයක් කවි, ඒ කියන්නේ සියයට අනූවක් විතර කවි ඒ වගේ වෙද්දී, ආයේ මේවා කලවම් කරන්න ඕනේ නෑ කියලා මම හිතුවා. මම එහෙම තැනකින් ඒක තිබ්බා. ඒ වගේම, පහුගිය කාලේ මට ඒක දැනිච්චි විදිහත් වෙන්න ඇති. මට ලියැවෙන විදිහ ඒක. පසුගිය කාලයේදී මට වඩාත් සංවේදී වෙච්ච කලාපයක් වෙන්න ඇති ඒක.

"පියා නොහැඹූ පියාපත්" තුළ ඇත්තේ ජපන් හයිකු කවියේ හැඩයක්ද?

නෑ. මේවා කෙටි කවි. අපට හයිකු ලියන්න අමාරුයි. ඒ කියන්නේ, න්‍යායාත්මකව ගත්තොත් එහෙම, ශ්‍රී ලංකාව වගේ රටක සිංහල වගේ භාෂාවකින් හයිකු කියන ඒ "ටෙක්නිකල්" එකෙන්, අපි මේ හයිකු ලියන්නේ කියලා කියන්න බෑ. ඒකට හේතුව,හයිකුව කියන්නේ, පේළි තුනකින්, මාත්‍රා දාහතකින්, බොහෝවිට සෘති සූචක පදයක් ද සහිතව ලියවිය යුතු කවි විශේෂයක්. ඒ වගේ රීති ටිකක් තිබෙනවා. අපේ සංක්ෂිප්ත කවිය එන්නේ, ඒ හයිකු කවියේ සියලු රීති රැකලා නෙමෙයි. බොහෝ වෙලාවට ලියන කවි, හයිකු කවි කියලා හඳුන්වන්න අමාරුයි. ඒක මේ කෙටි කවිය, එහෙම නැත්නම් සංක්ෂිප්ත කවිය කියලා තමයි කියන්න ඕනේ. මගේ "පියා නොහැඹූ පියාපත්" කොහො‍මටවත් හයිකු කවි ප්‍රකාශනයක් නෙමෙයි. සුනන්ද කරුණාරත්න කවියගේ ලියැවිල්ලක් මේ පොතට ඇතුළත් කරලා තිබෙනවා. ලංකාවේ කෙටි කවිය පිළිබඳ ඒ ලියැවිල්ලේ පැහැදිලි කරලා තිබෙනවා.

මේ සංක්ෂිප්ත කවි තුළට ඔබ දාර්ශනික බවක් මුසු කරන්න උත්සාහ කර තිබෙනවා?

අපි යම්කිසි මැදි වයසකට එළැඹෙමින් ඉන්නවා. ජීවිතය දිහා වඩා පරිණතව බලන එකක් තිබෙනවා. එතකොට ප්‍රේමය, විවාහය, ජීවිතය එහෙම නැතිනම් මේ වගේ සංකල්ප දිහා, එහෙමත් නැත්නම් සමාජයේ සිද්ධ වෙන සිද්ධි දිහා වුණත් අපි බලන්නේ ගැඹුරු විදිහකින්. ඒ නිසා තමයි මම "පියා නොහැඹූ පියාපත්" පොත කොටස් තුනකට බෙදන්නේ. ඒ , බැඳීම්, රිදීම් සහ මිදීම් කියලයි. එතකොට ඒ අර බන්ධනයේ තියෙන ස්වභාවයත්, ඊළඟට ඒවා නිසා රිදෙන විදිහ, ඒ කියන්නේ විප්‍රයෝගය, එහෙමත් නැත්නම් වෙන්වීම තුළ හෝ එකට හිඳීම තුළ ඇතිවෙන වේදනා, ඊළඟට මේ සියල්ලෙන් කොහොමද අපි මිදෙන්න උත්සාහ කරන්නේ සහ මිදුනාම කොහොමද? යම්කිසි මිදීමක් ලැබුණාම කොහොමද? දැනෙන්නේ කියන එක මින් ඉදිරිපත් වෙනවා. ඒක ඇතුළේ 'මරණය' ගැන කතා වෙනවා. බන්ධනවලින් මිදුනාම ඇතිවෙන හැඟීම් ගැන කතා වෙනවා. එක්තරා විදිහකට මම ටිකක් දර්ශනය ගැන කියවනවා. විවිධ දර්ශනවාද කියවනවා. ඒවත් මගේ කවියට බලපානවා. බෞද්ධ දර්ශනයත්, කතෝලික දර්ශනයේ සමහර දේ මම කියවනවා.

සමහර ඒවා විධිමත්ව හදාරලා තිබෙනවා. සමහර ඒවා කියවලා තියෙනවා. කතෝලික, බෞද්ධ දර්ශනවල සමහර කොටස් විධිමත්ව හදාරලා තියනවා. විශ්වවිද්‍යාලයේදී අනෙකුත් දර්ශනත් යම් යම් කොටස්වලදී හදාරා ති‍යෙනවා. තාමත් කියවමින් ඉන්නවා. ජීවිතයේ ගැටගහගත්ත දේ ඉස්සරහට යද්දී, ලිහාගන්න අවශ්‍ය දේ සඳහා ඒවා උදවු කර ගන්න උත්සාහ කරනවා.

එක්තරා කවි සම්මාන උළෙලකදී නිර්දේශ වන ඔබේ කවි පොතක්, ඔබ එම උළෙලින් ඉවත් කර ගන්නවා. එසේ කිරීම තුළ ඇත්තේ හුදු ජනප්‍රිය වීමේ කැමැත්තද?

ඒ පොත ප්‍රකාශකයා දැම්මේ. මම දැම්මේ නෑ. මම කොහොමටවත් 1999,2000 වගේ වසරවලින් පස්සේ, විශ්විද්‍යාල කාලයෙන් පස්සේ සම්මාන උළෙලවලට නිර්මාණ ඉදිරිපත් කරලා නෑ. ඒක ප්‍රතිපත්තියක් හැටියට මම හිටපු තැන. ඒකට හේතුව, අපි ක්‍රම විරෝධීව ලියන අය සහ වඩා හොඳ සමාජ, ආර්ථික, දේශපාලන ක්‍රමයක් ප්‍රාර්ථනා කරමින්, ඒ වෙනුවෙන් වෙහෙසෙන අය. එතකොට ඒ ක්‍රමය විවේචනය කරන ගමන්ම, ඒ ක්‍රමයෙන් සම්මාන ගැනීම හෝ ඇගැයුම් ලබා ගැනීම කළ යුත්තක් නෙමෙයි කියලා තමයි මා විශ්වාස කරන්නේ. ඒක, ඒ සම්බන්ධයෙන් මා දරන අදහස.

අනෙක් ද්විතීක කාරණය තමයි, අත්හැරීම පිළිබඳ කාරණය. මේ සම්මාන සම්බන්ධයෙන් තියෙන්නේ හරි ම තරගකාරීත්වයක්. ඒ නිසා, ඒකට පටලැවෙන්නත් මගේ අකමැත්තක් තියනවා. එතැනදී මගේ ප්‍රකාශකයා සම්මාන උළෙලට පොත දැම්මහම, ඒක අවසාන වටයට නිර්දේශ වුණහම, කවර හෝ දෙයක් නිසා අපේ පැත්තෙන් වෙච්ච අඩුපාඩුවක් හදා ගන්න මට සිද්ධ වුණා. ඒ නිසා මම පෞද්ගලිකව, වාචිකවත්, ලිඛිතවත් උළෙලට දැනුම් දීලා, එම පොත අයින් කර ගත්තා. පොත එසේ ඉදිරිපත් කිරීම, මට සම්බන්ධ දෙයක් නෙමෙයි කියලා, මම ඒ ප්‍රකාශය ලිඛිතව දුන්නා. ඒකට හේතුව, ඒ අයට ඒක අවශ්‍ය වීමයි. මට ඕන වුණේ, මම අයින් වෙද්දී තව කෙනකුට අවස්ථාව දීමටයි. ඒක අපි අතර ඉතා ම සුහදව කතාබහ කරගෙන කෙරුණු දෙයක්. ඒ විනිශ්චය මණ්ඩලය ඉතා ම ගරු කටයුතු විනිශ්චය මණ්ඩලයක්. ඒ අය, පෞද්ගලික මතයක් දරන්න තිබෙන මගේ අදහස පිළිගත්තා.

ඒ විනිශ්චය මණ්ඩලය ප්‍රසිද්ධියේ අපහසුතාවට ලක් වීම වළක්වන්න තමයි, මා යැවූ ලිපියේ සංක්ෂිප්තයේ සටහනක් මුහුණුපොතේ තබන්නේ. ඒ මුළු කතාවම දන්නේ නැති අය, විවිධාකාරයෙන් ඒක වර නගා ගන්නවා. මම ඒක තනියෙන් අයින් කරගෙන සද්ද නැතිව ඉඳලා, විනිශ්චය මණ්ඩලයට වෙන පොතක් නිර්දේශ කළා නම්, ඒ පිරිස අනෙක් අතට අහනවා "මාව අයින් කළේ ඇයි කියලා?" ඒක වළක්වන්න තමයි මම එහෙම කළේ. මට ජනප්‍රිය වෙන්න ඕනෑ නම්, මට තිබුණේ, ඔවුන්ගේ විනිශ්චය බාර ගන්නනේ.

කවි ප්‍රබෝධය තරමටම කවි සම්මාන උළෙල සම්බන්ධයෙන් සමාජය තුළ ඇත්තේ ප්‍රබෝධවත් බවක්. කවි සම්මාන උළෙල ගැන ඔබගේ උනන්දුව කවරාකාරද?

මම අර කලින් කියපු එක තමයි කියන්න තියෙන්නේ. සම්මාන සම්බන්ධ කතිකාව කියන්නේම මට අදාළ දෙයක් නෙමෙයි. මම ඒ ගැන කරදර වෙන්නේම නෑ. ඒ කියන්නේ සම්මාන දීම සුදුසු ද? නැද්ද? ඇයි දුන්නේ? කවුද දුන්නේ? කාටද දුන්නේ? ඒ කිසි ම දෙයක් ගැන මම සැලකිලිමත් වෙන්නේ නෑ. මම ඒක ගැන අදහස් දක්වන්නේ හෝ ඒක ගැන කරදර වෙන්නේ නෑ.

සමහර වෙලාවට මට පෞද්ගලිකව දැනුණොත්, මේ සම්මාන ලැබීම සුදුසුයි. එහෙම නැත්නම්, මගේ මිත්‍රයකුට සම්මාන හිමි වෙන්න පුළුවන් කියලා, ඔහු හෝ ඇය හොඳට ලියනවා වෙන්න පුළුවන්. එහෙම වුණොත්, පෞද්ගලිකව මම, ඔහුට හෝ ඇයට සුබ පතන වේලාවල් තිබෙනවා. ඒ අය ලියන්නේ සම්මාන වෙනුවෙන් නෙමෙයි කියලා මම දන්නවා. ඒ හැරෙන්න මම ඒ කතිකාවෙන් අයින් වෙනවා.

අනුසාර මාහිංගොඩ


නව අදහස දක්වන්න