ළිංවලට - පූසන්ට ශීතකරණවලට මං පිස්සු වැටිලයි ඉන්නේ | දිනමිණ

ළිංවලට - පූසන්ට ශීතකරණවලට මං පිස්සු වැටිලයි ඉන්නේ

හරුකි මුරකමි

හරුකි මුරකමි සුප්‍රකට ජපන් නවකතාකරුවෙකි. විදෙස් භාෂා 50ට පමණ පරිවර්තනය වී ඔහුගේ කෘති, ලොව පුරා මිලියන ගණනින් අලෙවි වේ. මේ වන විට ඔහු, නවකතා 14ක්, කෙටිකතා 05ක් සහ තවත් කෘති ගණනාවක් පළ කර තිබේ. 'ආලේඛ්‍ය' වෙන් වන්නේ, ලේඛකයන්ගේ ලිවීමේ ලාලසාව චිත්‍රණය කරනු පිණිස ය.

එක්තරා අප්‍රේල් හැන්දෑවක මං හිටියෙ ජින්ගු ක්‍රීඩාංගනේ බේස්බෝල් මැච් එකක් බලමින්. ක්‍රීඩකයෙක් ලකුණක් වාර්තා කළා. 'සමහර විට මට නවකතාවක් ලියන්න පුළුවන් ඇති' කියලා හදිසියෙම මට හිතුණා. මම ගෙදර ගිහිල්ලා ලියන්න පටන් ගත්තා. හැබැයි, එහෙම හිතුණෙ ඇයි කියලා අදටත් මම දන්නෙ නෑ. ඒක හදිසි ප්‍රාදූර්භූත වීමක් කියලා අන්තිමට මම තීරණය කළා.

තරුණ කාලෙදි , බොහොම නිශ්ශබ්ද ජීවිතයක් ගත කරන්න මට ඕන වුණා. ඒ කාලෙදි මට ඕන වුණේ 'ද වින්ඩ්අප් බර්ඩ් ක්‍රොනිකල්' පොතේ ප්‍රධාන චරිතය, ටෝරු ඔකාඩා වගේ වෙන්න. නිශ්ශබ්ද ටෝරු ඔකාඩා වෙන්න ඕන වුණ මට, අන්තිමට කාර්‍යබහුල හරුකි මුරකමි වෙන්නයි සිද්ධ වුණේ. මගේ ජීවිතේ ආසා හරි අමුතුයි කියලා, කාට හරි හිතෙන්නත් පුළුවන්. ඒවා පිළිවෙළක් නැතුවම කිව්වොත්, මෙන්න මෙහෙමයි.

මම ඇඳුම් මදින්න කැමැතියි. ඒ නිසා ම මගේ ඇඳුම්වලට අමතරව, බිරියගෙ ඇඳුනුත් මදිනවා. මගේ පරිකල්පනය සතෙක්ට සමාන කරන්න පුළුවන්. මෙන්න මේ සතා ජීවමාන කරවන්නයි මම සටන් කරන්නේ. ඒ සටන මැද්දෙ මම ළිඳක් ඇතුළට බැහැලා, වාඩිවෙලා ඉන්න හීන මවනවා. නවකතාවක් ලියන එකත් එක්තරා විදිහක විනෝදයක්. නවකතාවක් ලියද්දි ලේඛකයාට, ඕනම කෙනෙක්, ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා ම, ළිඳක් පතුලේ තනියෙම වාඩිවෙලා ඉන්න තියෙනවා නම් අගෙයි කියලා මම හිතුවා. ළිං ගැන වගේම, බළලුන් ගැනත් මම ඉන්නෙ පිස්සු වැටිලා. ඒ විතරක් යෑ!! ඇයි අලි, ශීතකරණ....වෙලාවකට මට මේවා ගැන පැහැදිලි කරලා කියන්නත් අමාරුයි.

නවකතාවක් ලියන අදහස , පුංචි ගිනි පුපුරක් වගේ මගේ ඔළුවෙ පත්තු වුණාම, මම පාන්දර හතරට නැගිටිනවා. පැය පහක්-හයක් එක දිගට ලියනවා. එක්කො හැන්දෑවට කිලෝ මීටර් දහයක් දුවනවා. නැත්නම් මීටර් 1500ක් පීනනවා. සමහර දවස්වලට මේ දෙකම කරනවා. ඊට පස්සෙ පොතක් හරි, සඟරාවක් හරි කියවනවා; සිංදු අහනවා. හරියට නවයට නිදා ගන්නවා. කිසි ම වෙනසක් නොකර, චක්‍රයක් වගේ මේ ක්‍රියාවලිය දිගටම කරනවා. ඒක හරියට තමන්වම මෝහනය කර ගන්නවා වගේ වැඩක්. මගේ යටි හිතෙත් නොදන්නා මුල්ලක තියෙන දේ, මමත් නොදැනම එළියට ඇදිලා එනවා. හැබැයි මාස හයක්-අවුරුද්දක් එක දිගට මේ වගේ වැඩක් කරන්න ලොකු මානසික-ශාරීරික නිදහසක් තියෙන්න ඕනැ. මේ වාතාවරණය උඩ, ඉතා ම දිග නවකතාවක් ලියන එක ජීවිතේ රැක ගන්න ලැබෙන පුහුණුවක් වගෙයි.

නවකතාවක් ලියලා ඉවර කරන්න මට අවුරුද්දක්-දෙකක් යනවා. ඒත්, ප්‍රචණ්ඩකාරී දේ ගැන වගේම, ලිංගික අතවර ගැන ලියන්න මම කැමැති නැහැ. හැබැයි ඒ වගේ දෙයක් කතාව ඉල්ලා හිටියොත් ඒකට පිටුපාන්න මට බැහැ. 'ද වින්ඩ්අප් බර්ඩ් ක්‍රොනිකල්' නවකතාවෙ බොහොම දරුණු සිදුවීම් ලියන්න සිද්ධ වුණා. ඒ ලියන මොහොතෙ මම හිටියේ පුදුම භයකින්. ඒ පොතේ පරිවර්තකයෝ හැමෝම වගේ මේ සිද්දි හරි ම කනගාටුදායකයි කියලා මට චෝදනා කළා. මුලින් ම මට ඒ සිදුවීම් ලියන්න සිද්ධ වෙච්ච එක, ඊට වඩා ලක්ෂ වාරයක් කනගාටුදායකයි. මට ඕන කතාවෙ චරිත එක්ක කරට අත දාගෙන එහෙ-මෙහේ යන්න, එයාලා එක්කම ගැවසෙන්න. ඒක හැම වෙලාවෙම කරන්න ලැබුණේ නෑ. මගේ නවකතා ඇතුළේ මගේ ජීවිතේ නොයෙක් දේ සෑහෙන්න තියෙනවා. මං හුරතලේට ඇති කරන පූසෝ, කෑම උයන ක්‍රම, මම කැමැති සංගීතය විතරක් නෙමෙයි, මං මගේ ජීවිත කාලෙ ඇතුළේ උමතුවෙන් ලුහුබැන්ද බොහෝ දේ, මගේ නවකතා ඇතුළේ හුස්ම ගන්නවා.

ලස්සනම වැඩේ වෙන්නෙ, මගේ පොත් වෙන භාෂාවලට පෙරළලා, මට කියවන්න එව්වහමයි. ප්‍රංශ, රුසියානු, ජර්මන් වගේ පරිවර්තන කියවන්න බැරි වුණාට, ඉංග්‍රීසි පරිවර්තන මට කියවන්න පුළුවන්. එතකොට මමත් අලුත්ම කියවන්නෙක් වගෙයි. මම ඉන්නෙ කතාවෙ ඊ ළඟට මොකක් වෙයිද කියන තිගැස්මෙන්. ඒ කියන්නෙ මගේම පොතේ පරිවර්තනය කියවලා, හදිසි විනෝදයකට පත් වෙන්නත් මට පුළුවන්.

හැම දවසකම මම ලියන්න පටන් ගන්නෙ, ඊළඟට මොනවා වේවිද කියලා නොදැනයි. උදාහරණයක් විදිහට 'ද වින්ඩ්අප් බර්ඩ් ක්‍රොනිකල්' ලියන්න පටන් ගන්න ආසන්නම හේතුව, පිටිපස්සෙන් ඇහුණු කුරුල්ලකුගෙ අමුතුම කෑ ගැහීමක්. ඒ වගේ සද්දයක් මම ඊට කලින් අහලා තිබුණේ නෑ. ඊට පස්සෙ ආයෙ කවදාවත්ම අහන්න ලැබුණෙත් නෑ. ඒ සද්දෙ මට යමක් අඟවන්න, අනාවැකියක් කියන්න උත්සාහ කරනවා කියලා මට හිතුණා.

ඒ වගේම, තව දවසක් මම ස්පැගටි උයමින් හිටියා. ඒ වෙලාවෙ දුරකතන ඇමතුමක් ආවා. මේ තමයි ලියන්න කලින් මට වෙන ආසන්නම සිද්ධි. ඊට පස්සෙ මම කරන්නෙ, ලියන්න පටන් ගන්න එක. මම හැමදාම උදේට නැඟිටිනවා. ලියන මේසයට ගිහින් පරිගණකය පණ ගන්නනවා. ඊට පස්සෙ 'අද මොකක්ද සිද්ධ වෙන්නෙ යන්නෙ?' කියලා හිතනවා. සිද්ධ වෙන්න පුළුවන් හොඳ ම දේ මමත් නොදන්න මොකක්දෝ රහසිගත උමගකින් ඇදිලා එනවා. කාලයක් තිස්සෙ මේ සෙල්ලම කළාම, අන්තිමට මුද්‍රණය කරන්න පොතක් හම්බ වෙනවා.

දවසක් මම ඡේද දෙකක් ලියලා, ඒක ලාච්චුවේ දාලා වැහුවා. ඊට පස්සෙ ඒ ගැන අමතක වුණා. මාස තුනකට-හයකට විතර පස්සේ, ඒ ලියපු ඡේද දෙක-තුනෙන් නවකතාවක් ලියන්න පුළුවන් කියලා මට අදහසක් ආවා. මෑතකදීම පළ කරපු 'කිලින්ග් කොමන්ඩේටර්' තමයි ඒ පොත. පොත ලියලා ඉවර කරන්න මට අවුරුදු එකහමාරක් විතර ගියා. හැබැයි කිසිම සැලැසුමක් නැතිවයි පටන් ගත්තේ. අනෙක් එක, කතාවෙ අවසානය තමන් දන්නවා නම්, ඒ කතාව ලියන එකෙන් කිසි විනෝදයක් ලබන්න බෑනේ. සාමාන්‍යයෙන් මම ඕනම පොතක් පටන් ගන්නේ පොතේ නමෙන්. 'කිලින්ග් කොමන්ඩේටර්' කියන නම අහසෙන් පාවෙලා වගේ මගේ ළඟට ආවා. ඊට පස්සෙ මම හිතුවෙ, මේ නමත් එක්ක මොන වගේ නවකතාවක් මට ලියන්න පුළුවන්ද කියලයි. මම ලියලා බැලුවා.

නොලියා ඉන්න හැම වෙලාවකම, මම හරි ම සාමාන්‍ය මනුෂ්‍යයෙක්. පාරේ ඇවිදගෙන යනකොට 'හරුකි මුරකමි මහත්මයා, ඔබව හමුවීම හරි ම සතුටක්' කිව්වහම, මට හරි අමුත්තක් දැනෙනවා. මගේ කිසි ම විශේෂත්වයක් නෑ, මා හම්බ වෙච්ච එක, එයාට සතුටක් වෙන්නෙ ඇයි කියලා කල්පනා කරනවා. හැබැයි මම ලියන වෙලාවට, වෙනස් මනුෂ්‍යයෙක් කියලා නම් හිතිලා තියෙනවා. දැන් මම අවුරුදු 40ක් තිස්සේ ලියනවා. ඒ හතළිහට නොසෑහෙන්න වෙනස් වෙලා කියලත් දැනෙනවා. පළමු වැනි නවකතාව ලියපු දවසෙ හිටපු කෙනා නෙමෙයි දැන් ඉන්නේ. මම හීනෙන් කතන්දර දකින කෙනෙක් නෙමෙයි. කතන්දර වෙනමයි, හීන වෙනමයි. හැබැයි ලියන්න පටන් ගත්තහම මට හිතාමතා හීන දකින්න පුළුවන්.

ආශ්‍රිත කියැවීම්:

* https://bit.ly/2IrXH3e

* https://bit.ly/1w5O6Wr

* https://bit.ly/2Sob9ib

* https://bit.ly/2NbSvEu

* https://bit.ly/2tsYxay

කාංචනා අමිලානි

නව අදහස දක්වන්න