ක්‍රිකට් ආයතනයේ නව සභාපති ශම්මි සිල්වා - UPDATE | දිනමිණ

ක්‍රිකට් ආයතනයේ නව සභාපති ශම්මි සිල්වා - UPDATE

ශම්මි සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ලෙස අද තේරී පත් විය.

ඒ, ක්‍රීඩා අමාත්‍යාංශයේ අද පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණයේදීයි.

මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී ප්‍රධාන තනතුරු 07ක් වෙනුවෙන් 25 දෙනෙකු තරග කළහ.

එහිදී ප්‍රකාශය කළ ඡන්ද ගණන 142 කි.


ෂම්මි වැඩි ඡන්ද 27කින් ක්‍රිකට් ලොකු පුටුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ෂම්මි සිල්වා මහතා වැඩි ඡන්ද 27කින් තේරී පත්වෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී ඊයේ පැවැති අතර එහිදී ශම්මි සිල්වා මහතා ඡන්ද 83 ක් හා ජයන්ත ධර්මදාස මහතා ඡන්ද 56ක් හිමිකර ගත්හ. සභාපති තනතුරට තරග කිරීමට කල් ඇතිව සූදානමින් සිටි මොහාන් ද සිල්වා මහතාගේ නාම යෝජනාව ප්‍රතික්ෂේපවීමෙන් ෂම්මි සිල්වා මහතා සභාපති සටනට පිවිස ජය ගැනීම විශේෂ සිදුවීමකි.

“මේ තනතුර මට මොන දෛවයකින් ලැබුණාද කියා මා දන්නේ නෑ. පෙරේදා සවස තමයි මා තරග කරන බවට අවසන් තීරණයකට අවේ. මොහාන් මහතා තමයි අපේ කණ්ඩායමේ සභාපති ලෙස එන්න හිටියේ. අපගේ ප්‍රතිවාදීන් සමග කිසිදු අමනාපයක් නෑ. ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩ නගන්න තිලංග සුමතිපාල මහතා ගෙන ගිය වැඩ පිළිවෙළ තවත් ශක්තිමත් කොට කණ්ඩායමක් ලෙස ක්‍රියා කිරීම අපේ අරමුණයි. ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා අපක්ෂපාතීව මේ නිලවරණය පැවැත්වීම ගැන විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා” ජයග්‍රහණයෙන් අනතුරුව නව ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා මාධ්‍යවේදීන් හමුවේ පැවැසීය.

විශාල අවධානයක් හා මතභේද රැසකට තුඩුදී තිබූ ක්‍රිකට් නිලවරණය ඉතා සාමකාමීව හා ක්‍රමවත් ලෙස පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු යොදා තිබීම කාගේත් පැසසුමට ලක්ව තිබිණි.

ක්‍රිකට් සභාපති ධුරය සඳහා කේ.මතිවානන්, ශම්මි සිල්වා සහ ජයන්ත ධර්මදාස යන මහත්වරුන් ඉදිරිපත්ව සිටියද අවසන් මොහොතේ මතිවානන් මහතා නාම යෝජනාව ඉල්ලා අස්කර ගෙන උප සභාපති තනතුරට තරග කළේය. එහිදී මතිවානන් මහතා ඡන්ද 80ක් ලබාගත් අතර අනෙක් උප සභාපති තනතුරට රවීන් වික්‍රමරත්න මහතා ඡන්ද 82ක් ගෙන තේරී පත්විය. වික්‍රමරත්න මහතාගේ නාම යෝජනාව කලින් ප්‍රතික්ෂේපවී තිබුණු අතර පෙරේදා පැවැති නඩු විභාගයකින් තරග කිරීමේ අවස්ථාව උදාකර ජය ලැබීම විශේෂ සිදුවීමකි.

එම අධිකරණ තීන්දුව අනුව ලේකම් තනතුරට තරග කිරීමේ අවස්ථාව අවසන් මොහොතේ උදාකරගත් මොහාන් ද සිල්වා මහතා ඡන්ද 96ක් හා නිශාන්ත රණතුංග මහතා ඡන්ද 43ක් ලබා ගැනීමෙන් වැඩි ඡන්ද 53කින් මොහාන් ද සිල්වා මහතා ලේකම් තනතුරට පත්විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් අනුබද්ධ ක්‍රීඩා සමාජවල ඡන්ද 142ක් ඡන්ද ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටියද ඡන්දදායකයන් 140ක් නිලවරණයට පැමිණ සිටියහ. දකුණු පළාත් ක්‍රිකට් සංගමය, ශ‍්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ කළුතර කායවර්ධන කවයට මෙවර ඡන්දය ප‍්‍රකාශ කිරීමේ අවස්ථාව හිමිව නොතිබුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ ඡන්ද ප්‍රතිඵල මෙසේය:

සභාපති (තනතුරු 1යි) - ෂම්මි සිල්වා (ඡන්ද 83), ජයන්ත ධර්මදාස (ඡන්ද 56), කේ. මතිවානන් (ඉල්ලා අස්විය)

උප සභාපති (තනතුරු 2යි) - රවීන් වික්‍රමරත්න (ඡන්ද 82), කේ මතිවානන් (ඡන්ද 80), අර්ජුන රණතුංග (ඡන්ද 72), ෂම්මි සිල්වා (ඉල්ලා අස්විය), ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ (ඉල්ලා අස්විය)

ලේකම් (තනතුරු 1යි) - මොහාන් ද සිල්වා (ඡන්ද 96), නිශාන්ත රණතුංග (ඡන්ද 43), බන්ධුල දිසානායක (ඉල්ලා අස්විය), ෂම්මි සිල්වා (ඉල්ලා අස්විය)

භාණ්ඩාගාරික (තනතුරු 1යි) - ලසන්ත වික්‍රමසිංහ (ඡන්ද 100), ඊස්මන් නාරංගොඩ (ඡන්ද 37), නලීන් වික්‍රමසිංහ (ඡන්ද 0), ෂම්මි සිල්වා (ඉල්ලා අස්විය)

උප ලේකම් (තනතුරු 1යි) - ක්‍රිශාන්ත කපුවත්ත (ඡන්ද 94), හිරන්ත පෙරේරා (ඡන්ද 44), බන්ධුල දිසානායක (ඉල්ලා අස්විය), රවීන් වික්‍රමරත්න (ඉල්ලා අස්විය)

උප භාණ්ඩාගාරික (තනතුරු 1යි) - ලලිත් රඹුක්වැල්ල (ඡන්ද 92), සන්ජය සේදර සෙනරත් (ඡන්ද 42), නලීන් වික්‍රමසිංහ (ඡන්ද 0)

ප්‍රින්ස් ගුණසේකර

නව අදහස දක්වන්න