භූතානයට එරෙහිව කොළඹින් ගෝල් වැස්සක් ආසියා පාපන්දු සම්මේලන කුසලාන මූලික වටය | දිනමිණ

භූතානයට එරෙහිව කොළඹින් ගෝල් වැස්සක් ආසියා පාපන්දු සම්මේලන කුසලාන මූලික වටය

භූතා­නයේ ට්‍රාන්ස්පෝර්ට් යුන­යි­ටඩ් පිල පරා­ජ­යට පත් කළ කොළඹ පාපන්දු ක්‍රීඩා සමා­ජයේ සතුට. ඡායා­රූ­පය: නිරෝෂ් බටේ­පොල

ප්‍රින්ස් ගුණසේකර

මේ වසරේ පැවැත්වෙන ආසියා පාපන්දු සම්මේලන කුසලාන තරගාවලියේ මූලික වටයේ පළමු අදියරේදී කොළඹ පාපන්දු ක්‍රීඩා සමාජය ගෝල් 7-1කින් භූතානයේ ට්‍රාන්ස්පෝර්ට් යුනයිටඩ් පිල පරාජයට පත් කරයි.

කොළඹ තුරඟ තරග පිටියේ දී ඊයේ පැවැති මෙම තරගයේ පළමු භාගයේදී කොළඹ පාපන්දු සමාජය ගෝල් 4-0කින් ඉදිරියෙන් සිටි අතර තරගයේ 5වැනි මිනිත්තුවේදී කොළඹ පිලේ මොහොමඩ් අකීබ් ගෝල් වාර්තා කිරීම ආරම්භ කළේය. ඩස්කන් සුස්ලාස් එල්ල කළ පහර භූතාන ගොල් රකින්නාගේ අතේ වැදී ඉදිරියට එද්දී මොහොමඩ් අකීබ් එය ගෝලයක් බවට පත් කළේය. අනතුරුව 8වැනි හා 11වැනි මිනිත්තු වලදී පිට පිට ගෝල් තුනක් මොහොමඩ් අකීබ් එල්ල කළේය. 27වැනි මිනිත්තුවේදී නයිජීරියානු ක්‍රීඩක දිමිත්‍රි කොළඹ පිලට සිවුවැනි ගෝලය එක් කිරීමත් සමග ජයග්‍රාහී බලාපොරොත්තු ශක්තිමත් විය. අනතුරුව ඔහු තවත් ගෝල් දෙකක් වාර්තා කිරීමට සමත්වීම කැපී පෙණුනි.

දෙවැනි භාගයේදී භූතාන ක්‍රීඩකයෝ තරග රටාව වෙනස් තරමින් ප්‍රහාරාත්මකව තරගයට අවතීර්ණ වුවද කොළඹ පාපන්දු සමාජයේ ආරක්ෂක වලල්ල ශක්තිමත් වීමෙන් ඔවුන්ගේ බලාපොරොත්තු සුන්විය. දෙවැනි භාගයේදී භූතානයට එකම ගෝලය නෝබූ ලෙප්කා වාර්තා කළේය. අෂිකූර් රහ්මාන් කොළඹ පිලට 81වැනි මිනිත්තුවේදී ගෝලයක් එක් කළේය.

තරගයේ දෙවැනි භාගය ආරම්භවී මිනිත්තු 4ක් ගතවෙද්දී භූතාන කණ්ඩායමේ නයිජීරියානු ක්‍රීඩක අබුබකර් බාකියා කොළඹ පිලේ ක්‍රීඩකයෙකුට සිතා මතා ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් රතු කාඩ්පත් පෙන්වා පිටියෙන් නෙරපීමට තරග විනිසුරු තීරණය කළේය. එබැවින් තරගයේ ඉතිරි මිනිත්තු 41ක කාලයේදී භූතාන ට්‍රාන්ස්පෝර්ට් ක්‍රීඩකයින් 10කට සීමාවිය.

‍ශීත දේශගුණය මැද පුහුණුවීම් කළ භූතාන ක්‍රීඩකයෝ කොළඹ පැවැති අධික රශ්මියෙන් පීඩාවට පත්ව සිටි අයුරු දිස්විය. එබැවින් ඔවුන්ගේ සුපුරුදු ප්‍රහාර හා තරග සැලසුම් සියල්ල ක්‍රියාත්මක නොවීය. මෙහි දෙවන අදියරේ තරගය මේ 27 වැනිදා භූතානයේ තිම්පු ජාතික ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර එහිදී කොළඹ පිලට ශීත දේශගුණය යම් අභියෝගයක් වනු ඇතැයි විශ්වාසයවී තිබේ.

වසර 2017දී චැම්පියන් ලීග් පාපන්දු ශූරයින්වීම හේතුවෙන් කොළඹ ක්‍රීඩා සමාජය හා භූතානයේ ප්‍රධානතම තරගාවලිය ජය ගැනීම හේතුවෙන් භූතාන ට්‍රාන්ස්පෝර්ට් යුනයිටඩ් කණ්ඩායම මෙම මූලික වටයේ තරග සදහා සුදුසුකම් ලබා ගත්හ.

ආසියානු පාපන්දු සම්මේලනයේ සාමාජික සංගම් 26කින් කණ්ඩායම් 43ක් මෙම තරගාවලියට සහභාගීවන අතර මෙම මූලික තරග වට දෙකෙන් ජයගන්නා කණ්ඩායම ඉන්දියාවේ මිනර්වා පන්ජාබ් , බංගලාදේශයේ අබාහනි ලිමිටඩ් ඩකා හා නේපාලය මැනෑන්ග් මෑෂ්යන්ග් යන ක්‍රීඩා සමාජ සමඟින් ‘ඊ‘ කාණ්ඩයෙන් තරග වැදීමට සිදුවනු ඇත.

 


නව අදහස දක්වන්න