කුරු මිනිසුන් දෙදෙනෙක් මහවිලච්චියට ඇවිත් | දිනමිණ

කුරු මිනිසුන් දෙදෙනෙක් මහවිලච්චියට ඇවිත්

අනුරාධපුර මධ්‍යම විශේෂ

අම්පාර ප්‍රදේශයේ ගොවි ගම්මානයකට රාත්‍රී කාලයේ කඩා වැදුණු බව කියන පිටසක්වල ජීවින් බව කියන කුරු මිනිසුන් දෙදෙනෙකු මහවිලච්චිය පොලිස් වසමේ ස්ථාන කිහිපයකට පෙරේදා (20) සවස් කාලයේ පැමිණ තිබෙන බවත් කුරු මිනිසෙකු එල්ල කළ ප්‍රහාරයකින් ප්‍රදේශයේ තරුණ කාන්තාවක් තුවාල ලබා තිබෙන බවත් පවසමින් ගොවියෙක් මහවිලච්චිය පොලිසියට දුරකථනය මගින් දන්වා ඇත. මහවිලච්චිය පොලිස් වසමේ තන්තිරිමලය හන්දිය හැලඹවැව ලිපිනයේ පදිංචි 72 හැවිරිදි කේ.ජයසේන මහතා විසින් පොලිසියට ඒ පිළිබඳව දන්වා තිබෙන අතර වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරින් නීට්ටෑවන් බවට සැකකරන කුරු මිනිසුන් පැමිණ ඇත්ද යන්න සම්බන්ධයෙන් සොයා ගැනීම සඳහා ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් සිදුකර ඇතත් එවැනි කිසිදු පුද්ගලයෙකු හමුනොවුණු බව පැවසීය.

පෙරේදා (20) සවස හයයි තිහට පමණ මහවිලච්චිය අලිවංගුව ඇත්දත්කල්ල ප්‍රදේශයේ නිවසකට (නීට්ටෑවන්) කුරු මිනිසුන් දෙදෙනෙකු පැමිණ තිබෙන අතර එම නිවසේ පිළිකන්නේ සිටි කාන්තාවගේ අතක් සුරා තුවාල සිදුකර ඔවුන් පලාගොස් ඇති බව ගම්වැසියෝ පැවසූහ.ඊට අමතරව ඔයා මඩුව හැළඹවැව ප්‍රදේශවල කෑලැබද කුඹුරු හා හේන් හරහා කුරු මිනිසුන් ගමන් කරන අයුරු ගොවියන් පිරිසක් දැක තිබෙන බවත් එම සිද්ධීන් දුටු පිරිස් එක්වරම සිහිසුන්වී ඇති බවද දැනගන්නට ලැබී ඇත.

මේ සම්බන්ධයෙන් හැලඹවැව තන්තිරිමලය හන්දිය පදිංචි කාන්තාවක් මෙසේ පැවසුවාය.කුරු මිනිසුන් දෙදෙනෙකු අලිවංගුව ප්‍රදේශයේ සැරිසරනවා කියලා දැන ගන්න ලැබුණා.ඒ සිද්ධියත් එක්ක මේ පළාතේ බොහෝ දෙනෙකු බියට පත්වෙලා ඉන්නේ.පෙරේදා (20) නිවසේ රෙදි වැල ආසන්නයේ සිටි කාන්තාවකට කුරු මිනිසෙකු හමුවෙලා ඇයව හූරලා පලාගිහින් තියෙනවා.එක මනුස්සයෙකු අඩි දෙකක් විතර උසයිලු.

 

නව අදහස දක්වන්න