දූගී දුප්පත්කම නැති කිරීම මේ රජයේ ප්‍රතිපත්තියයි | දිනමිණ

දූගී දුප්පත්කම නැති කිරීම මේ රජයේ ප්‍රතිපත්තියයි

උපාලි කරුණාරත්න

බරපතළම සමාජ ගැටලුවක් වන දුගී දුප්පත්කම මෙරටින් තුරන් කිරීමේ ප්‍රධාන අවියක් බවට වත්මන් උදා ගම්මාන වැඩ පිළිවෙල පත්ව ඇතැයි නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

වත්මන් රජය සෑම විටම රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවන්නේ දූගී දුප්පත්කම තුරන් කරමින් නැති බැරි ජනතාව ඇති හැකි අය බවට පත් කිරීමට යයිද ප්‍රකාශ කළ ඇමැතිවරයා එම කටයුත්ත සඳහා පවුල් ඒකකය ශක්තිමත් කළ යුතු යයිද කීය.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව මෙරට සිව් දෙනෙකුගෙන් යුත් පවුලකට මාසයකට රුපියල් 54000ක මුදලක් ආහාර සහ අනෙකුත් අවශ්‍යතා සඳහා වැය වන බව සඳහන් වී ඇති බවද පැවසූ ඇමැතිවරයා එවන් ආදායමක් උපයාගැනීමට නොහැකි වූ පවුල් දුගී දුප්පත් භාවය පත්ව සිටින බවද පැවසීය.

යළි පිබිදුනු උදා ගම්මාන වැඩ පිළිවෙලට සමගාමීව පවුලේ ආර්ථිකය නැංවීමේ විවිධ වැඩ සටහන් ක්‍රියාත්මක වන බවත් එමගින් ජනතාවගේ ආර්ථික ශක්තිය තවදුරටත් වර්ධනය කිරීමට කටයුතු කරන බවද ඇමැතිවරයා කීය.

සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා එසේ සඳහන් කළේ, හම්බන්තොට දිස්ත්‍රික්කයේ කෑලියපුර ප්‍රදේශයේ ඉදිවන ග්‍රාම ශක්ති උදා ගම්මානය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාට ඊයේ (21දා) පෙරවරුවේ සහභාගි වෙමිණි. මෙම ගම්මානය යළි පිබිදෙන උදා ගම්මාන වැඩ සටහන යටතේ ඉදිවන 1789 ගම්මානයයි.

නව අදහස දක්වන්න