අපනයනයට මුල්තැන දෙන වැඩසටහනක් ඇරැඹුවා | දිනමිණ

අපනයනයට මුල්තැන දෙන වැඩසටහනක් ඇරැඹුවා

ණය උගුලෙන් මිදීම සඳහා අපනයනයට මුල්තැන දෙන ශීඝ්‍ර ආර්ථිකය ක්‍රමයක් ඇති කිරීමේ වැඩසටහනක් වත්මන් රජය ක්‍රියාත්මක කර ඇති බවත් ඒ හරහා අපනයන ගම්මාන හා ආයෝජන ප්‍රවර්ධන කලාප ඉදිකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

වසර 30ක යුද්ධය අවසන් කර රට සංවර්ධනය කිරීම වෙනුවට පසුගිය රජය විසින් අවිදිමත් ලෙස ණය ගෙන බංකොලොත් රටක් බවට පත්කළ බවත් සටන් පාඨ දේශපාලනයෙන් මිදී සංවර්ධනය සඳහා සියල්ලන්ම කැපවිය යුතු බව අගමැතිවරයා වැඩි දුරටත් පැවැසීය.

ජේ. ආර්. ජයවර්ධන මහතා යුද්ධය පැවැති 1978 කාලයේ රට දියුණු කළ බවත්, ප්‍රේමදාස ජනාධිපතිවරයා රට පුරා ඇගළුම් කර්මාන්ත 200ක් ඇතුළු අනෙකුත් කර්මාන්ත ඉදි කළ බව පැවැසූ අගමැතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ රට සංවර්ධනය නොකිරීම සඳහා යුද්ධය හේතුවක් කරගත් බවයි.

මේ ණය බර නිසා රට ජාත්‍යන්තරය ඉදිරියේ කොන්වී 2014 වර්ෂයේ දී ණය ගෙවීමට නොහැකිව කඩා වැටුණු ආර්ථිකයක් වත්මන් ආණ්ඩුව භාරගෙන ගත වූ වසර හතර තුළ රටේ ආර්ථිකයේ ස්ථාවර බවක් ඇති කර ණය බර ණය ගෙවීමේ අඩිතාලම දමා ඇති බව අගමැතිවරයා වැඩි දුරටත් පැවැසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසුවේ පසුගිය දා (11) බණ්ඩාරගම පොදු වෙළෙඳ සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

බණ්ඩාරගම පොදු වෙළෙඳ සංකීර්ණය රුපියල් මිලියන 212ක ආයෝජනයකින් ඉදිකරන ලද අතර, මෙහි කඩ කාමර 24ක් සහ බිම් මහල ද ඇතුළුව මහල් 03 කින් සමන්විතය. මෙහි දෙවැනි සහ තෙවැනි මහල් කාර්යාල පහසුකම් හෝ වාණිජ කටයුතු සඳහා කුලී පදනම යටතේ ලබාදීමට නියමිතය.

එහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ වික්‍රමසිංහ මහතා,

අද බණ්ඩාරගම පොදු වෙළෙඳ පොළ විවෘත කළා. මේ නාගරික සංවර්ධන ව්‍යාපෘති රට පුරා ක්‍රියාත්මක කරන්නේ මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතායි.

රටක් දියුණු වනවා නම් රටේ නාගරීකරණය සිදුවිය යුතුයි. එම වැඩ කටයුක්ත බස්නාහිර පළාතෙන් පාඨලී ඇමැතිවරයා ආරම්භ කර තිබෙනවා. මේ ප්‍රදේශයේත් මේ වගේ ගොඩනැඟිලි කීපයක් තිබෙනවා විවෘත කරන්න. ඔබේ මේ ප්‍රදේශයේ සංවර්ධනයේ නියමුවා වන්නේ අජිත් පී. පෙරේරා මහතායි. එතුමා බණ්ඩාරගම ප්‍රදේශයට විශාල සේවාවක් කර තිබෙනවා. අපිට පේනවා මේ ප්‍රදේශයේ වෙනස 2015 සිට අද දක්වා. අපි මේ ප්‍රදේශයට ඉස්සර එනකොට එවකට හිටපු රාධා සමරනායක මහතා සමඟ එකතුවෙලා බණ්ඩාරගමට පහසුකම් ලබා දුන්නා. අද අජිත් පෙරේරා මන්ත්‍රීවරයා බණ්ඩාරගම නගරයක් බවට පත්කර තිබෙනවා. ඒ වගේම අපි එතුමාට තවත් වගකීමක් පවරලා තිබෙනවා ඩිජිටල් තාක්ෂණය රටට හඳුන්වාදී නිෂ්පාදන අංශයේ සංවර්ධනයක් ඇති කරන්න.

අපි බණ්ඩාරගම නගරය මේ විදියට සංවර්ධනය කරන්නේ බණ්ඩාරගම නිෂ්පාදන කර්මාන්ත පුරයක් ඇති කරන්නයි. අපි කර්මාන්තපුර දෙකක් ඉදිකිරීමට අනුමැතිය ලබාගෙන තිබෙනවා එකක් ඔබේ ප්‍රදේශයේ බණ්ඩාරගම මිල්ලනියේ, අනිත් එක බිංගිරියේ හදනවා. මාර්තු මාසයේ 4 වැනි දා බිංගිරිය කර්මාන්ත පුරයේ වැඩකටයුතු ආරම්භ කරනවා. ඉන් අනතුරුව මිල්ලනියේ ආරම්භ කරන්න බලාපොරොත්තු වනවා.

අපේ ආයෝජන මණ්ඩලයේ සියලු ආයෝජන ප්‍රවර්ධන කලාප පිරිලා තිබෙනවා. ඒ නිසා නව කර්මාන්තපුර අපට අවශ්‍යයි. බිංගිරියේ ආයෝජන ප්‍රවර්ධන කලාපය සඳහා අක්කර 800ක් සහ බණ්ඩාරගම ආයෝජන ප්‍රවර්ධන කලාපය සඳහා අක්කර 1000කුත් වෙන් කර තිබෙනවා. මෙයට අමතරව හම්බන්තොට සංවර්ධන ප්‍රදේශය රුහුණ ආර්ථික කලාපය හැටියට නම් කර තිබෙනවා. එතන විශාල අර්ථික සංවර්ධන මධ්‍යස්ථානයක් වනවා. ඒ වගේම එම ස්ථානයේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක් ඉදිකරන්නත් බලාපොරොත්තු වනවා.

වසර 30ක යුද්ධය නිසා අපි හිතුවා අපගේ රට සංවර්ධනය කරන්න බෑ කියලා. ඇත්ත වශයෙන්ම යුද්ධය කාලයේ තමයි ප්‍රේමදාස ජනාධිපතිවරයා ඇගළුම් කර්මාන්ත ශාලා 200ක් සහ අනෙකුත් කර්මාන්ත කීපයක් සංවර්ධනය කළේ. යුද්ධය මැද වුණත් අපිට තිබුණා එම වැඩකටයුතු කරන්න. යුද්ධය අපි හේතුවක් කර ගත්තා සංවර්ධන කටයුතු නොකරන්න. යුද්ධය අවසන් වුණාට පසුව අවස්ථාව තිබුණා ශීඝ්‍ර සංවර්ධනයක් කරන්න. නමුත් එවකට පාලනය කළ රජයට රට සංවර්ධනය කීරීමට නොහැකි වුණා.

අභීත රණවිරුවන් මේ රටේ සාමය ඇති කර දුන්නා. ඒත් එම කාලෙ දී ආර්ථිකය සංවර්ධනයක් කරන්න බැරි වුණා. ජේ. ආර්. ජයවර්ධන මහතා 1977 දියුණුවක් කළා වගේ අපිට තිබුණා 2009න් පස්සේ රට දියුණු කරන්න. ඒ වෙනුවට අපිට ණය ගන්න සිදුවුණා. අපි ණය අරගෙන අපිට 2014 වන විට ණය ගෙවන්න බැරි වුණා. අපේ ආර්ථිකය කඩා වැටෙන්න තිබුණා. ආණ්ඩුව අස්ථාවර වුණා. ඒ නිසා එකම විසඳුම වුණේ ඡන්දයක් පවත්වන්න.

2015 අපි මේ රට භාර ගත්තේ පළමුවෙන් එම ණය ගෙවන්න පුළුවන් තත්ත්වයක් ඇති කරන්න. වත්මන් රජය බලයට පැමිණ ගත වූ වසර හතර තුළ දී අපි ආර්ථිකය ස්ථාවරභාවය ඇති කර ගත්තු ණය ගෙවන්න පටන් ගත්තා. මේ වසරේ විතරක් අපිට ඩොලර් මිලියන 6500ක් ණය වශයෙන් එක සැරේ ගෙවන්න සිදුවෙලා තිබෙනවා. එම මුදල ගෙවුවට පස්සේ ඉතිරි වාරික අඩු වෙනවා.

දැන් අපි ණය ගෙවීමේ මූලික අඩිතාලම ආරම්භ කර තිබෙනවා. අපි මූලික ණය කොටස් ගෙවා අවසන් නිසා දැන් තිබෙන්නේ අපිට තවත් ණය නොවී ආර්ථිකය දියුණු කරන්න. අපිට ආර්ථිකය දියුණු කරනවා නම් අලුතින් මුදල් ඉපයීමේ නිෂ්පාදන ආර්ථිකයට යොමුවිය යුතුයි. අපේ විදේශ ආදායම දෙගුණයක් කළ යුතුයි. අන්න ඒක කරන්න නම් අපට අලුත් කර්මාන්ත අවශ්‍යයි, වෙළෙඳ කලාප අවශ්‍යයි, ආයෝජකයන් අවශ්‍යයි.

අද එක පැත්තකින් ආණ්ඩුව ණයෙන් යටවෙලා තිබෙනවා. ලාංකික ව්‍යාපාර ගණනාවක් ණයෙන් යටවී තිබෙනවා. ආණ්ඩුව සහ පුද්ගලික අංශයත් ණය අරගෙන තිබෙනවා. අපිට තිබෙන්නේ විදෙස් තාක්ෂණය අරගෙන ඉදිරියට යන්න. අපේ රටේ ඇගළුම් කර්මාන්තය දියුණු කරන විට තාක්ෂණය තිබුණේ නෑ. විදේශ සමාගම් ශ්‍රී ලංකාවට ආව නිසා අද ශ්‍රී ලංකාවේ සමාගම් ලෝක වෙළෙඳ පොළේ තිබෙනවා. උදාහරණයක් ලෙස අපි හෝටල් ආරම්භ කරන විට අපි දැනගෙන හිටියේ නෑ එම තාක්ෂණය. අද අපේම හෝටල් ගණනාවක් තිබෙනවා. අද වරාය පාලනය කරන පුද්ගලික සමාගම් තිබෙනවා. අන්න එහෙම සෑම අංශයකින්ම අපි දියුණුවක් කරගෙන යන්නේ.

එහෙනම් අපි මේ අවුරුදු පහ අමාරුවෙන් හරි කැපවී ණය බරින් නිදහස් විය යුතුයි. මේ රට බංකොලොත් වෙන්න යන්න දෙන්නෙ නැතුව, ලෝකයේ බංකොලොත් රටක් කියා නම්කර ගන්නේ නැතිව, මේ රටේ තිබෙන පඩි ආදායම් අඩු කර ගන්නේ නැතිව අමාරුවෙන් ඇදගෙන ගියා. දැන් තිබෙන්නේ ඊළඟ පියවර අරගෙන ආර්ථිකය ඉදිරියට ගෙනයන්න. අපි ඒක හදන්න දැන් බලාපොරොත්තු වෙන්නේ. ඊළඟ අවුරුදු පහ වුවමනායි ණය සම්පූර්ණයෙන් ගෙවා ආර්ථිකයේ ස්ථාවර බවක් ඇති කිරීමට. ඒ පදනම මත විශාල දියුණුවක් ඉදිරියට ගෙන යන්න අවශ්‍යයි. අපිට තිබෙන ප්‍රධානම අභියෝගය එයයි.

ණය බරින් බේරෙන්න, විශාල සංවර්ධනයක් ගෙන යා යුතුව තිබෙනවා. එක එක අංශ අපි දියුණු කරනවා ද නැතිනම් පැරැණි දේශපාලන සටන් පාඨ කියමින් නිකරුණේ සිටිනවාද කියන එක ජනතාවට වගේම දේශපාලන නියෝජිතයන් තීරණය කළ යුතුයි.

‍යහපත් අනාගතයක් වුවමනා නම්, රැකී රක්ෂා වුවමනා නම්, අපි මේ ණය උගුලෙන් පනින්න අවශ්‍යයි. ණය උගුලෙන් පනින්න පුළුවන් අලුත් ආදායම් මාර්ග හදාගෙන විදේශ විනිමය වැඩි කර ගන්නවා නම් විතරයි. ඒ නිසා අපි ඊළඟ වසර තුන තුළ දී අපනයනයට මුල්තැන දෙන ශීඝ්‍ර ආර්ථික වැඩසටහනකටයි ආණ්ඩුව යොමුවන්නේ කියා කියන්න කැමතියි. අපි ඒ පසුබිම ඇති කරලා තිබෙනවා, ආර්ථිකයේ ස්ථාවරභාවයක් ඇති කර තිබෙනවා. නිෂ්පාදනය වගේම සංචාරක ව්‍යාපාරය, ධීවර අංශය, තොරතුරු තාක්ෂණය ශීඝ්‍රයෙන් දියුණු කර ජාතික නිෂ්පාදනය දෙගුණයක් කිරීමේ වැඩ කටයුත්තට දායක විය යුතුයි. එය කරන්න අපිට ශක්තිය තිබෙනවා. එම සංවර්ධනයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට බණ්ඩාරගම පත්වෙන බව කියන්න කැමතියි යැයි අගමැතිවරයා පැවැසීය.

මහ නගර සහ බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා, - මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ අලුතින් අධිවේගී මාර්ග පද්ධතියක් බණ්ඩාරගම හරහා ගමන් කරනවා. කලින් තීරණය කර තිබුණේ බණ්ඩාරගම සිට රත්නපුර දෙසට මේ අධිවේගී මාර්ගය ගෙන යෑමටයි. එය අපි වෙනස් කර කහතුඩුවේ සිට ගෙනයෑමට තීරණය කර තිබෙනවා. ඒ අනුව එක් පැත්තකින් බණ්ඩාරගම ප්‍රදේශයට, දකුණු පළාතට ඒ වගේම තව නොබෝ දිනකින් කටුනායක නිදහස් වෙළෙඳ කලාපය, කටුනායක ගුවන් තොටුපොළ දක්වාම බණ්ඩාරගම සිට ගමන් කිරීමේ හැකියාව ලැබෙනවා. තව කෙටි දිනකින් නව කැලණි පාලම හරහා නව වරාය නගරයට සහ කොළඹ නගරයට ගමන් කිරීමේ ශක්තිය ලැබෙනවා. මේ ඓතිහාසික රයිගම් රාජධානිය ඒ සියලු ශක්තීන්ගෙන් යුතු උප නගරයක් ලෙස ඉදිරි කාලයේ වැඩි දියුණු කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කරන බව අපි ඔබ සැමට ප්‍රකාශ කළ යුතුයි.

මේ අවස්ථාව සඳහා මැති ඇමැතිවරුන් වන ඇමැති අකිල විරාජ් කාරියවසම්, ඇමැති අජිත් පී. පෙරේරා, පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ සහ රාජ්‍ය අංශයේ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

අසේල ලියනගේ

නව අදහස දක්වන්න