පළාත් සභා කල්ගියේ ශ්‍රීලනිපය නිසා | දිනමිණ

පළාත් සභා කල්ගියේ ශ්‍රීලනිපය නිසා

දුමින්ද සම්පත්
රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න

- ලක්ෂ්මන් කිරිඇල්ල
රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන ඇමැති

රටේ ප්‍රධාන පක්ෂ දෙක එකතුවෙලා 2015 දී ජාතික ආණ්ඩුවක් හැදුවා. මේ ජාතික ආණ්ඩුව අසාර්ථක වුණා නේද?

අසාර්ථක වුණාම කියන්න බැහැ. සාර්ථකවීම් තියෙනවා. අපි ජයග්‍රහණ රැසක් ලබාගත්තා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනැල්ල ජනාධිපති බලතල රැසක් පාර්ලිමේන්තුවට ලබාදුන්නා. ස්වාධීන කොමිෂන් සභා හරහා උසස් නිලතල තියෙන ආයතන ස්වාධීන කළා. මාධ්‍ය නිදහස ලබාදුන්නා. තොරතුරු පනත හරහා තොරතුරු අයිතිය දුන්නා. ජාත්‍යන්තර කීර්තිය අපි ලබාගත්තා. මේ ජයග්‍රහණ රටට අරන් දුන්නෙ ජාතික ආණ්ඩුව.

මේ ජාතික ආණ්ඩුව බිඳවැටෙනවා. එහෙම බිඳවැටෙන්න හේතුවෙච්ච කාරණා මොනවාද?

ජාතික ආණ්ඩුව කියන්නෙ පක්ෂ ගණනාවක එකතුවක්. ප්‍රතිපත්ති අතර ගැටුම් ඇති වෙනවා. ඒක තමයි ප්‍රධාන හේතුව.

මෙහෙම පසුබිමක එක්සත් ජාතික පක්ෂය නැවත ජාතික ආණ්ඩුවක් යෝජනා කරනවා?

ව්‍යවස්ථා කුමන්ත්‍රණයෙන් පස්සෙ අපි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ඇති කළා. කණ්ඩායම් ගණනාවක් මේ ආණ්ඩුවට එකතුවෙන්න කැමැත්ත ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමකුත් කැමැත්ත ප්‍රකාශ කළා. ඒ හින්ද තමයි අපි මේ ජාතික ආණ්ඩුවකට යෝජනාව ගේන්නෙ.

එක්සත් ජාතික පක්ෂයට තනි ආණ්ඩුවක් හදන්න පුළුවන් පසුබිමක නැවත වතාවක් ජාතික ආණ්ඩුවකට යාම ගැන එක්සත් ජාතික පක්ෂයෙම පසුපෙළ මන්ත්‍රීවරුන් විරෝධය පානව නේද?

එහෙම විරෝධතාවක් නැහැ. කණ්ඩායම් රැස්වීමේදී මේ ගැන කතා ක‍ළා. ඒ සාකච්ඡාවලදී දැඩි විරෝධතාවක් ආවෙ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ අය නැවත ශක්තිමත් නොකර එක්සත් ජාතික පක්ෂයෙ අය ශක්තිමත් කරලා ආණ්ඩුව අරන් යන්න කියලා පසුපෙළ මන්ත්‍රීවරු කිව්වා. අපිට අවශ්‍ය 113 හදාගන්න.

අලුතින් හදන ජාතික ආණ්ඩුව රටේ අරමුණු ජයග්‍රහණය කරවන්න හදන එකක් නෙවෙයි. මන්ත්‍රීවරුන්ට ඇමැතිකම් වරප්‍රසාද දෙන්නයි මේ ජාතික ආණ්ඩුව හදන්නෙ කියලයි චෝදනා එල්ල වෙන්නෙ?

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් මැති ඇමැතිකම් සීමා කළේ අපියි. තනි ආණ්ඩුවක් නම් මැති ඇමැතිකම් 30 යි. ජාතික ආණ්ඩුවක් නම් ඊට වැඩියි. මහින්ද රාජපක්ෂ මහත්තයගෙ කාලෙ එක වකවානුවක කැබිනට් මණ්ඩලයේ 52 ක් හිටියා. තවත් කාලෙක 63 ක් හිටියා. කැබිනට් ඇමැතිකම් වැඩි කරන්න විතරක් අපිට අවශ්‍ය නම් 19 දි කැබිනට් ධුර සංඛ්‍යාව අඩු කරන්නෙ නැහැනෙ. අපි එහෙම කළේ මේ කැබිනට් මණ්ඩලය සීමාවෙන්න ඕන නිසා. නමුත් ආණ්ඩුව ශක්තිමත් කරන්න ජාතික ආණ්ඩුවක් හැදිය යුතු නිසා අපි ඒක කරනවා.

ඔබ කියන්නෙ දැන් ශක්තිමත් ආණ්ඩුවක් නැහැ කියන එකද?

මේ වෙනකොටත් අපිට පාර්ලිමේන්තුවෙ බහුතරය තියෙනවා. නමුත් නියමාකාරයෙන් ශක්තිමත් වෙන්න ආණ්ඩුවෙ 113 ක් ඉන්න ඕන. බහුතරය තියෙන හින්ද අපිට ආණ්ඩුව අරන් යන්න පුළුවන්.

ජාතික ආණ්ඩු යෝජනාව හරහා බහුතරය හදාගන්න හදන්නෙ. රටට අහිතකර අණපනත් සම්මත කරගන්න බවයි කියන්නෙ?

මොනවද අණපනත්?

විශේෂයෙන් අලුත් ව්‍යවස්ථාව?

මාධ්‍යවේදීන් හරියට කරුණු අධ්‍යයනය කරල නැහැ. ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කරලා නැහැ. ව්‍යවස්ථා හදන්න යෝජනා විතරයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල තියෙන්නෙ. ව්‍යවස්ථාව හදන කොමිටිය ඒකපාර්ශ්විකව හදපු එකක් නෙමෙයි. මේ කොමිටිය පාර්ලිමේන්තු යෝජනාවකින් සම්මත වෙච්ච එකක්. අලුත් ව්‍යවස්ථාවකට යෝජනා හදන්න කොමිටියක් අවශ්‍යයි කියල යහපාලන ආණ්ඩුව බලයට පත්වෙච්ච ගමන් අපි යෝජනාවක් ගෙනාවා. ඒ යෝජනාවට පාර්ලිමේන්තුවෙ සියලුදෙනා ඡන්දෙ දුන්නා. මහින්ද රාජපක්ෂ මහත්තයගෙ කට්ටිය, දිනේෂ් ගුණවර්ධන මහත්තය, ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ ජාතික සන්ධානය මේ හැමෝගෙම කැමැත්ත දුන්නා. පාර්ලිමේන්තුවෙ සම්මත වෙච්ච යෝජනාවකට අනුව තමයි මෙහෙයුම් කමිටුව පත් කළේ.

ජාතික ආණ්ඩු යෝජනාව පරාජයට පත්කරන බවට පාර්ලිමේන්තුවෙ සමහර පක්ෂ දැනටමත් ප්‍රකාශ කරල තියෙනවා?

ඒක අපිට වළක්වන්න බැහැනෙ. ඒක ඒ අයගෙ අයිතිය.

පසුගිය අර්බුදය වෙලාවෙ මේ ආණ්ඩුවට සහාය දැක්වූ ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ ජාතික සන්ධානය පවා අලුත් ජාතික ආණ්ඩුවකට විරුද්ධයි?

ඒ ‍ෙගාල්ල විරුද්ධ නම් ඒක ඒ අයගෙන් අහන්න. මට කියන්න බැහැනෙ.

ඒ අයගෙ මතය ඔවුන් ප්‍රකාශ කළා?

මොකක්ද මතය?

මේ ජාතික ආණ්ඩුව හදන්න හදන්නෙ ඇමැති ධුර වැඩි කරගැනීමේ අරමුණෙන් බවයි ඔවුන් කියන්නෙ?

මහින්ද රාජපක්ෂ මහත්තයගෙ කාලෙ ඇමැති ධුර 52 ක් තිබුණ එතකොට කවුරුවත් කතා කළේ නැහැනෙ. අපියි ඒක සීමා කළේ. ජාතික ආණ්ඩුවක් ආවොත් ඇමැති ධුර වැඩිකරගන්න පුළුවන්. ආණ්ඩුව ශක්තිමත් කරන්නයි ඒ දේ කරන්නෙ.

එක්සත් ජාතික සන්ධානය නව පෙරමුණක් හදන්න යනවා. අලුත් පෙරමුණක් අවශ්‍ය ඇයි?

අලුත් පෙරමුණේ වැඩ කටයුතු බොහෝදුරට අවසන්. ඉදිරි සති දෙක තුන ඇතුළත ඒ වැඩ කටයුතු නිමකරනවා. එක්සත් ජාතික පෙරමුණේ ප්‍රතිපත්තිවලට කැමති සියලුදෙනාට මේ පෙරමුණට එකතුවෙන්න පුළුවන්.

එක්සත් ජාතික පක්ෂය වරින්වර පෙරමුණු හැදුවා. පොදු අපේක්ෂකයො ඉදිරිපත් කළා. අවසානයේ පාක්ෂිකයො කළ කිරුණා. නැවතත් එවැනි තත්ත්වයකට යනවට සමහර පාක්ෂිකයන්ගෙ කළකිරීමක් තියෙනවා?

කලකිරෙන්න දෙයක් නැහැ. අද රටේ දේශපාලන වාතාවරණය අනුව තනි පක්ෂයකට ඡන්ද ජයග්‍රහණය කරන්න බැහැ. අපි විතරක් නෙවෙයි එක්සත් ජනතා නිදහස් සන්ධානයත් සන්ධානගතවෙලා තියෙනවා. හරියට සන්ධානය හැදුවොත් මැතිවරණ දිනන්න පුළුවන්. ලංකාවෙ විතරක් නෙවෙයි, ඉන්දියාවෙත් දැන් තනි පක්ෂයකට බලය නැහැ. හරි බලයක් ගන්න පුළුවන් හරි සන්ධානෙකටයි.

එක්සත් ජාතික පක්ෂය නැවත පොදු අපේක්ෂකයෙක් ගැන කතා වෙනවා. එක්සත් ජාතික පාක්ෂිකය ඒ ගැනත් කලකිරීමකයි ඉන්නෙ?

ජනාධිපති අපේක්ෂකකම, සිරිසඟබෝ වගේ දන්දුන්න ඇති කියල දැන් අපේ පක්ෂයෙ මතයක් ඇති වෙලා. අපේ පක්ෂයෙ අපේක්ෂකයෙක්ම ජනාධිපති ධුරයට තරග කරන්න ඕන කියලයි කියන්නෙ. බොහෝදුරට එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි.

මුලින් එන්නෙ පළාත් සභා මැතිවරණයද? ජනාධිපතිවරණයද?

පළාත් සභා මැතිවරණය කල්දැම්මෙ අපි නෙවෙයි. ඒක මාධ්‍ය තේරුම් ගන්න ඕන. එක්සත් ජාතික පක්ෂය මුල ඉඳලම කිව්වෙ පැරණි ක්‍රමයට ඡන්දෙ තියමු කියලයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි, එක්සත් ජනතා නිදහස් සන්ධානයයි කිව්වෙ අලුත් විදියට ඡන්දෙ තියමු කියල. පළාත් පාලන ඇමැති වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ ෆයිසර් මුස්තාපා මහත්තය. අලුත් ක්‍රමේට ඡන්දෙ තියන්න පනත සම්මත කරගන්න එතුමට බැරිවුණා. සීමා නීර්ණය තවම සම්මත වෙලා නැහැ. මේ වැඩේ අනාගත්තෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. පළාත් සභා කල් ගියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසා. මේ පනත විතරක් නෙවෙයි කලින් පළාත් පාලන පනතත් ෆයිසර් මුස්තාපා අනාගත්තා.

මැයි මාසෙ පළාත් සභා ඡන්දය තියන්න පුළුවන් බවක් වාර්තා වෙනවා?

ඒක තීරණය කරන්නෙ පාර්ලිමේන්තුව. පක්ෂ නායක රැස්වීමක් කැඳවලා පාර්ලිමේන්තුවෙ ඉන්න පක්ෂවල එකඟතාවක් ඇති කරගෙන මැතිවරණයකට යමු කියල අගමැතිතුමා කිව්වා.

සීමානීර්ණ වගකීම එජාප ඉටුකළේ නැහැ

- ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න
පාර්ලිමේන්තු මන්ත්‍රී

ජාතික ආණ්ඩුවක් ගැන කතාබහ නැවතත් පටන් අරන් තියෙනවා, නැවත ජාතික ආණ්ඩුවක් ගැන ඔබේ අදහස මොකක්ද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජාතික ආණ්ඩුවක් හදන්න පදනමක් තියෙන්න ඕන. දැන් තියෙන්නෙ පාර්ලිමේන්තුවෙ බහුතරයක් නැති ආණ්ඩුවක්. එහෙම ආණ්ඩුවක් කොයි මොහොතෙ කඩාවැටෙයිද කියන්න බැහැ. ආණ්ඩුවට සහාය දෙන ජනතා විමුක්ති පෙරමුණත්, දෙමළ ජාතික සන්ධානයත් සමහර කාරණාවලදී ආණ්ඩුවට සහාය නොදෙන තත්ත්වයක් පේන්න තියෙනවා. ඔය යෝජනා කරල තියෙන ජාතික ආණ්ඩුවට සහාය දෙන්නෙ නැහැ කියල ඔවුන් කිව්වා. එහෙම තත්ත්වයක ඔවුන්ට සහාය දෙන්න පක්ෂයක් නැහැ.

මුස්ලිම් කොංග්‍රසයත් දේශපාලන පක්ෂයක් හැටියට පාර්ලිමේන්තුව නියෝජනය කරනවා?

එක මන්ත්‍රීවරයෙක් ඉන්න පක්ෂයක් එක්ක ජාතික ආණ්ඩු හදන්නෙ වෙන අරමුණකට. ඔය හදන්නෙ ඇමැති ගණන වැඩිකරගන්න.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ මන්ත්‍රීවරු කණ්ඩායමකුත් ජාතික ආණ්ඩුවට සහාය පළ කරන බවයි කියන්නෙ?

ඔය කතාව මුල ඉඳලම තිබුණා. ව්‍යවස්ථානුකූලව එවැන්නකට ඉඩ නැහැ. ඒ අය පක්ෂයෙන් ඉවත් කළොත් මන්ත්‍රීකම නැතිවෙනවා.

ශක්තිමත් ස්ථීර ආණ්ඩුවක් රටට අවශ්‍යයි. ඒ අරමුණ වෙනුවෙන් ජාතික ආණ්ඩුවක් අවශ්‍යයි නේද?

ඒක ඇත්ත. රටට ශක්තිමත් ආණ්ඩුවක් අවශ්‍යයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුව ජාතික ආණ්ඩුවකට යන්න අවස්ථාව එක්සත් ජාතික පක්ෂයට නැහැ. වෙනත් පක්ෂ ඔවුන් එක්ක එකතුවෙන්නෙ නැහැ. ජාතික ආණ්ඩුවක් හදන්න ඕන නීත්‍යානුකූලව. මේ ජාතික ආණ්ඩුවෙ චේතනාව හොඳ නැහැ. ඉන්න මන්ත්‍රීවරුන්ට ඇමතිකම් දෙන්නයි මේ හදන්නෙ. මුස්ලිම් කොංග්‍රසයෙ එක මන්ත්‍රී කෙනෙක් අරගෙන ශක්තිමත් ආණ්ඩුවක් හදන්නෙ කොහොමද? ඒ මන්ත්‍රීතුමා දැනට ඉන්නෙත් ආණ්ඩුවෙ.

ඔබේ පාර්ශ්වය ජාතික ආණ්ඩු සංකල්පයට විරුද්ධ බවකුයි පේන්නෙ. මේ විරුද්ධත්වය මොකක්ද?

ජාතික ආණ්ඩුවකට අපි විරුද්ධ නැහැ. මේ හදන්න හදන්නෙ ජාතික ආණ්ඩුවක් නෙවෙයි, මේ ජනතාව රැවටීමක්. කැබිනට් මණ්ඩලය වැඩිකරගන්නයි මේ හදන්නෙ.

ඇමතිධුර සංඛ්‍යාව 30කට අඩුකරනව කියල යෝජනා කළේ මේ ආණ්ඩුව, එහෙම තත්ත්වයක් තුළ ඇමති ධුර සංඛ්‍යාව වැඩිකර ගැනීමේ අවශ්‍යතාවක් ආණ්ඩුවට තියෙනව කියල හිතන්න පුළුවන්ද?

මන්ත්‍රීවරු කැරලිගහනවා. ආණ්ඩුව ගෙනියන්න බැරි තත්ත්වයක් උදාවෙලා. කැරලිකාර අයව ඇමති පුටුවල වාඩිකරවල ඒ අයව නිහඬ කරන්නයි මේ හදන්නෙ.

කැබිනට් මණ්ඩලය වැඩිකරගන්නව කියල ඔබ චෝදනා කළත්, මහින්ද රාජපක්ෂ ආණ්ඩු කාලෙ ඇමති මණ්ඩලය 63ක් වුණා.?

ඇමති ධුර වැඩිකරගන්නයි අපි ජාතික ආණ්ඩුව හදන්නෙ කියල කිව්වනම් වැඩේ ඉවරයි. එක්සත් ජාතික පක්ෂය මේ හදන්නෙ මුළු රටම රවට්ටන්න. හැබෑවටම මේ අයට ජාතික ආණ්ඩුවක් අවශ්‍ය නැහැ. දැන් ඉන්න මන්ත්‍රීවරුන්ට ඇමතිකම් දීමයි ඒ අයට ඕන. ජාතික ආණ්ඩුවක් කියන්නෙ වටිනා දෙයක්. ඒ කතාව ඉස්සරහට දාල මේ කරන්නෙ වෙන දෙයක්.

පළාත් සභා මැතිවරණය ගැනත් ජනාධිපතිවරණය ගැනත් කතාවෙනවා. මුලින් එන්නෙ මොන මැතිවරණයද?

පළාත් සභා ඉවරවෙලා ගොඩක් කල්, දැන් සබරගමු පළාතෙ වැඩ කෙරෙන්නෙ නැහැ. ආණ්ඩුකාරවරයට තනිව ඒ පළාත් සභාවෙ වැඩකරන්න බැහැ. පළාත් සභා සියල්ල මේ වසර වෙනකොට විසිරෙනවා. මිනිස්සුන්ගෙ ප්‍රශ්න විසඳන්න පළාත් සභා අවශ්‍යයි.

මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන් පාර්ලිමේන්තුවට පමණයි?

පළාත් සභා සීමානීර්ණ ගැටලුවක් ආවා. ඒ ගැටලු නිරාකරණය කරන්න කමිටුවක් පත්කළා. ඒ කමිටුවෙ සභාපති අගමැතිතුමා. කමිටුවෙ පස්දෙනෙක් ඉන්නවා. මේ කමිටුව අවශ්‍ය වගකීම් ඉටුකළේ නැහැ. මේ ප්‍රශ්නෙට මුල ඒක. පැරණි ක්‍රමයට ඡන්දෙට යමු කියන එකඟතාවට සියලු පක්ෂ නායකයො එකඟ වුණා. මේ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනාවම හැමෝටම ඡන්දය දෙන්න පුළුවන්. ඒ යෝජනාව සම්මත වුණොත් මුලින් පළාත් සභා ඡන්දෙ තියන්න පුළුවන්.

මීළඟ ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් රාජපක්ෂ කෙනෙක් ස්ථීරවම එන බව කියනවා. මේ ගැන ඔබ මොකද කියන්නෙ?

මේ ගැන තීරණය කරන්න ඕන පක්ෂ නායකයො එකතුවෙලා. මහින්ද රාජපක්ෂ මහත්තයත්, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් මේ ගැන තීන්දු කරන්න ඕන. එක එක්කෙනා තමතමන්ට ඕන විදියට අදහස් ප්‍රකාශ කරන්න ගියහම අනවශ්‍ය බෙදීමක් වෙනවා. එවැනි බෙදීමකට මම කැමති නැහැ. හැමෝම එකතුවෙලා සමගි වෙලා මේ ගැටලුව විසඳගන්නයි අවශ්‍ය. කවුරු ආවත් අපිට අවශ්‍ය ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නයි.

මහින්ද රාජපක්ෂ මහත්තය කියනව තමන් බලයට ආවොත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසිකරනව කියල. ඒ ගැන ඔබ මොකද කියන්නෙ?

ඒක හරි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අවුල්සහගතයි. ඒක පැහැදිලිව පේනවා. මුද්‍රිත පිටපත්වල තියෙන කරුණු නෙවෙයි පාර්ලිමේන්තුවෙ අනුමත වුණේ කියල එක්සත් ජාතික පක්ෂයෙ හිටපු අධිකරණ ඇමතිතුමාම කිව්වා. පාර්ලිමේන්තුවෙ අනුමත වෙච්ච කාරණා අයින් කරල වෙනත් එකක් ජනතාවට දීලා. මේක ඉතාම භයානක තත්ත්වයක්. මේ ගැන සොයාබලන්න අවශ්‍යයි.

ඔබත් 19ට අත ඉස්සුවා...?

ඔව්.

ස්වාධීන කොමිෂන් සභා, ඇමති මණ්ඩලය 30ට අඩුකිරීම, තොරතුරු පනත ආදී රටට වාසිසහගත බොහෝ දේ 19න් ලැබුණා. 19 අහෝසි කළොත් රටට ලැබුණු ඒ වටිනාකම් ටිකත් නැතිවෙන්න පුළුවන් නේද?

සම්පූර්ණ අහෝසිකිරීමක් නෙවෙයි බලාපොරොත්තු වෙන්නෙ. රටට, සමාජ පැවැත්මට අහිතකර, දේශපාලන ව්‍යූහයට අහිතකර දේ හඳුනාගෙන ඒව ඉවත් කිරීමයි අවශ්‍ය.


නව අදහස දක්වන්න