නිල් මහ සටනට ඩයලොග් සවිය චමිල කරවිට | දිනමිණ

නිල් මහ සටනට ඩයලොග් සවිය චමිල කරවිට

ඩයලොග් ආසිආටා සමූහ ප්‍රධාන අලෙවි නිලධාරිනී අමලි නානායක්කාර මහත්මිය විසින් අනුග්‍රාහක චෙක්පත දෙවිදුහල්වල විදුහල්පතිවරුන් වන බී. ඒ. අබේරත්න මහතා සහ මාර්ක් බිලිමොරියා පියතුමා වෙත පිරිනැමන ලද අවස්ථාව. කණ්ඩායම් නායකයන් දෙපළද මෙහි වෙති. ඡායාරූපය සුලෝචන ගමගේ

මෙරට ක්‍රියාත්මක විද්‍යාලාන්තර මහ ක්‍රිකට් තරග අතර ප්‍රමුඛතම තරගයක් ලෙසින් සැලකෙන කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල අතර 140 වැනි වරටත් පැවැත්වෙන ‘නිල් මහ සටන‘ මහ ක්‍රිකට් තරගයට අඛණ්ඩව පස්වැනි වරටත් අනුග්‍රාහකත්වය දැක්වීමට ඩයලොග් ආසිආටා ආයතනය ඉදිරිපත් වී සිටියි.

ඩී. එස්. සේනානායක අනුස්මරණ කුසලාන වෙනුවෙන් පැවැත්වෙන මෙම මහ තරගය ලබන මාර්තු මස 07 වැනිදා සිට 09 වැනිදා දක්වා මෙතෙක් පැවැති සම්ප්‍රදායන්ට අනුගත වෙමින් කොළඹ, එස්. එස්. සී. පිටියේදී පැවැත්වේ.

ලොව අඛණ්ඩව පැවැත්වෙන මහ ක්‍රිකට් තරග අතර දෙවැනි දීර්ඝතම ඉතිහාසයකට හිමිකම් කියන නිල් මහ සටන දෙවැනි වන්නේ මෙම මහ තරගයේ මංගල තරගයට වසරකට පෙර අරඹා තිබෙන ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්හි ශාන්තපීතර සහ ඇල්ෆ්‍රඩ් කුමර විදුහල අතර මහ තරගයට පමණි. ගෙවුණු ඉතිහාසය තුළ 35 වතාවක් රාජකීයන් ජයග්‍රහණ කරද්දී ශාන්ත තෝමසුවන් අවස්ථා 34 කදී ජයග්‍රහණ අත්කරගෙන තිබේ.

අදාළ අනුග්‍රාහකත්වය පිරිනැමීම පිළිබඳ මාධ්‍ය හමුවක් පෙරේදා රාජකීය විදුහලේ විදහල්පති බී. ඒ. අබේරත්න මහතා සහ ශාන්ත තෝමස් විදුහලේ පාලක වන මාර්ක් බිලිමොරියා පියතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එම අවස්ථාවේදී අනුග්‍රාහක චෙක්පත් ඩයලොග් ආසිආටා සමූහ ප්‍රධාන අලෙවි නිලධාරිනී අමලි නානායක්කාර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පිරිනැමිණි.

අනුග්‍රාහකත්වය සපයන ඩයලොග් ආසිආටා ආයතනය මෙම තරගයේදී ක්‍රීඩකයින් ලබාගන්නා සෑම ලකුණක් සඳහා රු. 1000 බැගින් ද, සෑම කඩුල්ලක් සඳහා රු. 10,000 බැගින්ද පිරිනැමීමට කටයුදු කරයි. ඒ අනුව ඉකුත් වසරේ තරගයට පමණක් රුපියල් දශලක්ෂ දහ අටදාහක් (1,018,000) මුදලක් ලබා දී තිබේ.

මෙවර මහ තරගයේදීද දුවද්දී දැවී යෑම් සහ ස්ටම්ප් කිරීම් සඳහා රූපවාහිනිය උපයෝගී කර ගනිමින් තෙවැනි විනිසුරුගේ සහාය ලබාගැනීමට නියමිතය.


නව අදහස දක්වන්න