රජයේ තීන්දුව සමඟ 100%ක්ම මා එකඟයි | දිනමිණ

රජයේ තීන්දුව සමඟ 100%ක්ම මා එකඟයි

මහින්ද අලුත්ගෙදර
දරුවන් සුරකිමු ජාතික වැඩසටහනේ දිස්ත්‍රික් සමුළුව ඊයේ(20) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. උත්සවයට පැමිණි ජනාධිපතිවරයා දරුවන් විසින් මහත් ගෞරවාදරයෙන් පිළිගත් අයුරු. ඡායාරූපය : සුදත් සිල්වා

දරුවන් සුරකිමු, ජාතික වැඩසටහන අමතමින් ජනපති කියයි

පහේ ශිෂ්‍යත්වය අහෝසි කිරීම සම්බන්ධයෙන් රජය ගත් තීන්දුව සමඟ සියයට 100ක්ම තමා එකඟවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

වාර්ෂික සංඛ්‍යා ලේඛන ගත්විට පහේ ශිෂ්‍යත්වය සමත්වන දරුවන්ගෙන් සියයට 12ක් 13ක් වැනි සීමිත පිරිසක් විශ්වවිද්‍යාල සුදුසුකම් ලැබුව ද සියයට 85කට අධික පිරිසක් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සුදුසුකම් ලබන්නේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් නොවූ දරුවන් බව පෙන්වා දෙන ඒ මහතා මෙහිදී ශිෂ්‍යත්වය විභාගයෙන් සමත්ව දරුවන් කිසිවිටෙකත් අවතක්සේරු නොකරන නමුත් ශිෂ්‍යත්වය පිළිබඳ තිබෙන තරඟය සහ මානසිකත්වයේ දී ප්‍රධාන වශයෙන්ම පහේ ශිෂ්‍යත්වය අසමත්වන දරුවන්ට මේ කාරණය පැහැදිලි කරදීම අත්‍යවශ්‍ය බවද පෙන්වාදෙයි.

ජනාධිපතිවරයා මේ බව සදහන් කෙළේ කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේ දී ඊයේ (20) පෙරවරුවේ පැවැති දරුවන් සුරකිමු, ජාතික වැඩසටහනේ කොළඹ දිස්ත්‍රික් සමුළුව අමතමිනි. ජාතියේ ජීවනාලිය වන දරු පරපුර ආරක්ෂාකර ගැනීම සහ ඔවුන්ගේ කායික, මානසික සංවර්ධනයට හිතකාමී වඩා යහපත් පරිසරයක් ගොඩනැගීම අරමුණු කරගත් දරුවන් සුරකිමු, ජාතික වැඩසටහන ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වෙයි.

එහිදී වැඩිදුරටත් අදහස් පළකරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේ දරුවන් ආරක්ෂා කිරීම මවුපියන්, ගුරුවරුන් මෙන්ම සමාජයේ සියලු පාර්ශවයන්ගේ යුතුමකමක් සහ වගකීමක් වී තිබෙන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සකස් කරන ලද ළමා ප්‍රඥප්තියට අනුව යමින් රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ දරුවන් වෙනුවෙන් කළයුතු යුතුකම් සහ වගකිරීම් ඉටුකිරීමෙහිලා සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවත්ය.

අනාගත දරු පරපුරට වඩා යහපත් හෙටක් නිර්මාණය කරමින් ඔවුන්ව ආරක්ෂා කිරීම සඳහා ඉදිරි සති දෙකක කාලය ඇතුළත ජාතික අරමුදලක් පිහිටුවන බව සදහන් කළ ජනාධිපතිවරයා ඒ තුළ ප්‍රධාන වශයෙන් දරුවන්ගේ තිබෙන ප්‍රශ්න සහ ගැටළු පිළිබඳ ඇති විශේෂඥ වාර්තා, සමාජ සමීක්ෂණ තොරතුරු වාර්තා ලබාගෙන ඒ තුළින් රජය දැනට ක්‍රියාත්මක කරගෙන යන දරුවන් සඳහා වූ වැඩසටහන් තවදුටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බවද ඒ නිසා දරුවන් ආරක්ෂා කිරීම සඳහා අපේ හෘද සාක්ෂියට අනුව අධිෂ්ඨන කරගත යුතු බවද පැවැසීය.

සියදිවි හානිකර ගන්නා රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බවට වාර්තාවන අතර වයස අවුරුදු 20 ට අඩු පාසල් වයසේ පසුවන දරුවන් එම ලැයිස්තුවල ප්‍රමුඛතාවයේ ඉන්නා බවද මේ පිළිබඳ සියලු අංශවල විශේෂ අවධානය යෙමුවිය යුතු බවද හෙතෙම සදහන් කෙළේය.

කොළඹ දිස්ත්‍රික්කයේ ආබාධ සහිත දරුවන් සිටින පාසල් සඳහා ප්‍රවේශ මාර්ග ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම සඳහා බස්නාහිර පළාතේ පාසල් 4 ක් සඳහා රුපියල් ලක්ෂ 59 ක මුල්‍යාධාර ප්‍රදානය, තිරසර පාසල් වැඩසටහන යටතේ ජල පහසුකම් නොමැති බස්නාහිර පළාතේ පාසල් වෙත එම අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් රුපියල් 877,000 ක ප්‍රතිපාදන ලබාදීම, ළමා නිවාස හා රැඳවුම් නිවාස වල අත්‍යාවශ්‍ය අලුත්වැඩියා කටයුතු සිදුකිරීම සඳහා ළමා නිසාව දෙකකට රුපියල් මිලියන 1.45 ක ප්‍රතිපාදන ලබාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් මෙහිදී සිදුවිය.

කාන්තා හා ළමා කටයුතු සහ වියලි කලාප සංවර්ධන ඇමැතිනී චන්ද්‍රානි බණ්ඩාර, බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය, පළාත් ආණ්ඩුකාර අසාද් සාලි, ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න, කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නංගර මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න