කවිකම එන්නේ ආභාෂයෙන් වගේම ජානවලින් | දිනමිණ

කවිකම එන්නේ ආභාෂයෙන් වගේම ජානවලින්

ධම්මික සෙනෙවිරත්න
අමාලී ඇහැළියගොඩ

ප්‍රවීණ ගේය පද රචක, බණ්ඩාර ඇහැළියගොඩ ගේ දියණිය වන අමාලී ඇහැළියගොඩ ජයසේකරගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය, 'ඒ කන්ද පාමුල' කෘතිය සන්ථව ප්‍රකාශනයක් ලෙස ඊයේ (19) එළිදැක්විණි. මේ, ඇගේ කවිකම පිළිබඳ කරන ලද පිළිසඳරකි.

ඔබ කිවිඳියක් බවට පත් වෙන්න බලපෑ හේතු මොනවාද? ඔබේ නිර්මාණ කෘතියක් බවට පත් වුණේ කොහොමද?

කුඩා වියේදී සිටම කවිය හා ගීතය වටපිටාව කරගත් පවුල් පසුබිමක හැදී වැඩුණත්, කිවිඳියක් යන්න මගේ හීන අතරේ නොතිබුණු දෙයක්. කවියෙක් හෝ ගීත රචකයෙක් පිළිබඳ මගේ හිතේ තිබුණේ අපරිමිත ගෞරවනීය භක්තිමත් හැඟීමක්.කවියන් ජීවිතය අත්දකින ආකාරය හා සිය නිර්මාණ මඟින් මිනිසුන්ගේ හිත්වල ඉතා සංවේදීම කොටස ස්පර්ශ කිරීමට දක්වන සමර්ථකම ගැන, කුඩාවියේ සිටම මා පුදුමයට පත් කරපු කරුණක්. පදවැල් කිහිපයකින් ජීවිතය විනිවිදව දකින ඔවුන්, මට දැනුණේ මහා දාර්ශනිකයන් විදිහටයි.

මම කාව්‍ය නිර්මාණයට පෙලඹෙන්නේ අහම්බෙන් කිව්වොත් නිවැරැදියි. වසර 30ක් යනතුරුත් මම කවි නිර්මාණයට පෙලඹෙන්නේ නැහැ. ඒත්, පසුගිය වසර කිහිපයේ මගේ හිතට දැනුණු හා මම විඳි අත්දැකීම් අලලා ගෙතුණු නිර්මාණ, මා සතුවුණු ජංගම දුරකතනයේ රහසේ ගබඩා කර තැබීමේ පුරුද්දක් මට තිබුණා. වරක් එහි ධාරිතා සීමාව ඉක්මවා යනවා. සියලු දත්ත මකා දමා දුරකතනය පිලිසකර කළ යුතු බව මගේ සැමියා අමිල ජයසේකර මට කිව්වත්, මම ඊට මැළි වුණේ, කවි ටික මැකෙනවානේ කියමින්. පසුව ඔහු ඒ සියල්ල තම ජංගම දුරකතනයේ ගබඩා කර ගනිමින්, මා අස්වසා එය පිළිසකර කර දුන්නා. ඉන් මාසයකට පසුව මගේ 32 වැනි උපන් දිනය. මා අතිශය පුදුමයට පත් කරමින්, අමිල මට තෑගි කරන්නේ පොතක්. මා රහසේ කළ නිර්මාණ සියල්ල, 'අමා කවි' නමින් ඔහු පොතක් ලෙස මුද්‍රණය කර, මා අතට පත් කරනවා. මම කවි ලියනවා යන හැඟීම මා තුළ ජනිත වන්නේ, ඒ අහඹු ත්‍යාගයත් එක්කයි. මගේ තාත්තා මා කවි ලියන බව දැනගන්නේත් එදිනයි.

ඉන් වසර 03කට පසුව ඒ කන්ද පාමුල මගේ පළමු කාව්‍ය සංග්‍රහය එළිදක්වමින්, මම ආධුනික නිර්මාණකාරිය ලෙස කාව්‍යකරණයට පිවිසුනා.

සාර්ථක නිර්මාණයක් බොහෝ දුරට එළි දක්වන්නේ, කිසියම් අනුභූතියක් ඔස්සේයි. ඔබ අතින් මේ නිර්මාණ රචනා වුණේ කොහොමද?

මගේ කාව්‍ය නිර්මාණ මා ප්‍රධාන කොටම කොටස් දෙකක් ඔස්සේ විග්‍රහ කරන්න කැමතියි. ඒ නිර්මාණවලින් කොටසක් ස්වකීය අත්දැකීම් අනුභූතිය කරගෙන බිහිවූ නිර්මාණ. ඉතිරිය, පෙර කී අත්දැකීම් අනුභූතිය කොටගෙන බිහි වූ නිර්මාණ. මා ජීවිතයේ අත්දකින, අත්විඳින දේ පමණක් නෙමෙයි, මා වටා සිටින අයගේ අත්දැකීම්, දෛනික ජීවිතයේදී අපට හමුවන චරිත අලලා ගොඩනැගෙන කාව්‍ය රචනා, මගේ කවිවල අන්තර්ගතයි. එසේම සමහර සිද්ධි පරිකල්පනය කරමින් රචනා කළ කවි, මගේ නිර්මාණ අතරේ තිබෙනවා.

නිර්මාණකාරියක් හැටියට ඔබ වඩාත් සමීප මාධ්‍ය?

කවිය හා නිසඳැස්වලට මම වැඩියෙන් නැඹුරුයි. නිදහස් ආරකින් නිර්මාණ කරන්න මම කැමැතියි.

මේ සංකීර්ණ සමාජ වටපිටාව ඇතුළේ, කවිය වැනි සංවේදී මාධ්‍යයකට ඇති අවධානය ඔබ දකින්නේ කොහොමද?

වර්තමාන සමාජ සන්දර්භය තුළ සාහිත්‍යයට ඇති අවධානය ඉතා පහළ මට්ටමක තියෙන්නේ. හේතුව, ගෝලීයකරණය නිසා මිනිසුන්ගේ සංවේදීතාව මොට කර, මුදල් මත සියල්ල තීරණය කෙරෙන සමාජයක් නිර්මාණය කර තිබීමයි. ඒත්, මෑත යුගයේදී ශ්‍රී ලංකාවේ පෙරට වඩා සාහිත්‍යට නැඹුරවක් ඇති බව කියන්න පුළුවන්. විද්වත් සාහිත්‍ය නිර්මාණකරුවන් විසින්, සමාජය තුළ නැවත යම් පරිශෝධනයක් කරන්නට වෙහෙසෙන බවක් දකින්න තිබෙනවා. ඒ ඔස්සේ, කවිය හා ගීතය වැනි සංවේදී මාධ්‍යයට ද විශේෂ ඉඩක් වෙන් කර තිබෙන්නේ, එය මිනිසුන් ඉතා වේගයෙන් ස්පර්ශ කරන හා සංවේදී කරන මාධ්‍යයක් නිසා කියලයි මට හිතෙන්නේ. සමාජ මාධ්‍ය ඔස්සේ හා අන්තර්ජාලය ඔස්සේ ප්‍රශස්ත නිර්මාණ බිහි කරන නවක කවියන් අපට හමු වෙනවා. ඒ වගේම, බොහෝ ප්‍රවීණ නිර්මාණකරුවන්, නිර්ලෝභීව නව නිර්මාණකරුවන් ඉදිරියට ගෙන ඒමට වෙහෙසෙන යුගයක් බව දකින්න ලැබීම මහා භාග්‍යයක්.

නිර්මාණකාරිනියක ලෙස ඔබට බලපෑ ප්‍රවීණයන් කවුද?

මගේ තාත්තා සතුව පොත් එකතුවක් තියෙනවා. මහගෙදර ඉන්න කාලේ ඒ පොත් දැඩි භක්තියකින් හා ගුප්ත අශාවකින් අතපත ගාන්න මං හරි ම කැමතියි. රාක්කයේ උඩම කොටස මං වෙන් කළේ, ගීත හා කාව්‍ය රචකයන්ට. මහගම සේකරයන්, චන්ද්‍රරත්න මානවසිංහයන්, දයාසේන ගුණසේනයන්, රත්න ශ්‍රී විජේසිංහයන් වගේ ම, පරාක්‍රම කොඩිතුවක්කු, බුද්ධදාස ගලපත්ති වැනි කිවිඳුන්, යමුනා මාලනීල මොනිකා රුවන්පතිරණ වැනි කිවිඳියන්, බණ්ඩාර ඇහැළියගොඩ නමින් මගේ තාත්තා, පතාක යෝධයන් සේ ඒ පුංචි පොත් අතරේ සැඟවී සිටියා. ඔවුන්ගේ කවි හා ගීත, රසික සිත් ප්‍රකම්පනයට පත්කරමින්, ගලාගෙන යන ආකාරය මා පුදුමයට පත් කළා. වසර ගණනකට පසුව වුණත්, ඒ ආභාෂයත් නිර්මාණකරණයේදී මට බලපාන්න ඇති.

ඒ වගේම, තාත්තා මගේ ජීවිතය වටා බැඳපු මහා පවුරක් වගේ. පුරුද්දක් විදියට තාත්තා තමන්ගේ නිර්මාණ කටයුතු කරන්නේ, මහා පාන්දර අවදිවෙලයි. උදේම නැගිටින මම, තාත්තාගේ බොහෝ ජනප්‍රිය ගීත හා කවිවල මුල්ම රසිකත්වය හිමි කර ගත්තා. ඒ ගීත ගන්නා දිශානතිය ගැන මම පුදුම වුණා. එකකට එකක් වෙනස්. ඒ වගේම, ඉතා සංවේදීව ගළපන වචන. බොහෝ ගීත අවසන් වුණේ මගේ ඇස්වල කඳුළුත් එක්කයි. 'දුවේ නුඹ මගෙ ප්‍රාණයයි' ගීතය ඒ අතරින් විශේෂයි. තාත්තාගේ කවියේ හා ගීතයේ අභාෂයත් මගේ කවිවලට ප්‍රධාන වශයෙන් බලපෑවා.

එත් කවියෙක්ගේ දුවක් කවියෙක් වෙන්නම ඕන නැහැ කියන මතය සාධාරණීය කරමින්, කවි නොලියා වසර 30ක් පමණ ගත කළ මම, කවිකම කියන්නේ අභාෂය තුළින් හා ජානවලින් පවා සංසරණය විය හැකි බව අද විශ්වාස කරනවා.


නව අදහස දක්වන්න