රටට මඟ පෙන්වූ ඩී.ආර් විජේවර්ධන ශ්‍රීමතාණෝ | දිනමිණ

රටට මඟ පෙන්වූ ඩී.ආර් විජේවර්ධන ශ්‍රීමතාණෝ

දහනව වන සියවස මුල් කාලයේ සිටම මෙරට පුවත්පත් රැසක් සිංහල ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවලින් පළ විය. එම පුවත්පත් විවිධ අරමුණු සහ දේශපාලන මතවාද අනුව පළ වූ පුවත්පත් වූ අතර එසේ ඇරැඹි පුවත්පත්වල පැවැත්මද කෙටි කාලීන විය. යම් තාක් කාලයක් පුවත්පත පැවැතියද එහි පැවැත්ම අසංවිධානාත්මක විය. අනෙක් පසින් එම යුගය වන විට පුවත්පත් කලාව ඇරැඹි තිබුණද පුවත්පත් කලාව සංවිධානාත්මක ව්‍යාපාරයක මුහුණුවර ගෙන නොතිබුණි. එනිසා පුවත්පත් කලාව සමාජයේ ගරුත්වය හිමිකර ගත දෙයක් වුවද එහි දිගුකාලීන පැවැත්ම ගැන සහතිකයක් නොතිබුණි. එහි ප්‍රතිඵලය වුයේ පුවත්පත් පළ වුවද ඒවායේ ප්‍රමිතිය ප්‍රශ්න සහගත වීමය. එවකට පළ වූ ඉංග්‍රීසි පුවත්පත් යම්කිසි ස්ථාවර තත්ත්වයක තිබුණද එය සිංහල පුවත්පත් කලාවට බලපෑවේ නැත. මෙම ක්‍රමය වෙනස් කිරීමට සමත් අයෙකුද එවක සමාජයේ නොසිටි අතර එය විශාල අඩුවක් ලෙස කැපී පෙනුනි.

ඩී. ආර් විජේවර්ධන මහතා වැනි උගත් නව අදහස් ඇති තරුණයන් සමාජයේ කැපී පෙනෙන්නට පටන් ගන්නේ මේ කාලයේදීය. විජේවර්ධන මහතා වැනි තරුණයන් මෙරට ගමන් කළ මාවත වෙනස් කිරීමටත් නව අදහස් ක්‍රියාත්මක කරන්නටත් සැලසුම් කළේද මේ කාලයේදීය. කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ විජයවර්ධන මහතා ගේ සමකාලීනයන් වූයේද ජාතික අරමුණු ඔස්සේ සමාජ වෙනසකට මග සැලසූ ඩී එස් සේනානායක , ෆ්‍රැන්සිස් මොලමුරේ වැනි මහත්වරුය. විජේවර්ධන මහතාමේ අයගේ ඇසුරද තම මතවාදීමය සංවර්ධනය සඳහා විශාල පිටිවහලක් සැලසීය. සේනානායක, මොලමුරේ මහත්වරු ඒ සඳහා සෘජුව දේශපාලනය තෝරා ගත්තද විජයවර්ධන මහතා දේශපාලනයට වෙනුවට තොරා ගත්තේ සමාජයේ මතවාද තැනිය හැකි දේශපාලනයට නිසි මග පෙන්වා දිය හැකි ජනමාධ්‍ය ක්ෂේත්‍රයයි. ශාන්ත තෝමස් විදුහලේ අධ්‍යාපනයෙන් පසුව බ්‍රිතාන්‍ය කේන්බ්‍රිජ් විද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලද ඩී ආර් විජයවර්ධන මහතා යළිත් මෙරටට පැමිණෙන්නේ බැරිස්ටර්වරයකු වශයෙනි. 1912 දී නැවත මෙරටට පැමිණෙන ඔහුට පහසුවෙන්ම නීති අංශයෙන් හෝ තම පිය පාර්ශ්වයේ සාම්ප්‍රදායික ව්‍යාපාර ඉදිරියට ගෙනයාමෙන් පහසු ජීවිතයක් ගත කළ හැකිව තිබුණද විජේවර්ධන මහතා එම පහසු මග තෝරා ගත්තේ නැත. ඒ වන විටත් ඔහුගේ සිත ඇදී ගොස් තිබුණේ මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රය වෙතය. ඔහුගේ එම කැමැත්තට ලොකු තල්ලුවක් ලබා දුන්නේ ඔහුගේ සමීතමයකු වන ඩී. බී ජයතිලක මහතාය.

දිනමිණ පුවත්පත

1909 වර්ෂයේ ආරම්භ වූ දිනමිණ පුවත්පත එම කාලයේ දී මෙරට ජනප්‍රියත්ම පුවත්පතක්ව තිබූ අතර එහි ප්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කළේ එච් එස් පෙරේරා මහතා අතර ඔහුගේ රෝගාතුරු වීම නිසා දිනමිණ පුවත්පත පවත්වාගෙන යාම ගැන ගැටලුවක් මතුව තිබුණි. ඒ තත්ත්වය තුළ විජේවර්ධන මහතා තීරණය කළේ ජනප්‍රිය සහ සමාජයට විශාල සේවයක් කළ දිනමිණ වැනි පුවත්පතක් වැසීයා නොදී එහි කලමණාකාරීත්වය පවරා ගැනීමය. ඒ සමග දිනමිණ පුවත්පතට නව පණක් ලැබුණ අතර එයට තිබූ ජනප්‍රියත්වය දෙගුණ විය. මුල්වරට විධිමත් ලෙස පුවත්පතක් පවත්වාගෙන යාමේ ක්‍රමවේදය හඳුන්වා දුන් විජේවර්ධන මහතා 1917 වන විට සිලනීස් නමින් පැවැති මුද්‍රණාලයක්ද මිලට ගන්නා අතර එහි අරමුණ වූයේ දිනමිණ මූලික කර ගත් පුවත්පත් සමූහයක් ආරම්භ කිරීම වූ අතර එම අරමුණ සඵල කර ගනිමින් 1918 වන විට ඩේලි නිව්ස් පුවත්පත ආරම්භ වන අතර ස්වදේශිකයකු ආරම්භ කළ ඉංග්‍රීසි පුවත්පතක් ලෙස දේශීය මතවාද අදහස් අධිරාජ්‍යවාදීන් වෙත වහණය කිරීමට මෙම පුවත්පත මහා මෙහෙවරක් කළ බව විචාරකයෝ සඳහන් කරති.

නිදහස් සටන නව වටයකින් ආරම්භ කිරීමේ කඩඉමක් ලෙස මෙම අවදිය සඳහන් කළ හැකි අතර අවි නොදරා මතවාදීමය තලයේ නිදහස් සටන දියත් කිරීමට විජේවර්ධන මහතාගේ පුවත්පත් කලාව විශාව සහයක් ලබා දුන්නේය. එවකට විවිධ අන්තවාදී මතවාද ඔස්සේ ජාතික සටන දියත් කිරීමට සමහර බලවේග කටයුතු කළද විජයවර්ධන මහතා තම පුවත්පත් ඔස්සේ පෙරට ගෙන ආවේ මැදහත් සහ අන්තවාදී නොවන ප්‍රගතිශීලී අදහස්ය.ඔහු කිසිදු විටෙක සිංහල ජාතියට සහ ඉංග්‍රීසි ඌරුවට පමණක් ඇළුම් කළ අයකු යැයි සඳහන් කළ නොහැක්කේ ඔහු විසින් තිනකරන් සහ වාරමංජරී යන දෙමළ ප්‍රකාශන පළ කළ නිසාය.1930 වන විට ප්‍රථමවරට සියලු අංශ නියෝජනය කරන සාහිත්‍ය දේශපාලනය ආගමික යන තුන් පාර්ශවයම රැගත් ඉරිදා පුවත්පතක් ලෙස සිළුමිණ පුවත්පත ආරම්භ කරන අතර අවුරුද්දක් ඇතුළත සිළුමිණ මෙරට ජනප්‍රියතම සිංහල සති අන්ත පුවත්පත වූ අතර ශත දහයේ විශ්වවිද්‍යාලය යන විරුදාවලිය ලබන්නට සිළුමිණ සමත් වන්නේ ඩී ආර් විජේවර්ධන මහතා තුළ තිබූ ඉතා උසස් චින්තන සහ සංකල්ප නිසාය.

නිදහස් සටන

විජේවර්ධන මහතා ගේ පුවත්පත් සටන සම්පූර්ණ වන්නේ ඉංග්‍රීසි ජාතිකයකු සතුව තිබූ සිලෝන් ඔබ්සවර් පුවත්පත විජේවර්ධන පුවත්පත් ගොන්නට එක් වීම නිසාය. 1932 පමණ වන විට විජේවර්ධන මහතා සතුව භාෂා තුනෙන්ම පළවන ජනප්‍රියම පුවත්පත් හයක් තිබුණි. එනම් දිනමිණ, සිළුමිණ, තිනකරන්,වාරමංජරි, ඩේලිනිව්ස් සහ සන්ඩේ ඔබ්සවර්ය. මෙම පුවත්පත් සමූහය එක ගොන්නක පුවත්පත් වශයෙන් මෙරට නිදහස් සටනට අවශ්‍ය මාධ්‍ය ශක්තිය ලබා දුන් අතර මෙරට එවකට සිටි හොඳම සාහිත්‍යවේදීන් පුවත්පත් කලාවේදීන් වැඩිම ප්‍රමාණයක් එක්ව සිටි අතර සමාජයට දැනුම ලබා දෙන විශ්වවිද්‍යල පද්ධතියක් බවට මෙම පුවත්පත් පත්ව තිබූ අතර කොළඹ කොටුව ලේක්හවුස් මන්දිරය වෙත මෙම සියලු පුවත්පත් එකට ගොණුව තිබුණි.

විජේවර්ධන මහතා තුළ දේශීයත්වය, අපේකම ගැන විජයවර්ධන දැක්ම කෙතෙක්ද යන්න කොළඹ කොටුවේ ලේක්හවුස් මන්දිරය පරික්ෂාවෙන් සනාථ කර ගත හැකිය. දේශීය කැටයම් දේශීය හැඩතල සහ එහි පසුබිම තුළින් තහවුරු කරගත හැකිය. විජේවර්ධන මහතා බටහිර අධ්‍යාපනය තුළින් ජීවිතය ගොඩනගා ගත්තෙකු වුවද ඔහු කැමැති වුයේ දේශීයත්වය, අපේකමටය. තම මතවාදය නිබඳවම තම පුවත්පත් ඔස්සේ ඉදිරියට ගෙන ගියේය.

මාධ්‍ය අධිරාජ්‍ය

මහා මාධ්‍ය අධිරාජ්‍යක් ගොඩ නගන්නට විජේවර්ධන මහතා කටයුතු කළද ඔහු කිසිදු විටෙක දේශපාලනය වෙත අවතීර්ණ වීමට සිතුවේ නැත. විජේවර්ධන මහතා ගේ මුලික පරමාර්ථය වුයේ දේශීය අදහස් මතවාද සමඟ මෙරට නිදහස් සටන ශක්තිමත් කිරීම සහ ඒ ඇසුරෙන් සාහිත්‍ය ප්‍රබෝධයක් ඇති කිරීමය. 1940 ,1950 දශකවල ඇතිව 60,70 දශක දක්වා පැතිර ගිය සාහිත්‍ය අධ්‍යාපන ප්‍රමෝදයට මූලිකත්වය ලබා දුන් කරුණ වූයේ ලේක්හවුස් පුවත්පත් සමූහය ලෙස හඳුන්වා දීම අතිශයෝක්තියක් නොවේ.සිංහල භාෂාවට ඉහළ තැනක් ලබාදීමත්, මෙරට සමාජයෙන් එතෙක් සැඟව තිබූ දියුණු ලෝකයේ දැනුම තොරතුරු ලබා දීම වැනි කරුණුවලදි විජේවර්ධන මහතාගේ ලේක්හවුස් පුවත්පත් සමූහය විශාල කාර්යයක් ඉටුකළේය. හෙතෙම තුළ තිබූ විශ්වාසය වූයේ නිදහස් ජාතියක් යනු සැම අතින්ම දැනුම්වත් වූ පිරිසක් විය යුතුය යන්නයි. ඔහු ඒ සඳහා උපයෝගී කරගත් මාර්ගය වූයේ පුවත්පත් කලාවයි.

මුදල් ඉපැයීම පමණක් අරමුණු කර නොගත් නිසා පුවත්පත් කලාව තෝරාගත් ඩී. ආර් විජේවර්ධන මහතා පුවත්පත් කලාවට වෘත්තීයභාවයක් සහ කර්මාන්තයක් බවට පත්කිරීමට කටයුතු කළේ යැයි සඳහන් කිරීම වඩාත් උචිතය. අද මෙරට පුවත්පත් කලාව යම් ඉහළ ප්‍රමිතියකින් තිබේ නම් කර්මාන්තයක් ලෙස ගොඩ නැගී තිබේ නම් එහි නිර්මාතෘවරයා වන්නේ ඩී. ආර් විජේවර්ධන මහතාය.

සටන් ඉතිහාසය

විජේවර්ධන මහතා ව්‍යාපාරයක් වශයෙන් පුවත්පත් කර්මාන්තයට සවියක් ලබා දීමෙන් නොනැවතී ලේක්හවුස් ආයතනයේ සේවය කරන මාධ්‍යවේදීන් සේවකයන් ඇතුළු සැම තරාතිරමකම සේවකයකුගේ සුබසාධනය කෙරෙහි අවධානය යොමු කළේය. විජේවර්ධනයන් මානව සම්පත නිසි ලෙස කළමනාකරණය කළ නායකයකු බවට මෙය හොඳම නිදර්ශනයකි.

බොහෝ විට විජයවර්ධන මහතා ගැන අවධානය යොමුකරන බොහෝ අය සිතන්නේ ඔහු පුවත්පත් කලාවටම සියල්ල සීමා කරගත්තෙකු බවය. එහෙත් ඔහුට ඉන් එහා ගිය සටන් ඉතිහාසයක්ද තිබේ. එනම් ලංකා විශ්වවිද්‍යාලය පේරාදෙණිය ප්‍රදේශයේ පිහිටුවන සටනයි. එවකට බහුතරයක සහාය තිබුණේ ලංකා විශ්වවිද්‍යාලය පේරාදෙණියේ පිහිටුවිය යුතු බවට මතයයි. එම මතය පිළිගත් විජේවර්ධන මහතා තම සමාජ බලය හා මාධ්‍ය බලය ද යොදා ගනිමින් මේ සටනට සහාය ලබා දුන් අතර එහි ප්‍රතිඵලයක් ලෙස ලංකා විශ්වවිද්‍යාලය පේරාදෙණියේ රමණීය භූමියක ස්ථාපිත කෙරුණි. විජේවර්ධන මහතා නිතරම සාධාරණ සහ ප්‍රගතිශීලී සටන්වලදී හොඳ සටන් කරුවකු වූ බවට මෙය එක් උදාහරණයක් පමණි.

ඩී ආර් විජේවර්ධන මහතා බිහිකළ පුවත්පත් සමූහය සහ ඔහු ගොඩනැගූ ලේක්හවුස් මන්දිරය අදත් නොසැලී සිටින අතර විජේවර්ධන නාමය සදාකාලික වන්නේ මෙම පුවත්පත් සමූහය ලේක්හවුස් මන්දිරය පමණක් නොව විජේවර්ධන ශ්‍රීමතාණන්ගේ ප්‍රතිපත්ති හා දර්ශනය පෙරට රැගෙන යාමය.

උදිත ගුණවර්ධන


නව අදහස දක්වන්න