ජාතික වැඩ පිළිවෙළක් ඕනෑ | දිනමිණ

ජාතික වැඩ පිළිවෙළක් ඕනෑ

 
කුළු­බඩු සංග­මයේ  හිටපු සභා­පති නන්ද කොහොන
 

පසුගිය වසර කුළුබඩු කර්මාන්තයට සුභ කාලයක් වූ බවත්, දින 52 තුළ සිදුවූ කනගාටුදායක තත්ත්වය හේතුවෙන් රුපියල වේගයෙන් අවප්‍රමාණය වීම නිසා අපේක්ෂිත ලාභය ළඟාකර ගැනීමට නොහැකිවූ බවත් ජාතික කුළුබඩු සංගමයේ හිටපු සභාපති නන්ද කොහොන මහතා දිනමිණට පැවසීය.

“රුපියලේ අගය අඩුවී ඩොලරය ඉහළ යනවිට එය අපනයනයට සුභ කාරණයක් බව බොහෝ දෙනෙකුගේ විශ්වාසයයි. නමුත් වැඩිවන ඩොලරයේ නියම ලාභය කුළුබඩු අපනයනකරුවන්ට හිමිනොවීම කනගාටුදායක කරුණක්. මේ තත්ත්වයට වඩාත්ම බලපෑ කුරුඳු නිෂ්පාදනය පසුගිය සමයේ නැව්ගතකිරීමෙන් අනතුරුව ඉහළ ආදායමක් අපේක්ෂා කළද මෙරට සිටින තැරැව්කරුවන් සමඟ සම්බන්ධවී සිටින විදෙස් ගැණුම්කරුවෝ අපගේ මිලට වඩා අඩුමිලකට වෙළෙඳපොළට ‘කුරුඳු’ සැපයීම සඳහා ඇතැම් නියෝජිතයන් යොදවා තිබේ. මේ අයගේ භාණ්ඩ සමඟ තරඟ කිරීමේදී අපේක්ෂිත මිලට වඩා ‘මිල’ පහළ යයි. එසේ තරඟ කිරීමට නොහැකි අවස්ථාවන්හිදී ඔවුන්ගේ උපක්‍රමය වන්නේ අප නැව්ගත කළ නිෂ්පාදනයේ යම් අඩුපාඩු ඇතැයි දක්වා 10%ක් පමණ මිල අඩුකිරීමය. මෙසේ වූ විට කුරුඳු කන්ටේනරයකින් සිදුවන පාඩුව රුපියල් 2000,000 පමණ වෙයි. මෙම තත්ත්වය බො‍හෝ දෙනෙකු කතාබහ නොකරන ඉස්මතු නොවන තත්ත්වයකි.

මීළඟ කාරණය ඩොලරය ඉහළ ගියද දකුණු ඇමරිකාවේ රටවල මුදල් අගය පහළ යාම නිසා ඔවුන්ගේ මිලට ගැනීමේ ප්‍රතිශතය අඩුකොට තිබීමයි. මේ වන විට ඩොලරය 178/= වූ විට වැඩිමිලට අපනයන කිරීමට සූදානම් වූ අයට ගැටලු ඇතිවී තිබේ. මෙලෙස කෙටි කලක් තුළ ඩොලරය උස් පහත් වීම ආනයන, අපනයන දෙපාර්ශ්වයටම ගැටලු ඇති කරයි.

ලෝකයේ කුරුඳු අපනයනයන් 20% පමණ සපයන්නේ අපය. දැනට මෙරට කුරුඳු වගාව 15%ක පමණ වර්ධනය වී තිබේ. කුරුඳු වගාව සඳහා රජයෙන් සිදු කළ දිරිගැන්විය. මීට හේතු වූ බව මගේ විශ්වාසයයි. මෙම කර්මාන්තයේ පවතින ගැටලුව සේවක හිඟයයි. දැනට රජය හඳුන්වාදී ඇති කුරුඳු කර්මාන්තයට අදාළ පාඨමාලාවන් කීපයක්ම පවතී. NVQ මට්ටමේ සහතික ලබාදීමෙන් කර්මාන්තය පිළිබඳ ප්‍රායෝගික හා න්‍යායික දැනුම ලබාදෙන මෙම පාඨමාලාවන් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම යෝග්‍ය වෙයි. කාන්තාවෝ විදෙස් ගතවීම අවම කිරීමට මෙම වෘත්තීය වඩාත් ‍යෝග්‍ය බව අපගේ විශ්වාසයයි.

කුළු බඩු කර්මාන්තයේ උපයන විදෙස් විනිමය වර්ධනය කිරීමට නම් නිෂ්පාදන ඉහළ දැමිය යුතු බවත් අගය එකතු කළ භාණ්ඩ නිෂ්පාදනයට යොමුවීමෙන් වැඩි ලාභයක් උපයාගත හැකි බවත් නන්ද කොහොණ මහතා පවසයි.

මේ සඳහා අත්‍යවශ්‍ය යන්ත්‍ර සූත්‍ර මෙන්ම දැනුම රජයේ මැදිහත්වීමෙන් ලබාදිය හැකිනම් එමගින් වඩාත් උසස් මට්ටමින්නිෂ්පාදනය සිදු කළ හැකියි. එවිට මෙම කර්මාන්තය වඩාත් දියුණු තත්ත්වයක් කරා ළඟාකරගත හැකියි. හෙතෙම වැඩිදුරටත් පවසයි.

“ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශ දැනටත් කර්මාන්ත නඟාසිටුවීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළද එම වැඩසටහන් තවදුරටත් ක්‍රමවත්ව සකස්කිරීම වඩාත් වැදගත්. විශේෂයෙන් මෙම කර්මාන්තයේ දියුණුවට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ලබාගැනීමට රජය මැදිහත්වීම් ලැබේනම් ලංකාවේ එමඟින් ඉහළ තත්ත්වයේ නිෂ්පාදනයක් සිදුකළ හැකියි.”

එසේම අපනයන ක්‍රියාවලිය ඇතැම්විට මහත් සංකිර්ණ කටයුත්තක් බවට පත්වී තිබේ. අපනයන කරුවන්ට අවශ්‍ය ලියකියවිලි එකම වහලක් යටතේ ලබාගැනීමට ක්‍රමවේදයක් ඇතිකළ හැකියි. එයද කර්මාන්තයේ සංවර්ධනයට හේතුවනු ඇත. දැනට පවතින ක්‍රමවේදයට අනුව අපනයනකරුවන්ට තම කාර්ය ඉටුකර ගැනීම සඳහා ස්ථාන කීපයකටම ගමන් කිරීමට සිදුවෙයි.

අනෙක් වැදගත් කරුණ නම් ප්‍රමිති ආයතනය මඟින් ලබාගන්නා තත්ත්ව සහතික අප්‍රමාදව ලබාගැනීමයි. තත්ත්ව පරීක්ෂාව යම් ක්‍රියාවලියක්, යම් කාලයක් ගතවෙන වැඩපිළිවෙළක් වුවත් දැනට ඒ සඳහා ගතවෙන කාලයට වඩා යම් ප්‍රමාණයකින් කඩිනම් කළ හැකියැයි අපගේ විශ්වාසයයි.

රටට ඉහළ අපනයන ආදායම් ලබාදීමට නම් සියලු අංශ මේ සඳහා ශක්තිමත් කළ යුතු බවයි. එවිට කුළුබඩු කර්මාන්තයේ දැනට උපයන ආදායම කීප ගුණයක් වැඩිකළ හැකියි.

 

 චානක දි සිල්වා

නව අදහස දක්වන්න