වතු කම්කරු වැටුප් නැංවීමට ආණ්ඩුව මැදිහත් විය යුතුයි | දිනමිණ

වතු කම්කරු වැටුප් නැංවීමට ආණ්ඩුව මැදිහත් විය යුතුයි

චන්ද්‍රිකා පෙරේරා

වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීමට කටයුතු කරන ලෙස අදාළ අංශ වෙත බල කරන බවත් එම ඉල්ලීම සාධාරණ බැවින් ඒ සඳහා ආණ්ඩුව මැදිහත්ව ක්‍රියා කළ යුතු බවත් අයිතීන් උදෙසා කාන්තාවෝ ව්‍යාපාරයේ ලේකම් සමන්මලී ගුණසිංහ මහත්මිය අවධාරණය කළාය.

හාම්පුතුන්ට අවශ්‍ය ලෙස කටයුතු කිරීමෙන් සිය ඡන්ද පදනම අහිමි වන බව වෘත්තීය සමිතිවලට සම්බන්ධ දේශපාලනඥයන් තේරුම් ගත යුතු බව ද ඇය පෙන්වා දුන්නාය.

මරදාන සාමය හා සාමයික කේන්ද්‍රයේ ඊයේ (20) අයිතීන් උදෙසා කාන්තාවෝ ව්‍යාපාරය පැවැත් වූ මාධ්‍ය හමුවට එක්වෙමින් සමන්මලී ගුණසිංහ මහත්මිය එම අදහස් පළ කළාය.

එහි දී ගුණසිංහ මහත්මිය මෙසේ ද පැවැසුවාය.

වතු කම්කරුවන් දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස කරන උද්ඝෝෂණය සාර්ථක කර ගැනීමට අයිතීන් උදෙසා කාන්තාවෝ ව්‍යාපාරය අනෙකුත් කාන්තා ව්‍යාපාර සමඟ එක්ව සහාය පළ කරන අතර, මේ ඉල්ලීමට එකඟ නොවන්නේ නම් ඉදිරියේ දී මේ අයගේ ඉල්ලීම ජයග්‍රහණය කරවීමට ගත හැකි ක්‍රියාමාර්ගවලට ඒ අයට සහායවීම සඳහා අප ද යොමු වීමට කටයුතු කරනවා.

තේ අපනයනය කරන රටවලින් තෙවැනි ස්ථානයේ සිටින්නේ ශ්‍රී ලංකාව. එවැනි තත්ත්වයක් පවත්වාගෙන යෑමට මේ කාන්තාවන් කරන කැපවීමට දිනකට රුපියල් දහසක වැටුප ලබා දෙන ලෙස කරන ඉල්ලීම සාධාරණයි. එම ඉල්ලීම ඉටු කිරීමට ආණ්ඩුව ක්‍රියාත්මක විය යුතුයි.

මේ රටේ කොතනක හෝ දිනපතා උද්ඝෝෂණයක් පැවැත්වෙන තත්ත්වයට අද පත්ව තිබෙනවා. එවැනි දිගු කාලීනව පැවැත්වෙන උද්ඝෝෂණයක් වතු කම්කරුවන් දෛනික වැටුප රුපියල් දහසක් කරන ලෙස ඉල්ලා සිදු කරනවා. මේ මොහොතේත් ඒ නිසා උද්ඝෝෂණ පැවැත්වෙනවා. මේ පිළිබඳ අප විශේෂයෙන් අවධානය යොමු කළ යුතුයි. මේ වතු කම්කරුවන් අතර වැඩි පිරිසක් සිටින්නේ කාන්තාවන් ‘රතැඟිලි දිගු කොට මඳහස නංවන තේ දලු නෙළන ළඳේ’ කියා ගීත ලියැවී තිබුණත් ඇගේ අතැඟිලිවල තිබෙන්නේ කළු පැහැ වුණු තේ කහට. ඒ කාන්තාවන්ගේ පා සීතලට දවාලෙ අවුවට වේලිලා. කූඩැල්ලන් එල්ලෙන නිසා රතු වෙලා තියෙන්නෙ.

මීට වසර හතර පහකට පෙර වතු කම්කරුවන් ලක්ෂ හයක් හතක් සිටියත් දැන් එම ප්‍රමාණය 110000 දක්වා අඩු වෙලා. ඒ ආර්ථික ගැටලු මෙන්ම නිවාස ගැටලු ආදී විවිධ ප්‍රශ්නවලට පිළිතුරු නැති නිසා වතු කම්කරුකම අතහැර බොහෝ දෙනකු වෙනත් රැකියා වෙත යොමුව තිබීම. මේ වන විටත් වැඩි වශයෙන් කම්කරු වෘත්තියේ යෙදන්නෙ කාන්තාවන්. ඇය ගෘහ මූලිකයාත් වන අතර දිනකට ඇයට ලැබෙන රුපියල් 700 හෝ 730න් පවුලේ සැමට තුන්වේල කෑම දී වැඩිහිටියන් සිටීනම් ඒ අයගේ කටයුතු කර දරුවන්ගේ අධ්‍යාපනයත් ලබා දිය යුතුව තිබෙනවා. ඒ අය ජීවත් වන්නේත් කුඩා ලයින් කාමරයක එකට. වතු කම්කරුවන් වහළුන් නොවන බව අප තේරුම් ගත යුතුයි. අපි අපේ දරුවන්ට අමතර අධ්‍යාපනය ලබාදීමටත් කටයුතු කරන නමුත් මේ අයට සිය දරුවන් පාසලට යවන්නත් බැරි තරමට අඩුපාඩු තිබෙනවා.

දරුවකු රෝගී වුණොත් හොඳ සෞඛ්‍ය පහසුකම් ලබා දීමට පැය කිහිපයක් දුර ගෙවා ප්‍රධාන රෝහලකට යා යුතු වෙනවා. කිරි දෙන මවක් කිරි පැයට තමා ජීවත් වන ලැයිම් කාමරයට ගිය විට විවිධ අයගේ අතවරයට ලක්වන අවස්ථා බොහෝයි. දලු නෙළන්නියන් මෙවැනි ගැහැට විඳිමින් රටේ ජාතික ආදායමට මුදල් එක් කිරීමට විශාල කැපවීමක් කරනවා.

දේශපාලනඥයන් දෙදෙනකු මූලිකව ඇති කම්කරු සමිති දෙකක් හා හාම්පුතුන් එක්ව ඒ අයගේ වැටුප තීරණය කිරීම අසාධාරණයි. මේ නිසා වතු කම්කරුවන් එම වෘත්තීය සමිතිවලින් වෙන්ව වෙනත් වෘත්තීය සමිති සමඟ එක්වෙමින් තිබෙනවා. මේ අනුව එම දේශපාලනඥයන්ට අනාගත ඡන්දවලදී ඡන්ද අහිමිවීමේ අවධානමට මුහුණ දීමට සිදුවන බව තේරුම් ගත යුතුයි. වෘත්තීය සමිති කිහිපයක් එනම් දේශපාලනඥයන් හා හාම්පුතුන් සමඟ එක්ව ගන්නා තීන්දු තීරණ අනුව කම්කරු වැටුප රුපියල් 750කට සීමා කර සාමූහික ගිවිසුමකට යැම කම්කරුවන්ට කරන අසාධාරණයක්.

මේ ගිවිසුම අනුව වර්ෂ 2016 - 2018 වසර දෙක සඳහා කම්කරු දෛනික වැටුප වුණේ රුපියල් 730ක්. එම ගිවිසුම් කාලය පසුගිය ඔක්තෝබර් මාසයෙන් අවසන් වුණා. ගිවිසුම් කාලය අහෝසි වුණත් කම්කරු වැටුප වැඩි කරන්න කටයුතු කළේ නැහැ. අය වැයෙන් වසරකට රුපියල් 50කින් වැටුප වැඩි කිරීමට තීරණය කළත් වැටුප වැඩි වන්නේ රුපියල් 730 සිට රුපියල් 750 දක්වා රුපියල් විස්සකින් පමණයි. මුලින් ලබාදුන් රුපියල් 730 වුණේ දිරි දීමනා රුපියල් 140ක්, මූලික වැටුප 530ක් හා පැමිණීමේ දීමනා රුපියල් 60ක් වශයෙන්.

මෙවර අය වැයෙන් කම්කරු දිනක වැටුප 750ක් කිරීම පිළිබඳ කම්කරුවන් සිටින්නේ සතුටින් කියා අදාළ දේශපාලනඥයන් දෙදෙනා පැවැසුවත් එය සත්‍යයක් නොවන බව කම්කරු උද්ඝෝෂණ අනුව පෙනී යනවා. මැති ඇමැතිවරුන්ගේ සුඛ විහරණය සඳහා යොදන මුදල් මේ අයගේ දෛනික වැටුප වෙනුවෙන් වැය කරන ලෙස අප ආණ්ඩුවෙන් ඉල්ලනවා.

මෙතෙක් වත්තට පමණක් සීමා වී සිටි කම්කරුවන්ගේ දරුවන් වර්තමානය වන විට මෙරට මෙන්ම ජාත්‍යන්තර කණ්ඩායම් සමඟ ද අත්වැල් බැඳගෙන දැනුම හා හැකියාවන් හා සබඳතා අති කර ගෙන තිබෙන අතර, ඒ අයගේ ක්‍රියාකාරීත්වය පසුගිය දා කොළඹට පැමිණ කළ උද්ඝෝෂණයේ දී දැක ගැනීමට හැකි වුණා. ඒ නියෝජනය කළේ කවුරු වුවත් ඒ අයගේ ශක්තිය අනුව මෙය කොයි ආකාරයෙන් ක්‍රියාත්මක වේවිද කියා අපට කිව නොහැකි අතර, එම කම්කරු අයිතීන් සඳහා කරන අරගලය නවත්වන්න හෝ දියාරු කරන්නට කටයුතු නොකරන ලෙස ද එසේ කරන්නට කිසිවකුට ඉඩ නොදෙන බව ද ඇය සඳහන් කළාය.

ඡායාරූපය සිරිපාල හල්වල


නව අදහස දක්වන්න