තිරසර සනීපාරක්ෂක විසඳුම්: කලාපීය සමුළුව අද සිට කොළඹදී | දිනමිණ

තිරසර සනීපාරක්ෂක විසඳුම්: කලාපීය සමුළුව අද සිට කොළඹදී

තිරසර සංවර්ධන ඉලක්කය ලෙස 2030 වන විට සැමට ආරක්ෂිත පානීය ජලය ලබාදීම හා සැමට සනීපාරක්ෂාව තහවුරු කිරීම ප්‍රකාශයට පත්කොට තිබේ. සනීපාරක්ෂාව යනු යහපත් සෞඛ්‍යය යහපත් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය වටපිටාව සකස්වීමයි. මේ සඳහා පිරිසිදු ජල සම්පාදනය, පෞද්ගලික පිරිසිදුකම , නිසි ප්‍රමිතියට අනුකූලව සකස් කරන ලද වැසිකිළි භාවිතය, භූගත ජලය අපවිත්‍ර නොවන සේ අපජලය බැහැර කිරීම, පරිසර හිතකාමී ලෙස කසළ බැහැර කිරීම යන ක්ෂේත්‍ර අයත් වේ. දැනට ශ්‍රී ලංකාව සනීපාරක්ෂක ආවරණ ප්‍රතිශතය සමස්ත ජනගහනයෙන් 97% කි. තිරසර සංවර්ධන ඉලක්ක ළඟා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග රැසක් හඳුනාගෙන තිබේ. එනම් නිසි ප්‍රමිතියකින් තොරව අපජලය බැහැර කිරීම නිසා පරිසරය හා භූගත ජලය අපවිත්‍රවීම තෙත් කලාප හා ජනාකීර්ණ ප්‍රදේශවල වැසිකිළි වළවල් උතුරා යාම නිසා භූගත ජලය අපිරිසිදුවීම, එම අපජලය පරිසරයට හානිදායක ලෙස බැහැර කිරීම, කසළ බැහැර කිරීමේ නිසි ක්‍රමවේද නොමැතිකම ආදිය ඉන් ප්‍රධාන වේ. මේ ගැටලු හුදෙක් ශ්‍රී ලංකාවට පමණක් නොව දකුණු ආසියානු කලාපය මුහුණ දෙන අභියෝග බවට පත් වී ඇති බැවින් ඒවාට විසඳුම් සෙවීම සඳහා දකුණු ආසියානු සනීපාරක්ෂක සමුළුව (SACOSAN Conference) පැවැත්වීම සිදු කෙරේ. මෙය සෑම වසර 2කට වරක් සාමාජික රටකදී පැවැත්වෙන අතර සනීපාරක්ෂක ක්ෂේත්‍රයේ ගැටලුවලට විසඳුම් සෙවීම, සාර්ථක වූ අත්දැකීම්, ක්‍රමවේද බෙදාගැනීම, රටවල ඉහළ මට්ටමේ දේශපාලන අවධානය සනීපාරක්ෂක ක්ෂේත්‍රය දෙස යොමු කරවීම මේ සමුළුව පැවැත්වීමේ අරමුණ වේ. SACOSAN සමුළුව 2011 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ඉතා සාර්ථක ලෙස පවත්වන ලද අතර එහිදි සාමාජික රටවල ඇමැතිවරුන් විසින් කොළඹ ප්‍රකාශනයට අත්සන් තබන ලදී. එතැන් පටන් ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂක ක්ෂේත්‍රය පිළිබඳව අවධානය යොමු වු අතර විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමෙන් දියුණුවක් අත්කර ගන්නා ලදී.

බංග්ලාදේශයේ ඩකා නුවර පැවති 6 වන සනීපාරක්ෂාව පිළිබඳ දකුණු ආසියාතික සමුළුවේදී ශ්‍රී ලංකා රජය එළඹි එකඟතාවකට අනූව නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට අනුබද්ධිතව කලාපීය සනීපාරක්ෂක මධ්‍යස්ථානය පිහිටුවා තිබේ. දකුණු ආසියානු කලාපයේ ඉගෙනුම් හා සම්පත් මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කිරීම හා සනීපාරක්ෂාව පිළිබඳ පර්යේෂණ සිදු කිරීම හා සාර්ථක වූ ප්‍රා යෝගික ක්‍රියා කලාපය තුළ ප්‍රචලිත කිරීම මේ මධ්‍යස්ථානයේ කාර්යභාරය වේ. එම පෙළඹවීම ඇති කිරීම සඳහා කලාපීය මධ්‍යස්ථානය විසින් ගනු ලැබු එක් ක්‍රියාකාරකමක් ලෙස මේ තිරසර සනීපාරක්ෂක විසඳුම් (3S) සමුළුව සංවිධාන කිරීම හැඳින්විය හැකිය. කලාපීය පාර්ශ්වකරුවන්ගේ සහයෝගීතාව ඇතිව මේ සමුළුව අද (21) සිට 23 වැනි දින දක්වා කොළඹදී පවත්වනු ලබයි. මේ සමුළුව දකුණු ආසියානු කලාපීය රටවල රාජ්‍ය නිලධාරීන්ට විද්වතුන්ට හා සනීපාරක්ෂක ක්ෂේත්‍රයේ කටයුතු කරන පාර්ශ්වයන්ට සනීපාරක්ෂක ක්ෂේත්‍රයේ මඟ පෙන්වීම් සාර්ථක කිරීම හා තිරසාර විසඳුම් පිළිබඳ දැනුම බෙදාහදා ගැනීමට වේදිකාවක් වනු ඇත. කලාපයේ සනීපාරක්ෂාව පිළිබඳ හඳුනාගත් ගැටලුවලට පිළියම් යෙදීමෙන් SACOSAN ක්‍රියාවලියේ එකඟතාවන් ක්‍රියාවට නැංවීම ද සිදුවනු ඇත. සමුළුවේ සමාරම්භක උත්සවය නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන ඇමැති රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් අද(21) ආරම්භ වන අතර තාක්ෂණික සැසිවාර 21,22,23 දිනවල පැවැත්වේ. මෙය දකුණු ආසියානු රටවල නියෝජිතයන් ඇතුළුව 100ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ. පහත තේමා 4 ඔස්සේ තාක්ෂණික සැසි වාර පැවැත්වෙන අතර, එහිදී විද්වතුන් සිදු කරන ලද පර්යේෂණ පිළිබඳව ඉදිරිපත් කිරීම සිදු කරනු ලබයි.

සනීපාරක්ෂක ක්ෂේත්‍රයේ ප්‍රතිපත්ති මාර්ගෝපදේශ හා වැඩසටහන් සම්පාදනය, මෙහෙයුම් හා වාර්තාකරණය ඔස්සේ රාජ්‍ය මැදිහත්වීම ඉහළ නැංවීම.

අප ජලය කළමනාකරණය සඳහා විසඳුම් සෙවීම.

C පාරිසරික හා දේශගුණික විපර්යාසවලට විසඳුම් සෙවීම.

D සෞඛ්‍ය සම්පන්න කලාපයක් කරා ප්‍රවේශ වීම‍.

A සනීපාරක්ෂාව මිනිසාගේ දිළිඳුකම තුරන් කිරීමේ අත්‍යවඹ්‍ය අංගයක් ද මහජන සෞඛ්‍යයට පාදක වන්නා වූ මූලික සේවාවක් ලෙස ද යහපාලනයේ වැදගත් කොට සැලකිය යුතුය. මේ සඳහා අවශ්‍ය මූල්‍ය සම්පත් සම්පාදනය කිරීම හා ශක්තිමත් වූ මෙහෙයුම් යාන්ත්‍රණයක් සකස් කිරීමට ප්‍රතිපත්තිමය වශයෙන් ප්‍රමුඛතාව ලබා දිය යුතුය. මේ සඳහා ජාතික හා ගෝලීය වශයෙන් ඉලක්ක ළඟා කර ගැනීමට සැලසුම් සකස් කිරීම රජයේ අවශ්‍යතාවකි.

B ග්‍රාමීය හා නාගරික වශයෙන් ඒකාබද්ධ සනීපාරක්ෂක සේවා ඇති කරලීම සඳහා මූලික වශයෙන් ශක්‍යතාව ඇති නවීන ක්‍රම හඳුනා ගැනීම මේ සැසියේ අරමුණ වේ. මේ සඳහා (තාක්ෂණික පරිණත බව) කළමනාකාරිත්වයෙන් මඟ පෙන්වීමෙන් සැලසුම්කරණය, සම්බන්ධීකරණය හා ක්‍රියාත්මක කිරීම වැදගත් වේ. මේ සැසිය යටතේ කලාපයේ විද්වතුන් විසින් ඉදිරිපත් කරනු ලබන අපජල කළමනාකරණය පිළිබඳව සාර්ථක වූ අත්හදා බැලීම්, නව තිරසාර වූ විසඳුම් හා අභියෝග ජය ගැනීම සඳහා යෝජිත ව්‍යාපාරික ආදර්ශ මගින් කළමනාකාරිත්වයේ මඟ පෙන්වීම් සැලසුම්කරණය හා ක්‍රියාවට නැංවීම සඳහා ඉවහල් වනු ඇත.

C ජල මූලාශ්‍ර අපවිත්‍රවීම වැළැක්වීමෙන් සෞඛ්‍යය ආරක්ෂිත ලෙස අපද්‍රව්‍ය බැහැර කිරීම පරිසර කළමනාකරණයේ මූලික අංගයකි. ආරක්ෂිතව මල ද්‍රව්‍ය බැහැර නොකිරීම පරිසරයේ තිරසරභාවයට පමණක් නොව ජෛව පද්ධතියේම පැවැත්මට බලපෑමක් විය හැක. නියමිත ප්‍රමිතියෙන් තොරව වැසිකිළි හා පූතික ටැංකි ඉදිකිරීමේ ප්‍රතිඵලයක් ලෙස භූගත ජලය අපවිත්‍රවීම සිදුවේ. දේශගුණික විපර්යාස නිසා ගංවතුර, නියං නායයාම් ආදී අපද්‍රව්‍යවලදී පළමුව බලපාන තීරණාත්මක සාධකය වන්නේ පානීය ජලය හා සනීපාරක්ෂාව බිඳවැටීමයි. දේශගුණික විපර්යාසවලට අනූව අපද්‍රව්‍යය කළමනාකරණයට හා හදිසි අවස්ථාවලට මුහුණදීම සඳහා වඩාත් ප්‍රායෝගික විසඳුම් හඳුනාගත යුතුය.

D පසුගිය වසර 15 තුළදී දකුණු ආසියානු රටවල රජයන් විසින් ජලය, සනීපාරක්ෂාව හා ස්වස්ථතාව යන ක්ෂේත්‍රයේ ජාතික ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී හා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමේදී ප්‍රමුඛතාව ලබාදීම නිසා එම ක්ෂේත්‍රයේ සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගත් අතරම ජීවන තත්ත්වයේ ඉහළ නැගීමක් ද සිදුවිය. ශ්‍රී ලංකාවේ සහස්‍ර සංවර්ධන ඉලක්ක ජය ගැනීම හා තිරසර සංවර්ධන ඉලක්කවලට ළඟාවීම කෙරෙහි දැක්වූ දායකත්වය නිසා ගෝලීය වශයෙන් පැසසුමට ලක්වීය. කෙසේ වුවත් තවදුරටත් සනීපාරක්ෂක ක්ෂේත්‍රය වැඩි දියුණු කිරීම කලාපයේ ප්‍රධාන අභියෝගයක් වී ඇති බැවින්, ඒ සඳහා නොනවතින ක්‍රියාදාමයන්ට පිවිසීම අත්‍යවශ්‍ය කරුණකි.

මෙසේ විවිධ ක්ෂේත්‍ර 4ක් ඔස්සේ පර්යේෂණ වාර්තා ඉදිරිපත් කිරීම සාකච්ඡාමය සංවාද හා සාර්ථක වූ අත්හදා බැලීම සනීපාරක්ෂක ක්ෂේත්‍රයේ විද්වතුන්, විශේෂඥයන්, කළමනාකරණ හා ව්‍යාපෘති ක්‍රියාවට නංවන්නන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන අතර අවසාන එකඟතාවන්ට අනූව ලියවිල්ලක් ප්‍රකාශයට පත් කිරීම ද සිදු කෙරේ.

නව අදහස දක්වන්න