දේශීය ටින්මාළු කර්මාන්තය අනතුරේ? | දිනමිණ

දේශීය ටින්මාළු කර්මාන්තය අනතුරේ?

බුද්ධිකා බ්‍රාහ්මණ‍ගේ

‍මෙරට ජනතාවගේ දිනෙක පරිභෝජන අවශ්‍යතාව මාළු ටින් 175000ක ප්‍රමාණය දේශීය නිෂ්පාදකයන්ට සැපයීමේ හැකියාව තිබිය දී කොන්දේසි විරහිත අන්දමින් ටින් මාළු ආනයනය සඳහා අවසර දීම හේතුවෙන් මෙරට නිෂ්පාදකයෝ මහත් අසීරු තත්ත්වයකට පත්වී සිටින බව ටින්මාළු නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් කමල්අද්දරආරච්චි මහතා ඊයේ (21) පෑලියගොඩ ටෙස් ලංකා සමාගමේ දී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

අපිට අපේ රට මෙන් දසගුණයක් විශාල මුහුදක් තිබෙනවා. ධීවර කර්මාන්තය මෙරට ප්‍රාග්ඓතිහාසික යුගයේ සිට පැවැත එන වෘත්තියක්, මේ කර්මාන්තය ආශ්‍රිතව මිලියනයකට වැඩි ධීවර ප්‍රජාවක් ජීවත් වෙනවා. ‍ටින් මාළු කර්මාන්තය මෙරට ස්ථාපිත වීමෙන් වඩාත් වාසි සැළසුනේ කුඩා පරිමාණයේ ධීවරයන්ට. කිසිදු පාලනයකින් තොරව ටින් මාළු ආනයනය කිරීම හේතුවෙන් රට තුළ ටින් මාළු අතිරික්තයක් ඇතිවී තිබෙනවා. මේ නිසා අපගේ නිෂ්පාදන අලෙවි කිරීමේ දුෂ්කරතාවක් ඇති වෙනවා. එවිට සිදුවන්නේ ධීවරයන්ගේ මාළු අස්වැන්න මිල දී ගැනීමට නොහැකිවීමයි. මෙසේ වූ විට මාළු මිල පහත වැටෙනවා. මේ හේතුව නිසා ධීවර ප්‍රජාව මෙන්ම ඒ ආශ්‍රිතව ජීවත් වන බොහෝ පිරිසක් මහත් අසීරුවකටයි පත්ව සිටින්නේ.’

රුපියල අවප්‍රමාණවීම හේතුවෙන් අපනයන ‍භාණ්ඩවල මිල ඉහළ යෑම නිසා දේශීය නිෂ්පාදකයන්ට තම නිෂ්පාදන ‍තරගකාරී මිලකට අලෙවි කළ හැකි දැයි මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ටින් මාළු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ශිරාන් මහතා පවසා සිටියේ මේ වන විට චීනයෙන් ගෙන්වන ටින් මාළු අනයනය වෙළෙඳ ප්‍රතිපත්තීන්ගෙන් බැහැර ආකාරයෙන් සිදුවන බවයි. මාස 06 කට පසුව මුදල් ගෙවීමේ පදනමකින් ආනයනය කරන බැවින් එරටින් ගෙන්වන මුදලටත් වඩා රුපියල් 05ක පමණ මුදලක් අඩු කොට මෙරට අලෙවි කර එසේ ලැබෙන මුදල් යොදවා අල, ළුෑණු ආනයනය වැනි වෙනත් වෙළෙඳාමක් සඳහා යොදවා සිදුවන පාඩුව පියවා ගන්නා බවත්ය. මෙවැනි තත්ත්වයක් උද්ගතවී ඇත්තේ ආනයනයේ දී මුදල් පියවීම සඳහා මාස 06ක කාලයක් ලබාදීම නිසයි. මේ හේතුවෙන් වර්තමානයේ දී ටින් මාළු කර්මාන්තය පොලී ව්‍යාපාරයකට නතුවූ තත්ත්වයක් උද්ගතවී ඇතැයි හෙතෙම වැඩි දුරටත් පැවැසීය.

ආනයන අවම කර අපනයන වැඩි දියුණු කිරීම ජාතික සංවර්ධන ඉලක්කයක් බව රජය පුනපුනා පැවැසුවද, අඩු මිලට ජනතාවට ටින් මාළු මිලදී ගැනීම සඳහා පහසුකම් සැපයීමට යැයි පවසමින් ටින් මාළු වෙතින් අය කළ බද්ද 50%කින් අඩු කිරීම සිදුකළ බවත් එලෙස වැඩි කළ බද්දෙන් මුදලක් දේශීය ටින් මාළු කර්මාන්තයේ පැවැත්ම සඳහා යැයි එකඟතාවකට පැමිණි සතොස වෙත ලබාදෙන මාළු ‍ටින් සඳහා ලබාදුන් රුපියල් 20ක මුදලක් ලබාදුන් නමුත් පසුගිය වසරේ‍ පෙබරවාරි මාසයේ සිට එලෙස මුදල් ලබාදීම ද නවතා ඇති බව ඒ මහතා වැඩි දුරටත් පැවැසීය.

දැනට රටේ සිදු කෙරෙන කර්මාන්තය ආරක්ෂා වෙන අන්දමින් පාරිභෝගිකයාට සහනදායී උසස් නිෂ්පාදන ලබාදීමට කටයුතු කරන ලෙසයි අපි රජයෙන් ඉල්ලා සිටින්නේ’ ටින් මාළු නිෂ්පාදකයන්ගේ සංගමය අවධාරණය කරයි. සතොස, ත්‍රිවිධ හමුදාව වැනි ආයතන වෙතට අපගේ නිෂ්පාදන ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කළ හැකිනම් කර්මාන්තය එහි සේවකයන් මෙන්ම ඒ සඳහා යෙද වූ ප්‍රාග්ධනය ආරක්ෂා කර ගත හැකිවේ යැයි ඔවුහු අපේක්ෂා කරති.


නව අදහස දක්වන්න