දකුණු අප්‍රිකා පළමු ඉනිම 222යි | දිනමිණ

දකුණු අප්‍රිකා පළමු ඉනිම 222යි

ශ්‍රී ලංකාව 60/3යි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග ඊයේ පෝර්ට් එලිසබෙත්හි ශාන්ත ජෝන් පාක් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් සත්කාරක දකුණු අප්‍රිකානු පළමු ඉනිම ලකුණු 222කට සීමා විය.

ඊයේ පළමු දිනයට ක්‍රීඩාව නතර කරනවිට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා පිල කඩුලු 3ක් දැවී ලකුණු 60ක් රැස්කරගෙන සිටියේ කඩුලු 7ක් අතැතිව දකුණු අප්‍රිකානු පළමු ඉනිමට වඩා තවත් ලකුණු 162ක් පසුපසින් සිටිමිනි.

ළහිරු තිරිමාන්න ලකුණු 25ක් සහ සැදෑආරක්ෂකයා ලෙස පිටියට පිවිසි කසුන් රාජිත ලකුණු නොලබා නොදැවී කඩුල්ලේ රැදි සිටියහ.

මුළු ලකුණු 25ක් වෙද්දී ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමේ පළමු කඩුල්ල ලෙස නායක දිමුත් කරුණාරත්න ලකුණු 17කට දැවී ගියේ රබාඩාගේ පන්දුවක් හමුවේ ඩි කොක් උඩ පන්දුවක් රැක ගැනීමෙනි. අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි ඕෂද ප්‍රනාන්දු ලකුණු ලබාගැනීමට පෙර රබාඩාගේ පන්දුවක් හමුවේ ඩි කොක් උඩ පන්දුක් රැක ගත් බවට දකුණු අප්‍රිකානුවෝ ඉල්ලීමක් කළත් පිටියේ විනිසුරු එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තෙවැනි විනිසුරුගේ සහාය පැතීමට ඩු ප්ලෙසි කටයුතු කළේය. එහෙත් තෙවැනි විනිසුරුගේ තීරණයත් එයම වීමෙන් දකුණු අප්‍රිකාවට විනිසුරු තීරණ විමසීමේ අවස්ථාවක් අහිමිවිය. එහෙත් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට තවත් ලකුණු 9ක් එක්වෙද්දී ඩුආන් ඔලිවර්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ඕෂදට ලකුණු ලබාගැනීමට පෙර යළි ක්‍රීඩාගාරයට යෑමට සිදුවිය.

මේ සංචාරයේදී යළිත් වරක් අසාර්ථක වූ කුසල් මෙන්ඩිස්ට ඊයේ ලබාගත හැකිවූයේ ලකුණු 16ක් පමණි. ඔලිවර්ගේ පන්දුවක් හමුවේ තෙවැනි කඩුල්ල ලෙස ඔහු දැවී යනවිට මුළු ලකුණු සංඛ්‍යාව 59ක් විය.

පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාවට එරෙහිව සාර්ථක ආරම්භයක් ලබාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූයේ ලකුණු 15ක් තුළ කඩුලු 3ක් බිඳ දමමිනි.

විශ්ව ප්‍රනාන්දු යැවූ තරගයේ 6 වැනි ඕවරෙය් පිට පිට පන්දු 2කින් දකුණු අප්‍රිකාවට කඩුලු 2ක් අහිමි විය. එම ඕවරයේ තෙවැනි පන්දුවෙන් ලකුණු 6ක් ලබාසිටි ආරම්භක පිතිකරු ඩීන් එල්ගාර් දැවී ගිය අතර මුහුණදුන් පළමු පන්දුවෙන් ජ්‍යෙෂ්ඨ පිතිකරු හසීම් අම්ලා යළි ක්‍රීඩාගාරයට හරවා යැවීමට විශ්වට හැකිවිය. ලකුණු පුවරුව ක්‍රියාත්මක වීමටත් පෙර ඊළඟ ඕවරයෙන් දකුණු අප්‍රිකාවට තෙවැනි කඩුල්ල අහිමිවූයේ ටෙම්බා බවුමා (0) දුවද්දි දැවී යෑමට හසුවීමෙනි. අනතුරුව ආරම්භක පිතිකරු ඒඩ්න් මාක්‍රාම් සමග එක්වූ නායක ෆෆ් ඩු ප්ලෙසි මුළු ලකුණු සංඛ්‍යව 73 දක්වා ඉදිරියට ගෙන ගිය අතර දිවා විවේකයට පෙර යැවූ අවසන් ඕවරයේ එම සබඳතාව (58) නිමා කිරීමට නායක දිමුත් කරුණාරත්නට හැකිවිය. පන්දු 60කදී හතරේ පහර 2ක් සමගින් ලකුණු 25ක් ලබාසිටි ඩු ප්ලෙසි පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේ දිමුත් කරුණාරත්නගේ දෙවැනි ටෙස්ට් කඩුල්ල ලෙසිනි. ඒ සමග දිවා විවේකය සඳහා තරගය නතර කෙරිණි.

මාක්‍රාම් සමග 5 වැනි කඩුල්ලට එක්වූ කුවින්ටන් ඩි කොක් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙමින් පන්දු 87කින් ලකුණු 86ක් රැස් කළේ හතරේ පහර 12ක් සමගිනි. ඔහු ඉනිමේ 8 වැනි කඩුල්ල ලෙස දැවී යනවිට මුළු ලකුණු සංඛ්‍යාව 216ක් විය. ඉන් පෙර බිඳ වැටුණු කඩුලු 3 ම කසුන් රාජිතගේ නම ඉදිරියේ සටහන් විය. 5 වැනි කඩුල්ල ලෙස ලකුණු 60ක් ලබාසිටි මාක්‍රාම් දැවී ගිය අතර මංගල තරගයට එක්වූ වියාන් මුල්ඩර් (9) 6 වැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය. ඔවුන් දෙදෙනා කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවු අතර 7 වැනි කඩුල්ල ලෙස කේෂව් මහාරාජ් (0) දැවී ගියේ නිරෝෂන් දික්වැල්ල උඩ පන්දුවක් රැක ගැනීමෙනි. ඩි කොක් සමග එක්ව ඉනිමේ ඉහළම සබඳතාව (59) ගොඩනැගු කගීසෝ රබාඩා ඒ අතරතුර දැවී යෑම් දෙකකින් බේරීමට වාසනාව උදාකර ගත්තේය. මුළු ලකුණු 221දී ධනංජය ද සිල්වාගේ පන්දුවක් හමුවේ දික්වැල්ල උඩ පන්දුවක් රැක ගැනීමෙන් දැවී යනවිට ලකුණු 22ක් රැස්කර තිබිණි. ඔහු ලකුණු 4 දී ලබාදුන් උඩ පන්දුව ධනංජය අතින් ගිලිහී ගිය අතර ලකුණු 8ක් ලබාසිටියදී පන්දු යැවූ ලසිත් ඇඹුල්දෙණිය අතින් අනෙක් උඩ පන්දුව ගිලිහී ගිය අතර එම පන්දුව වැදීමෙන් ඇඹුල්දෙණියගේ අත තුවාල වීම හේතුවෙන් ඉන්පසු ඔහුට පන්දු යැවීමට නොහැකි විය. එම ඕවර සම්පූර්ණ කළේ දිමුත් කරුණාරත්න විසිනි. ඩුආන් ඔලිවර්, විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ දැවී යෑමත් සමග ඉනිම ලකුණු 222කට සීමා විය.

පළමු තරගයට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගයටත් එක්කර තිබූ අතර ආබාධයකට ලක්වූ වර්නන් ෆිලෙන්ඩර් වෙනුවට දකුණු අප්‍රිකාව වෙනුවෙන් වියාන් මුල්ඩර් ඊයේ මංගල ටෙස්ට් වරම් ලබා ගත්තේය.

අද තරගයේ දෙවැනි දිනයයි.


නව අදහස දක්වන්න