ග්‍රාමශක්ති මෙහෙයුම් කමිටු රැස්වීම ජනපති ප්‍රධානත්වයෙන් අද හම්බන්තොටදී | දිනමිණ

ග්‍රාමශක්ති මෙහෙයුම් කමිටු රැස්වීම ජනපති ප්‍රධානත්වයෙන් අද හම්බන්තොටදී

මහින්ද අලුත්ගෙදර

දිළිඳුකම පිටුදැකීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මඟපෙන්වීමෙන් ජනාධිපති කාර්යාලයේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ දකුණු පළාත් මෙහෙයුම් කමිටු රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට නව පරිපාලන සංකීර්ණයේ දී අද (21) පැවැත්වේ.

දිළිඳු ජනතාවගේ ආර්ථික සමෘද්ධිය උදාකිරීම වෙනුවෙන් වැඩසටහන් රැසක් පසුගිය වසර තුළ ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය හරහා දියත් කළ අතර එම වැඩසටහන්වල ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳවත් මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් ද මේ මෙහෙයුම් කමිටුවේ දී විශේෂ සාකච්ඡාවට බඳුන් කෙරේ. පළාතේ දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරින් යන දෙපාර්ශ්වයේම සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීමේ දී පළාතේ ජනතාව මුහුණ දී ඇති සෙසු ගැටලු පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කර ලබාදිය හැකි කඩිනම් විසඳුම් ලබාදීමට සැලසුම් කර ඇත. එමෙන්ම දකුණු පළාත් ග්‍රාමශක්ති සමිති සහ පෞද්ගලික සමාගම් කිහිපයක් අතර නව ගිවිසුම් කිහිපයකට අත්සන් තැබෙන්නේ ග්‍රාමශක්ති සමිතිවල නව නිෂ්පාදන මිල දී ගැනීමට අදාළවයි.

ග්‍රාමශක්ති වැඩසටහන මෙතෙක් පැවැති සමාජ සුබසාධන වැඩසටහන්වලින් කැපී පෙණෙන ලෙස වෙනස්වන ලක්ෂණ කිහිපයක් තිබෙන අතර ග්‍රාමශක්ති වැඩසටහන සම්පාදනය කර තිබෙන්නේ මෙතෙක් සිදුකරන ලද ජනසවිය, සමෘද්ධි, දිවි නැගුම ආදි සියලු වැඩසටහන් අධ්‍යයනය කිරීමෙන් අනතුරුවයි. ඒ සියල්ලටම වඩා ප්‍රගතිශීලි සහ ජනතාවාදී වැඩසටහනක් ලෙස ග්‍රාමශක්ති ක්‍රියාත්මක වේ.

පළමු වරට, ජනතාව දේශපාලනඥයාගේ අතකොළුවක් නොවී, නිළධාරිවාදයට යටත් නොවී, ගමේ ජනතාවට එක්ව සාමූහිකව තීරණ ගැනීමේ අවස්ථාව ලබාදීමට ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය කටයුතු කර තිබෙන අතර ගමේ සංවර්ධනය ගැන සියලු තීරණ ගනු ලබන්නේ ග්‍රාමශක්ති සමිති විසිනි. මෙතෙක් පැවැති සමාජ සවිබල ගැන්වීම් වැඩසටහන් මඟින් ජනතාවට ආණ්ඩුවෙන් මූල්‍ය හෝ වෙනත් ආධාර ලබා දී නැඟී සිටීමට දිරිදීම සිදුකෙරුණ ද ග්‍රාමශක්ති ව්‍යාපාරය එසේ නොවේ. රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය සහ ජනතාව යන පාර්ශ්ව තුනම ඒකරාශි කරන්නේ ග්‍රාමශක්ති වැඩසටහන පමණි. නිෂ්පාදනය නඟාසිටුවීම මෙන්ම අන්ත දුගී භාවයෙන් මිදීම යන කාර්යයන් දෙකම එකවිට ග්‍රාමශක්ති ව්‍යාපාරය හරහා ඉටු කෙරේ. එමෙන්ම තරුණ ප්‍රජාව සහ කාන්තාව ප්‍රමුඛ වන පරිදි නිර්මාණය කරන ලද පළමු ජාතික මට්ටමේ ආර්ථික සුබසාධන වැඩසටහන ද ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයයි.

දකුණු පළාත් ග්‍රාමශක්ති ග්‍රාමීය වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රන්මිනිතැන්න, ජුල්පල්ලම ගම්මානය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වේ.


නව අදහස දක්වන්න