සෙදෝනා සාහිත්‍යමය අතින් විශිෂ්ටයි | දිනමිණ

සෙදෝනා සාහිත්‍යමය අතින් විශිෂ්ටයි

කන්දක් සේමා, අත අත නෑර, අග පිපි මල්, ඉටිපහන්, නුඹ මගේ පෙම්වතා වැනි කෘති රචනා කළ ප්‍රවීණ ලේඛිකාවක වන සුමිත්‍රා රාහුබද්ධ, මෑතකදී කියවූ වඩාත් සිත්ගත් කෘතිය පිළිබඳ අදහස් දැක්වූයේ මෙසේ ය.

 ඔබ මෑතකදී කියවූ වඩාත් සිත්ගත් කෘතිය කුමක්ද?

ප්‍රවීණ ලේඛිකාවක් වන ඊවා රණවීරයන්ගේ ‘සෙදෝනා’ කෘතිය.

කෘතියෙහි ඔබ දකින විශේෂත්වය?

‘සෙදෝනා’ කෘතිය තමයි ශ්‍රී ලංකාවේ ලේඛිකාවක් විසින් පළමුවෙන්ම ස්ත්‍රීත්වය පිළිබඳ ලියූ, ඉතා ම ගැඹුරු සහ සංවේදනීය වූ කෘතිය. ඒවගේම මේ කෘතිය කාලයක් නියමයක් නොමැතිව, සර්වකාලීන වැදගත්කමකින් යුත් කෘතියක්. මං මේ කෘතියට වඩාත් කැමැති හේතුවත් එයයි. ස්ත්‍රිය පිළිබඳ ස්ත්‍රියකගේ ආදරය, ස්ත්‍රියකගේ ලෙහිය, ස්ත්‍රිය ජීවත් වන සමාජ තලය තුළ ඇයට ගැරහුම් කරන ආකාරය සහ ඒ ගැරහුම් විඳ දරා ගනිමින්, තමන්ගේ ජීවිතය අවසාන ඉලක්කයක් කරා යොමු කිරීමට නූගත් ගැහැනියක් වූ සෙදෝනා දැක්වූ සංයමය, මේ කෘතියෙන් මනාව පැහැදිලි කෙරෙනවා. මා මේ කෘතියට වඩාත් කැමැති, මේ හේතු නිසයි. මේ පොත, යුගයක් සනිටුහන් කළ කෘතියක්.

මේ කෘතියෙහි ඔබ වඩාත් සිත්ගත් අවස්ථාව මොකක්ද?

මේ මුළු පොතම මට නම් සිත් ගත් එකක්. ඒත්, මේ කාන්තාව ආදරය කරන පුද්ගලයා සමඟ ගල් තලාවක් උඩ අවසාන හෝරා කිහිපය ගත කළ ආකාරය දැක්වෙන සිද්ධිය, මා සිත්ගත් ම අවස්ථාව තමයි. මෙය අසම්මත ආදරයක්. මේ පුද්ගලයා විවාහකයෙක්. ඒත්, මේ ආදරය අද අපි දකින වගේ ආදරයක් නෙමෙයි. ඉතා ම සුන්දර වූ සහ පවිත්‍ර වූ ආදරයක්. ඒ වගේ ම, මේ පුරුෂයා කෙරෙහි ඇය තුළ හට ගැනුණු ආදරයේ අවසාන හෝරා කිහිපයක්.ඒ අවස්ථාවෙන් නිරූපණය වෙනවා

“අර හඳ අපිටද කතා කරන්නෙ බියෝනිස් අයියේ, අද ඉතින් මේ අන්තිම දවසද...”

මේ මොහොත වන විට ගම්මු වට කරලා මේ දෙන්නව. " ඒ කියන්නෙ ගමේ මිනිස්සු අසම්මත ආදරයක් පිළිගන්න ආකාරය. මේ එක් දහස් නමසිය තිහේ හතළිහේ ගණන්වල තිබූ ආදරයක් ගැන කියන්නෙ. එකල ගම්මුන්ට මේක මහ විශාල වරදක්. මුළු ගමම මේ දෙන්නා වට කරලා සිටින අවසාන මොහොතේ කාන්තාව හැසිරෙන ආකාරය, බියෝනිස් හැසිරෙන ආකාරය, ආදරණීයව කතා බස් කරන ආකාරය, මේ අවස්ථාවට තමයි මං කැමැති.

සෙදෝනා තමන්ගෙ මල්ලිට අම්මා කෙනෙක් වෙනවා. ඒත්, මේ අවසාන මොහොතෙ මල්ලිත් ඇයට එරෙහි වෙනවා. මල්ලිත් ගම්මු සමඟ එකතු වෙනවා.

කෙසේ නමුත් අවසානයට බියෝනිස් මේ දේ විඳ දරා ගත නොහැකිව, එල්ලිලා මැරෙනවා. ඒත්, සෙදෝනා ජීවිතයට මුහුණ දෙනවා.

මෙහි භාෂා විලාශය ගැන කතා කළොත්?

භාෂාව කථන භාෂාවක්. ඒක මේ ලේඛිකාවගේ සිතුවිලිත් සමඟ ගමන් කරන, නැතිනම් ලියැවුණු කෘතියක්. ඊවා රණවීර කියන්නේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලබපු, මුළු ජීවිතයම බටහිර පන්නයට ගත කරපු කෙනෙක්. ඇය මෙවැනි විශිෂ්ට කෘතියක් ලිව්වාද කියලා අපට හිතාගන්න බෑ. මේ කෘතියෙහි භාෂා විලාශය හරි ම අලංකාරයි. ඉතා ම සරල, කථන භාෂාවකින් ලියූ කුඩා පොතක්. ග්‍රාමීය කථන බසක්. ඉතා ම කෙටි වාක්‍ය. ඒත්, මේ කෙටි වාක්‍යවලින් ඉතා ම ගැඹුරු අරුත් දනවන ආකාරයට ලියලා තිබෙනවා. ඒ භාෂාව තමයි මේ පොතේ තිබෙන ප්‍රධානම ආභරණය. ඕනෑම අයකුට කියවන්න පුළුවන්. ඒ වගේම මෙහි චරිත ගත්විට, බියෝනිස්, වෙලේගෙදර අක්කා, සෙදෝනා වගේ සෑම චරිතයක්ම ගැමි චරිත. ඔවුන් හැසිරෙන ආකාරය බොහොම අපූරුවට නිර්මාණය කරන්න, ඇයගේ සරල ගැමි භාෂාව උපකාර කරගෙන තියෙනවා. මම මෙතෙක් ඒ වගේ සරල, ගැමි බසකින් ලියන ලද, ඉතා ගැඹුරු පොතක් දැකලා නෑ.

මෙවැනි සර්වකාලීන වැදගත්කමකින් යුත් කෘතියක් කියැවීම, පාඨකයන්ට වැදගත් වෙන්නේ කොහොමද?

එබඳු සමාජ තලයක ගැහැනු, පිරිමි හැසිරෙන ආකාරය, තමුන්ගෙ වැරැදි දාහක් තියාගෙන අනුන්ගෙ වැරැදි හොය හොයා දඬුවම් කරන ආකාරය, සමාජයේ වැරැදි වැඩ කරන මිනිස්සු ඔක්කොම එකතුව, එක් අහිංසක ගැහැනියක්ම දඬුකඳේ ගහන්න හදන හැටි, මෙහි හරි අපූරුවට තිබෙනවා. අර වැරැදි මිනිස්සු ඔක්කොම ඒ වෙලාවට සුදනො වෙලා. වර්තමානයේ තත්ත්වයත් මෙයමයි.

මෙහි සෙදෝනා සාම්ප්‍රදායික ගැහැනියක් නෙමෙයි. ගැහැනිය මේ වගේ පසුබිමක ක්‍රියා කරන ආකාරය සහ සමාජය ක්‍රියා කරන ආකාරය මෙහි අන්තර්ගත වෙනවා. මෙවැනි වටිනාකමකින් යුත් කෘතියක් කියැවීම, අපි හැමදෙනාටම එක ලෙස වැදගත්. පාඨකයන් කියන්නෙ වෙනස් වෙනස් ආකාරයේ අයනෙ. එනිසා ඔවුන්ට කොහොම වැදගත් වෙනවාද කියන එක කියන්න මට අමාරුයි. ඒත්, පාඨකයො අනිවාර්යයෙන් ම කියවිය යුතු පොතක් විදිහට මෙය නිර්දේශ කරන්න පුළුවන්. පාඨකයාට තිබෙන ප්‍රයෝජනය, එක් එක්කෙනාට වෙනස්. එක් එක්කෙනාට නැගෙන හා හැඟෙන අදහස් වෙනස්. මට මේ පොත කියව්වාට හැඟෙන අදහසට හාත්පසින් වෙනස් අදහසක්, වෙනත් දහසකුත් පාඨකයනට හැඟෙන්න පුළුවන්. කොහොම වුණත්, ලොකු, කුඩා, බාල, මහලු හැම දෙනාටම මෙවැනි කෘතියක් කියැවීම, එකලෙස වැදගත්.

සාහිත්‍යමය වශයෙන් වැදගත්කම?

‘සෙ‍ඳෝනා’ කියන්නෙ, සාහිත්‍යමය වශයෙන් ඉතා ම වැදගත් පොතක්. ශ්‍රී ලංකාවේ බිහි වුණු හොඳම පොත් අතර තිබෙන එකක්.

මෙහි විෂය කතාකර තිබෙන ආකාරය, ස්ත්‍රීත්වය කතා කර තිබෙන ආකාරය, පිරිමින්ගෙ හැසිරීම් , පිරිමි මූලික සමාජයක ගැහැනියකගේ තත්ත්වය, ගැහැනියට ඒකෙන් ඉක්මවා යාමට ඇති නොහැකියාව මෙහි ගැඹුරින් එහෙත් සරලව නිරූපණය කර තිබෙනවා.

ඒ වගේම, මෙහි එන වෙලේගෙදර අක්කා, චරිතයත් ඉතා ම හොඳ චරිතයක්. මම මෙමගින් ටෙලි නාට්‍යයකුත් කළා. මමයි තිර පිටපත ලිව්වෙත්. ඒ ටෙලි නාට්‍යයේත් කැපී පෙනුණ චරිත දෙක තමයි සෙ‍ඳෝනා සහ වෙලේගෙදර අක්කා. වෙලේගෙදර අක්කගෙ තනි නොතනියට තමයි සෙදෝනා ඒ ගෙදරට යන්නෙ. එතැනදී තමයි කිසිදු හැලහොල්මනක් නැති බියෝනිස් කියන වෙලේ ගෙදර අක්කගෙ ස්වාමිපුරුෂයා මුණගැසෙන්නෙ. ඒත්, මොහු ඇතුළෙ ආදරයක් තිබිලා තියෙනවා. නිහඬ චරිතයක් වුණාට, වෙලේ ගෙදර අක්කට ඒක පූද්දගන්න , නැතිනම් ඉස්මතු කර ගන්න හැකි වුණේ නෑ. ඒත් සෙ‍දෝනාගෙන් ඒ ආදරය පීදුනා කියලා මං හිතන්නෙ.

යශෝදා ඉන්දීවරී

 

නව අදහස දක්වන්න