වේගවත්ම පළමුපෙළ ද්විත්ව ශතක වාර්තාව තැබූ පිට පිට සම්මාන ද්විත්වයක් දිනූ භානුක රාජපක්ෂ | දිනමිණ

වේගවත්ම පළමුපෙළ ද්විත්ව ශතක වාර්තාව තැබූ පිට පිට සම්මාන ද්විත්වයක් දිනූ භානුක රාජපක්ෂ

පසුගියදා නිමාවට පත්වූ අන්තර් සමාජ පළමුපෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ පෙරළිකාර පිතිහරඹයක නිරතවෙමින් මෙරට පළමුපෙළ තරග ඉතිහාසයේ වේගවත්ම ද්විත්ව ශතකයේ වාර්තාවත්, ලොව වේගවත්ම 6 වැනි පළමුපෙළ ද්විත්ව ශතකයේ වාර්තාවත් හිමිකර ගැනීමට සමත්වුයේ සන්ඩේ ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් පිට පිට දෙවතාවක්ම පිදුම් ලැබූ විශිෂ්ට පිතිකරුවෙකි. ඔහු භානුක රාජපක්ෂය.

හෙතෙම රාජකීය විදුහලෙන් බිහිවූ විශිෂ්ට වමත් පිතිකරුවෙකි. දකුණතින් මඳ වේග පන්දු යවන්නෙකි. ඔහු පසුගියදා පළමුපෙළ වේගවත්ම ද්විත්ව ශතක වාර්තාවට හිමිකම් කියමින් ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ අවධානය දිනාගැනීමට ද සමත් විය.

පසුගියදා නිමාවූ පළමුපෙළ පළඟ ශූරතා ක්‍රිකට් තරගාවලියේදී වරාය අධිකාරි පිලට එරෙහිව ලකුණු 268ක් රැස් කරමින් සිය මංගල පළමුපෙළ ද්විත්ව ශතකය වාර්තා කළ භානුකට ඒ සඳහා වැය වූයේ පන්දු 129ක් පමණි. ඊට හතරේ පහර 22ක් සහ හයේ පහර 19ක් ඇතුළත් විය. මේ වාර්තාවත් සමග පළමුපෙළ තරග දිවියේ ලකුණු 3000 සම්පූර්ණ කිරීමටත් ඔහුට හැකිවිය.

වසර 2010 සහ 2011 දී සන්ඩේ ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය අත්කරගත් භානුක රාජපක්ෂ රාජකීය විදුහල වෙනුවෙන් එවැනි ගෞරවයක් දිනාගත් තුන්වැනි ක්‍රීඩකයා ද විය. ඊට පෙර 1979 ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා මංගල සම්මාන උළෙලේදී රන්ජන් මඩුගල්ල ද, 1986දී රොෂාන් ජුරම්පති ද මේ සම්මානයට හිමිකම් කීහ. භානුක රාජපක්ෂ ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබූ අවසන් රාජකීය විදුහල් ක්‍රීඩකයා ද වේ.

සිය වාර්තාගත ද්විත්ව ශතකය කරා ගිය ගමනේදි ඔහු සිය අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 29කිනි. පන්දු 80කින් ශතකය සම්පූර්ණ කළ භානුක ලකුණු 268 රැස් කළේ පන්දු 173කිනි. ලොව වේගවත්ම පළමුපෙළ ද්විත්ව ශතක වාර්තාවේ මුල්තැන හිමිවී ඇත්තේ ඇෆ්ගනිස්තානයේ ෂෆීක්වුල්ලා ෂෙන්වරිය. ඔහු 2014දී පන්දු 89කින් ද්විත්ව ශතකය (නොදැවී 200) සම්පූර්ණ කළ අතර 2016දී එංගලන්තයේ ග්ලැමෝගන් ප්‍රාන්ත පිලේ ඇනුයිරින් ඩොනල්ඩ් ඩර්බිෂයර් පිලට එරෙහිව පන්දු 123කින් ලකුණු 200ක් වාර්තා කරමින් එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවන්නේ 1985දී ඉන්දියාවේ බොම්බේ පිල නියෝජනය කරමින් බරෝඩා පිලට එරෙහිව පන්දු 123කින් නොදැවී ලකුණු 200ක් රැස් කළ රවී ශාෂ්ත්‍රි ගේ වාර්තාව සම කරමිනි. බටහිර ඉන්දීය කොදෙව් පිලේ හිටපු නායක ක්ලයිව් ලොයිඩ් වසර 1976දී කොදෙව් පිල සහ ග්ලැමෝගන් පිල සමග පැවැති තරගයකදී නොදැවී ලකුණු 201ක් රැස් කරමින් එම වාර්තාවේ තුන්වැනි ස්ථානයේ පසුවන අතර ඔස්ට්‍රේලියාවේ ඩේමියන් මාටින් පන්දු 128කින් ද්විත්ව ශතකයක් වාර්තා කරමින් එම ලැයිස්තුවේ භානුකට ඉදිරියෙන් පසුවෙයි.

අවුරුදු 13දී කඩුලු රකින පිතිකරුවකු ලෙස සිය ක්‍රිකට් දිවිය ආරම්භ කළ භානුක පන්දුවෙන් පෙරළිකාර දස්කම් දක්වමින් කඩුලු රැකීමේ කාර්යයට සමුදුන්නේ තුන්ඉරියව් ක්‍රීඩකයකු වීමේ අභිලාෂය නිසාය.

පසුව අවුරුදු 19න් පහළ ජාතික යොවුන් කණ්ඩායමට එක්ව සිය මංගල ජාත්‍යන්තර ශතකය බංග්ලාදේශයට එරෙහිව රැස් කරනු ලැබුවේ දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වය යටතේය.

පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් සඳහා කිසිදු සම්මාන පිරිනැමීමක් හෝ ඇගැයීමක් සිදු නොවූ අවධියක ඔබ්සර්වර් ජාතික ඉංග්‍රීසි පුවත්පත ආරම්භ කළ මේ අසිරිමත් සම්මාන උළෙල මෙවර පැවැත්වෙන්නේ 12 වැනි වරටය. එය මෙරට පාසල් ක්‍රිකට් පිටියේ වඩාත්ම ජනප්‍රිය සහ අවධානයට ලක්වූ සම්මාන උළෙල බවට පත්වී ඇති අතර පාසල් ක්‍රීඩකයන්ට ජාතික තලයේ දොරටු විවර කරමින් ජාත්‍යන්තරය ජයගැනීමට කදිම අඩිතාලමක් දමා තිබේ.

 

- ෆවුස් මොහොමඩ්

නව අදහස දක්වන්න