මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනයට අධිකාරියක් | දිනමිණ

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනයට අධිකාරියක්

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය පිළිබඳ අන්තර් පාලක මණ්ඩලයක් පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.

මත්ද්‍රව්‍යවලට එරෙහි නීති රීති හා වැටලීම් ශක්තිමත් කරමින් මත්ද්‍රව්‍ය මර්දනයට ගෙන යන වැඩපිළිවෙළ සේම ඊට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ විධිමත් වැඩපිළිවෙළක් පිළිබඳව ද ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබෙන අතර ඒ අනුව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සඳහා අධිකාරියක් පිහිටුවීමට ජනාධිපතිවරයා පසුගිය දා කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල එකඟතාව පළ විය.

එම අධිකාරිය නීත්‍යානුකූලව ස්ථාපනය කෙරෙන තුරු නොසිට අපේක්ෂිත අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් මේ අන්තර් පාලක මණ්ඩලය පත් කිරීමට ඊයේ (20) ජනාධිපතිවරයා පියවර ගත්තේය.

කුප්පියාවත්තේ බෝධානන්ද ස්වාමීන් වහන්සේ, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිරිසේන හේරත් මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කිතලවආරච්චි, විශේෂඥ මනෝ වෛද්‍ය ජයමාල් ද සිල්වා, විශේෂඥ මනෝ වෛද්‍ය ධනූජ මහේෂ්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රමණි පෙරේරා, හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණි ජයසිංහ, හිටපු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ශාන්ති නවුකරාසන් යන මහත්ම මහත්මීන් ඇතුළු කණ්ඩායමක් එහි සාමාජිකයන් ලෙස කටයුතු කරති.

එම සාමාජිකයන් ඊයේ (20) දහවල් ජනාධිපති කාර්යාලයේ දී හමු වූ ජනාධිපතිවරයා විධිමත් සංවිධාන ව්‍යුහයකින් යුතුව මේ මණ්ඩලයේ කටයුතු පවත්වාගෙන යෑමේ වැදගත්කම පෙන්වා දුන්නේය.

එමෙන්ම නවීන තාක්ෂණය සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනයේ දී ලොව දියුණු රටවල අනුගමනය කරන ක්‍රමවේදයන් අධ්‍යයනය කරමින් අදාළ කටයුතු පවත්වාගෙන යෑමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් එහි නියාමන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ හැකියාව ද පැහැදිලි කළේය.

මේ අධිකාරිය හරහා ඉදිරියේ දී ජනාධිපති කාර්යාලය, සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, පොලිසිය ඇතුළු අදාළ ආයතන එක්ව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මණ්ඩලයේ සංවිධාන ව්‍යුහය පිළිබඳ නිර්දේශ ඉදිරි සතිය තුළ තමා වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නේ නම් වඩා සුදුසු බව ද ජනාධිපතිවරයා මෙහි දී සඳහන් කළේය.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ අධිකාරිය කඩිනමින් ස්ථාපනය කිරීමට නියමිත අතර, මෙවැනි අධිකාරියක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය කිරීමට පියවර ගැනෙන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

මෙහි දී ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ මත්ද්‍රව්‍යවලට එරෙහිව ඉදිරියේ දී දැඩි නීති රීති ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන අතර, ඊට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සඳහා රජය වැඩි අවධානයක් යොමු කරමින් කටයුතු සිදුකරන බවයි.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු නිලධාරීහු ද මේ සාකච්ඡාවට එක්ව සිටියහ.

 


නව අදහස දක්වන්න