විසි වැනි ශතවර්ෂයේ අධ්‍යාපන ක්‍රමයෙන් විසිඑක් වැනි ශතවර්ෂය ජයගන්න බැහැ | දිනමිණ

විසි වැනි ශතවර්ෂයේ අධ්‍යාපන ක්‍රමයෙන් විසිඑක් වැනි ශතවර්ෂය ජයගන්න බැහැ

අසේල ලියනගේ

විසි වැනි ශතවර්ෂයේ අධ්‍යාපන ක්‍රමය මගින්, විසිඑක් වැනි ශතවර්ෂයේ අභියෝග ජයගත නොහැකි නිසා වත්මන් යහපාලන රජය විසින් විසි එක්වන සියවසට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කර තිබෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ලබන වසර කීපය තුළදී විද්‍යා, ඉංග්‍රීසි, තාක්ෂණ යන විෂයයන් සඳහා ගුරුවරුන් දෙගුණයක් විද්‍යා පීඨ සඳහා බඳවාගනිමින් දිවයිනේ සියලු පාසල්වල ගුරු හිඟය අවසන් කරන බවත් ගුරුවරුන් පුහුණු කිරීම සඳහා විද්‍යා පීඨ තුනක් ඉදිකිරීමට බලාපොරොත්තු වන බවත් අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ පසුගියදා (13) කුරුණෑගල අලුතින් ඉදිකරන ලද විශ්වෝදා ජාතික පාසල සිසු අයිතියට පත්කිරීමේ උත්සවයට එක්වෙමිනි. වත්මන් රජය බලයට පත්වීමෙන් ඉදිකළ පළමු අංගසම්පූර්ණ විද්‍යාලය මෙම විද්‍යාලය වේ. යහපාලන රජය බලයට පත්වීමෙන් අනතුරුව අගමැතිවරයා විසින් දේශපාලන වේදිකාවේ ජාතික පාසල් දෙකක් ඉදිකරන බවට වූ පොරොන්දුවක් මත මෙම විද්‍යාලය කුරුණෑගල ප්‍රදේශයේ ඉදිකර තිබේ. මීළඟ ජාතික පාසල මහනුවර පේරාදෙණිය ප්‍රදේශයේ ඉදිකිරීමට බලාපොරොත්තු වන බව අගමැතිවරයා උත්සව අවස්ථාවට එක්වෙමින් පැවසීය.

පාසල නිල වශයෙන් සිසු අයිතියට පත්කිරීමෙන් අනතුරුව වික්‍රමසිංහ මහතා එහි පන්ති කාමර කීපයක් නිරීක්ෂණය කළේය. ස්මාර්ට් තාක්ෂණය මගින් සිසුන් අධ්‍යාපනය ලබන අයුරු නිරීක්ෂණය කළේය. අනතුරුව පාසලේ 6 ශේණිය සිසුන් විසින් ජපන් භාෂාවෙන් එකිනෙකා සමඟ සාකච්ඡා කරන ආකාරය සහ ස්මාර්ට් තිරය ඔස්සේ ජපන් භාෂාව ඉගෙනගන්නා අයුරු අගමැතිවරයා වෙත පෙන්වා දුන්නේය.

උත්සව අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා,

දරුවන් තමයි මේ රටේ අනාගතය. අපි වර්තමානය හා අතීතය. අද කුරුණෑගලට ඇවිත් විශ්වෝදා පාසල විවෘත කිරීමට හැකිවීම පිළිබඳව මම ස්තූතිවන්ත වෙනවා. පරම්පරා පහක් ජීවත්වුණ නගරක් වශයෙන් කුරුණෑගලට මගේ යුතුකම ඉටුකර දී ඉවරයි. මගේ තාත්තගේ පියාගේ මවගේ නිවසට එහාපැත්තේ තිබුණේ කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයයි. අපේ ඉඩම් වගයකුත් දුන්නා එම පාසල දියුණු කිරීමට. අද වන විට ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ එම විද්‍යාලයත් දියුණු වී තිබෙනවා.

කුරුණෑගල අද දියුණුවන නගරයක්. ලක්දාස් විද්‍යාලය ඇතිවුණා. මෙම ප්‍රදේශය නියෝජනය කළ ශ්‍රීමත් ජෝන් කොතලාවල අගමැතිතුමාගෙ මැදිහත්වීම මත ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලය ඇතිවුණා. එතුමාගේ පාලන කාලයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන විද්‍යාලයක් හැටියට ඉබ්බාගමුව විද්‍යාලය පත්වුණා. මධ්‍යම අධිවේගී මාර්ගය ඇතිවීමත් සමඟ කුරුණෑගලට ඇතිවන දියුණුව දැනගෙන, පාසල් හිඟකම උග්‍රවන අවස්ථාවේදී මම එදා කිව්වා පාසල් දෙකක් මෙම ප්‍රදේශයට ලබාදෙනවා කියා. එදා පොරොන්දු වූ එක පාසලක් තමයි අද (13) මෙම ප්‍රදේශයේ විවෘත කළේ. මම බලාපොරොත්තු වෙනවා අධ්‍යාපන ඇමැතිතුමා අනිත් පාසලත් ඉක්මනින් විවෘත කරයි කියා. මේ පාසල අපි හැදුවේ මාස පහලොවෙන්. අන්න ඒකයි පාසලේ විශේෂත්වය. මේ වගේ පාසල් ඉදිරියට ගෙන යා යුතුයි. විශේෂයෙන්ම මේ වගේ ජාතික පාසලක් කුරුණෑගලට ලබාදීම පිළිබඳව මම අධ්‍යාපන ඇමැතිවරයාට ස්තූතිවන්ත වෙනවා.

සාමාන්‍යයෙන් අධ්‍යාපන ඇමැතිතුමා කුලියාපිටියෙන් ආවාම මුලින්ම හැදුවේ කුලියාපිටිය මහා විද්‍යාලය. මම හිතුවේ මේ පාසලත් කුලියාපිටියේ ආරම්භ කරයි කියා. විශේෂයෙන්ම නිදහස් අධ්‍යාපනය ලබා විශ්වවිද්‍යාලයට ගිය නිසා මම සතුටුවෙනවා එතුමා වේගයෙන් නවීනම විද්‍යාලයක් කුරුණෑගලට ලබාදීම පිළිබඳව.

ඒ වගේම මහනුවර පේරාදෙණිය ප්‍රදේශයේ තවත් විද්‍යාලයක් ආරම්භ කරනවා. එදා විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් කිව්වා ඒ අයගේ දරුවන්ට අධ්‍යාපනය ලබන්න විද්‍යාලයක් නෑ කියලා. එම ඉල්ලීම අනුව මහනුවර පේරාදෙණිය ප්‍රදේශයේ හදනවා අංගසම්පූර්ණ පාසලක්. කොළඹ උතුර ප්‍රදේශයේ පාසල් අඩුයි. ඒ නිසා එම ප්‍රදේශවලට පාසල් ලබාදිය යුතුයි. අපි නව විද්‍යාලය එම ප්‍රදේශවල ආරම්භ කරනවා. කුරුණෑගල අද මෙම ප්‍රදේශයේ පාසලක් ආරම්භ කරන්න අපට හැකිවුණේ ප්‍රදේශයේ ජනතා නියෝජිතයා වන අශෝක් අබේසිංහ මහතා දුන් සහයෝගය නිසයි.

එතුමා තමයි මෙම විශ්වෝදා පාසල හදන්න ඉඩම් හොයලා දුන්නේ. එතුමාගේ අතේ තියෙනවා කුරුණෑගල සියලුම ලේඛන. කුරුණෑගල නගරය දියුණු කිරීමට අශෝක අබේසිංහ මහතා ලබාදෙන සහයෝගය පිළිබඳව මම සතුටු වෙනවා. 2015 මැතිවරණ වේදිකාවේ පාසලක් ඉදිකරන බවට ලබාදුන් පොරොන්දුව අද අද ඉටුකරලා තිබෙනවා. වයඹ සංවර්ධන ඇමැති ලෙස ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා විශේෂ සහයෝගයක් ලබාදී තිබෙනවා.

දැන් මෙම විද්‍යාලයේ දියුණුව රැදී තිබෙන්නේ විදුහල්පතිතුමා සහ ගුරු මණ්ඩලය වෙතයි. කොළඹ රාජකීය විද්‍යාලය, නාලන්ද විද්‍යාලය, ආනන්ද විද්‍යාලය, ශාන්ත තෝමස් විද්‍යාලය ආදි විද්‍යාලයන්හි ඉතිහාසය දෙස බැලූවිට එම පාසල් දියුණු වීමට හේතු වී තිබෙන්නේ කුමක්ද? මෙම පාසල් ආරම්භ කර පළමු දශක කිහිපය තුළ විදුහල්පතිතුමන් සහ ගුරු මණ්ඩලය මෙම විද්‍යාලයේ දියුණුව සඳහා මූලිකව කටයුතු කර තිබෙනවා. එම වකවානුවේ මෙම පාසල්වලට සමගාමීව ආරම්භ කළ තවත් පාසල් ගණනාවක් දියුණු තත්ත්වයට පත්වූයේ නැහැ. නොයෙකුත් දුෂ්කරතා මධ්‍යයේ විදුහල්පතිවරු සහ ගුරු මණ්ඩලය එම පාසල් ඉදිරියට ගෙන ගියා. එම විදුහල්පතිවරුන්ට සහ ගුරු මණ්ඩලයට අමාරු කාලයේ පාසල් ඉදිරියට ගෙන යාම සඳහා ශක්තිය තිබුණා.

එසේ නම් මේ විශ්වෝදා විද්‍යාලය දියුණු කරමින් ඉදිරියට ගෙන යාම විදුහල්පතිතුමාටත්, ගුරු මණ්ඩලයටත් පැවරෙනවා. ඒ වගේ මවුපියන් ද අවශ්‍ය සහයෝගය ලබාදෙනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා. විදුහල්පතිවරයාගේ සාර්ථකත්වය පිළිබිඹු වන්නේ සේවා කාලය තුළ දී නොවෙයි. වසර 50 කට පසුව විදුහල්පතිතුමාගේ නම මේ පාසලේ රන් අකුරින් ලියැවෙනවා නම් ඔබ සාර්ථකයි. නැත්නම් අසාර්ථකයි.

අපි මලියදේව විද්‍යාලය ගැන කතා කරද්දී සිහිපත් වෙන්නේ වන්නිනායක මැතිතුමායි. එතුමා ගැන තවමත් කතා කරනවා. ඉබ්බාගමුව විද්‍යාලය ගැන කතා කරද්දී සිහිපත් වන්නේ ජයතිලක මැතිතුමායි. එම විද්‍යාල දියුණු කළේ ඒ අයයි. එම නිසා දේශපාලනමය වශයෙන් ඇඟිලි ගැසීමෙන් වැළකී පාසල දියුණු කිරීම සඳහා කටයුතු කිරීමට අප අවස්ථාව ලබා දෙනවා.

ඒ කාලයේ මේ ප්‍රදේශවල ඉගෙන ගනිද්දී භාවිත කළේ වදන් කවිපොත, ගණදෙවි හෑල්ල සහ ගල් ලෑල්ලයි. අපි පාසල් යන කාලයේ එස්.බී. සුගතපාල මහතාගේ නව මඟ හා කළු ලෑල්ලයි. නමුත් අද භාවිත කරන්නේ ස්මාර්ට් බෝඩ් එකයි.

අපි පාසල්වල ඉගෙන ගත්තේ පාලි භාෂාව හා ලතින් භාෂාවයි. නමුත් අද දරු දැරියන් ඉගෙන ගන්නේ ජපන් භාෂාව සහ චීන භාෂාවයි. එහි වරදක් ඇත්තේ නැහැ. සිදුවිය යුත්තේ එයයි. කළු ලෑල්ල පරම්පරා ගණනක් වුවත් හානියකින් තොරව භාවිත කළ හැකියි. නමුත් ස්මාර්ට් බෝඩ් එක එසේ නෙවෙයි. ඔබ මේ උපකරණ ආරක්ෂා කළ යුතුයි. අද තිබෙන්නේ නවීන පාසල්. දියුණුව ලබාගත යුත්තේ ඒ පාසලෙනුයි.

මම අධ්‍යාපන ඇමැති වූ කාලයේ මේ පෞද්ගලික පරිගණක ලෝකයට එක් වි තිබුණා. මම පාසල්වලට පරිගණක ලබා දුන්නා. රූපවාහිනි යන්ත්‍ර පාසල්වලට ගෙන ආ කාලය වන විට රූපවාහිනී යන්ත්‍ර ගෙවල්වල තිබුණේ නැහැ. එම නිසා පාසල්වලට පැමිණ සවස් වරුවේ රූපවාහිනි නැරැඹීමට කැමැත්තෙන් සිටියා. එදා අපි කෘෂිකර්ම සමාජයේ සිට කර්මාන්ත කරා පරිවර්තනය වෙමින් තිබුණා. ඇඟලුම් කර්මාන්තත් පටන් ගත්තා. ඒ කාලයට ඔබින විදියට අපි අධ්‍යාපන ක්‍රමය සකස් කළා. අද තිබෙන්නේ 21 වැනි ශතවර්ෂයයි. නමුත් 21 වැනි ශතවර්ෂයේ අභියෝගවලට 20 වන ශත වර්ෂයේ අධ්‍යාපන ක්‍රමයකින් මුහුණ දිය නොහැකියි. 21 වැනි ශතවර්ෂයට මුහුණ දීමට අපි 21 වැනි ශතවර්ෂයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් ඇති කළ යුතුව තිබෙනවා.

එදා තිබුණෙ ඇඟලුම් කර්මාන්ත. එකල අපි විදේශ ආයෝජන ගෙනාවේ අඩු වේතන ලබන රටක් ලෙසයි. නමුත් අද අපට එසේ තරග කළ නොහැකියි. බංග්ලාදේශය, මියන්මාරය, පකිස්ථානය, ඉන්දියාව වැනි රටවල අපිට වඩා අඩු වේතන යටතේ ශ්‍රමය ලබාදෙනවා. එසේ නම් අපි ලෝක වෙළඳපොළට ගොස් තරග කරන්නේ කෙසේද?

අපි කුඩා කාලයේ තේ වගා කළේ ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ පමණයි. නමුත් අද තවත් රටවල් පහළොවක, විස්සක පමණ තේ වගා කරනවා. එසේ නම් අප ඉදිරියට යා යුත්තේ තාක්ෂණ දැනුම හා ශිල්පීය දැනුම සහිත ශ්‍රම කණ්ඩායමක් සමඟයි. එම නිසා අද අධ්‍යාපන ක්‍රමයෙන් ඇති කිරීමට තිබෙන්නේ ඒ වැඩකටයුත්තයි. එසේ නම් අපේ දැනුම වැඩි කිරීමට, නව තාක්ෂයණය ලබා ගැනීමට, ඒ නව තාක්ෂ ණය අනුව අලුත් කණ්ඩායම් ඇති කළ යුතුයි. ඉදිරියට යා හැකිවන්නේ එම කණ්ඩායම් ඇති කිරීමෙනුයි.

අපි ආණ්ඩුවක් ලෙස පරිගණක කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ කර්මාන්ත ශ්‍රි ලංකාවට ගෙන ඒමට පියවර ගත යුතුයි. එහිදී අප මුහුණපාන ප්‍රශ්නයක් තිබෙනවා. ඒ සඳහා අපට දැනුම හා පුහුණුව ඇති ලක්ෂ තුනහමාරක ශ්‍රම පිරිසක් අවශ්‍යයි. ඒ දැනුම ලබා දෙන්නේ කෙසේද? අපි අද කෘෂිකර්මාන්තය සඳහා භාවිත කරන විද්‍යාව හා තාක්ෂණය වැඩි කළ යුතුව තිබෙනවා. එම කටයුතු සිදු කිරීමට අපට දැනුම අවශ්‍ය වෙනවා. ඩිජිටල් අංශයෙන් සහ සෑම අංශයකින්ම එය අවශ්‍යයි.

අද සෑම කෙනකුගේම ජීවන තත්ත්වය වෙනස් වී තිබෙනවා. බොහෝ අය අද යන්නේ සුපිරි වෙළඳ සංකීර්ණවලටයි. එදා නොතිබුණු ලෙස ගෙදර වෙනස් වෙලා. තමන්ගේ ජංගම දුරකතනයෙන් බොහෝ කාර්යයන් කළ හැකියි. ඒ වගේ විශාල වෙනසක් ඇති වී තිබෙනවා. අමෙරිකාවේ දී රියදුරන් නොමැති වාහන දැකිය හැකියි. චීනයේ කම්කරුවන් නැති කර්මාන්ත ශාලා දැකිය හැකියි.

එසේ නම් දැනුම පදනම් කරගත් සමාජයක් අප ඇති කළ යුතුයි. ඊට ගැළපෙන ලෙස අපේ අධ්‍යාපනය ක්‍රමානුකූලව වෙනස් විය යුතුයි. ඒ සඳහා අප අවුරුදු 13ක අධ්‍යාපනය අනිවාර්ය කළා. ෆින්ලන්තයේ පවතින ද්විතීය වෘත්තීය අධ්‍යාපනය හඳුන්වා දී තිබෙන අතර එය ඉදිරි වසර දෙක තුළ දී ක්‍රියාත්මක වීමට නියමිතයි. සෑම ශිෂ්‍යයකුටම විශ්වවිද්‍යාලයට ගොස් වැඩිදුර අධ්‍යාපනය ලැබීමට කැමැත්තක් දක්වන්නේ නැහැ. එම නිසා ඔවුන්ට ගැළපෙන විෂයන් හැදෑරීමට අවස්ථා ඇති කළ යුතුයි.

අපේ මහා විද්‍යාල බහුතරයකට තවමත් විද්‍යා ගුරුවරුන්ගේ හිඟයක් තිබෙනවා. එය අපට විශාල ප්‍රශ්නයක්. විද්‍යා ගුරුවරු වැඩියෙන් බඳවා ගෙන පුහුණු කිරීමට කටයුතු කරන්නැයි මම අමාත්‍යවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. දැනට සිටින විද්‍යා ගුරුවරු උපාධිධාරී ගුරුවරු කිරීමත්, වැඩියෙන් විද්‍යා ගුරුවරු බඳවා ගෙන පුහුණුව ලබාදීමත් සිදු කළ යුතුයි. ඒ වගේම ඉංග්‍රීසි භාෂා දැනුමද ඉහළ නැංවිය යුතුයි. එම නිසා විද්‍යා ගුරුවරු පුහුණු කරන විද්‍යාපීඨ දෙකක්වත් ආරම්භ කරන ලෙස අධ්‍යාපන අමාත්‍යතුමාට මා උපදෙස් ලබාදුන් අතර ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට අප කටයුතු කරනවා.

ඒ වගේම තමයි ඉංග්‍රීසි භාෂා ගුරුවරු පුහුණු කරන තවත් විද්‍යා පීඨයක් ආරම්භ කළ යුතුයි. ජාතික අධ්‍යාපන ආයතනයට තවත් සම්පත් ලබා දී කාලසීමාවක් ඇතුළත සියලූ ගුරුවරුන් යටතේ පුහුණුව ලබාදීමට කටයුතු කරනවා. අප මේ අවුරුදු කිහිපය ගත කළේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අඩුපාඩුකම් විසඳීමට, පාසල්වලට නව ගොඩනැඟිලි හා උපකරණ ලබා දීමට සහ නව ක්‍රමවේදයන් ඇති කිරීමටයි. දැන් එළැඹ තිබෙන්නේ ඒවා ක්‍රියාත්මක කරන කාලයයි. ඉදිරි අවුරුදු පහ- හය තුළදී 21 වැනි ශතවර්ෂයට ඔබින අධ්‍යාපන ක්‍රමයක් ඇති කළ යුතුයි.

ශ්‍රී ලංකාව කුඩා රටක්. එදා සිට අප ඉදිරියට ආවේ අපට තිබුණ හොඳ අධ්‍යාපන ක්‍රමය නිසයි. අනුරාධපුරයේදී, මහාවිහාරය, අභයගිරිය, ජේතවනාරාම පිරිවෙන්වලින් ගණිතය, ඉංජිනේරු තාක්ෂණය, ආයුර්වේදය, නක්ෂත්‍රය, සාහිත්‍ය ආදී ක්ෂේත්‍ර ගණනාවක් යටතේ අධ්‍යාපනය ලබා දුන්නා. පසුකාලීනව පොළොන්නරුව, සුනේත්‍රා දේවි පිරිවෙන, පද්මාවතී පිරිවෙන ආදී පිරිවෙන් ද ඇති වුණා.

19 වැනි ශතවර්ෂයේ දී බටහිර එංගලන්තයේ ඉංග්‍රීසි ද්විතීය පාසල් ක්‍රමය අපි ලබාගත්තා. ඒ ක්‍රමය යටතේ දියුණු කළ ප්‍රධාන පාසල් ගණනාවක් අද තිබෙනවා. දැන් තිබෙන්නේ 21 වැනි ශතවර්ෂයයි. 21 වැනි ශතවර්ෂය තාක්ෂණ යුගයයි. අපි ක්‍රියා කළ යුත්තේ එම යුගයේ ජයග්‍රහණය ලබා ගැනීමටයි. ඒ සඳහා අවශ්‍ය සම්පත් ලබා දීමට අප සූදානම්. ඒ අනුව අපි ඉදිරියට යමු. මේ එක පාසලක් පමණයි. විශ්වෝදා විද්‍යාල වැනි විද්‍යාල මේ රටේ සෑම තැනකම ඇති කළ යුතුයි. ඒ සඳහා අපි ක්‍රියාත්මක විය යුතුයි. එසේ නම් මේ අවස්ථාව උදාහරණයක් ලෙස ගෙන අපි ඉදිරියට යමු. විශේෂයෙන්ම මට ආරාධනා කිරීම පිළිබඳව නැවතත් ස්තුති කරන අතර විශ්වෝදා විද්‍යාලයට සුබ ප්‍රාර්ථනය කරනවා.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්,

රටේ අධ්‍යාපන අැමැතිවරයා ලෙස මම ඉතාමත් සතුටට පත්වෙනවා, අපි 2015 දේශපාලන වේදිකාවේ දුන් පොරොන්දුවක් ඉටුකරගැනීමට හැකිවීම පිළිබදව. අද මෙවැනි පාසලක් ආරම්භ කිරීම සඳහා කැප වූ සියලු නිලධාරීන්ට මම ස්තූතිවන්ත වෙනවා. මෙම පාසලට විශ්වෝදා කියල නම තිබ්බේ අපිට අවශ්‍ය වුණේ විශ්වයට ගැළපෙන දරුවන් පිරිසක් බිහිකිරීමේ මධ්‍යස්ථානයක් වන නිසා. මෙම පාසල වත්මන් ආණ්ඩුවෙන් ඉදිකළ නිසා අපට තිබුණා අපේ ලැයිස්තුවලට පාසලට දරුවන් ඇතුළත් කිරීමට. හැබැයි අපි එහෙම කළේ නෑ. අපට අවශ්‍ය රටේ අධ්‍යාපන ක්‍රමය ගුණාත්මක කරන්න. ඒ නිසා අපි තීරණය කළා කිසිදු බලපෑමකින් තොරව මෙම පාසලට සිසුන් ඇතුළත් කිරීමට. ඒ වගේම අපි ප්‍රදේශයේ දරුවන්ට සහයෝගයක් දිය යුතු නිසා ප්‍රදේශය නියෝජනය කරමින් දරුවන් පිරිසක් පාසලට ඇතුළත් කිරීමට අනුමැතිය දුන්නා.

වර්තමානයේ ප්‍රතිසංස්කරණය කෙරෙන සියලු පාසල් සඳහා ස්මාර්ට් පංති කාමර ඉදිවෙනවා. මේ පාසලෙත් සියලුම පන්ති කාමර ස්මාර්ට් ක්‍රමයට ඉදිවෙනවා. දියුණු තාක්ෂණය භාවිත කරමින් ඉගෙනුම්, ඉගැන්වීම් ක්‍රමවේදය සිදුවෙනවා. මේ වගේ පාසල් සඳහා සියලුම භාෂා හැසිරවිය හැකි ගුරුවරුන් දෙනවා. වයඹ දරුවන්ට චීන භාෂාව, කොරියන් භාෂාව, ප්‍රංශ භාෂාව, හින්දි, ජපන් යන භාෂා මෙම පාසලෙන් ඉගෙනගන්න පුළුවන්.

කුරුණෑගල දිස්ත්‍රික්කයට පමණක් නෙවෙයි මහනුවර දිස්ත්‍රික්කයට අගමැතිවරයාගේ මඟපෙන්වීම යටතේ පාසලක් ඉදිවෙනවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ. අපි ආණ්ඩුව භාරගත් වසර තුනක් තුළ පාසල් 10194 රෙන් පාසල් 9500කම මොනවහරි ප්‍රතිසංස්කරණයක් කර තිබෙනවා. සැලැස්මකට අනුව ඉදිකළ පාසල් ගොඩනැගිලි 1500ක් තිබෙනවා විවෘත කරන්න. 2015 මේ රටේ පාසල්වලින් විදුලිය තිබුණේ සියයට හැටකට පමණයි. නමුත් අද සියයට අනූනවයක පාසල් සඳහා විදුලිය ලබාදී තිබෙනවා. පිරිසිදු පානීය ජලය නැති පාසල් දහසකට වත්මන් රජය විසින් පානිය ජලය ලබාදී තිබෙනවා. වැසිකිලි 50000ක් විතර ප්‍රතිසංස්කරණය කර තිබෙනවා. ජංගම විද්‍යාගාර 3000ක් විද්‍යාගාර ඉදිකිරීමට අපහසු පාසල් සඳහා ලබාදී තිබෙනවා. කියවීම ඇබ්බැහිකිරීම සඳහා කළන මිතුරු පොත් සුමිතුරු කියලා වැඩසටහනක් ආරම්භ කළා. එයට මිලියන 700ක පොත් ලබාදී තිබෙනවා. මේ වගේ වෙනස්කම් රාශියක් වත්මන් රජය විසින් කර තිබෙනවා.

එම අවස්ථාවට අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්, බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමැති ජේ.සි අලවතුවල, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අැමැති අශෝක් අබේසිංහ, විදුහල්පති තිලක් පතිරණ යන මහත්වරු ඇතුළු ආරාධිතයෝ රැසක් සහභාගි වී සිටියහ.

 

ජායාරූප - රංජිත් අසංක


නව අදහස දක්වන්න