පෞද්ගලික පාසල් යකෙක්ද රකුසෙක්ද | දිනමිණ

පෞද්ගලික පාසල් යකෙක්ද රකුසෙක්ද

අප උත්සාහ කළ යුත්තේ පෞද්ගලික අංශය හා එක් ව විද්වතුන්ගේ මඟ පෙන්වීම යටතේ දරුවන් තුළ විසි එක්වෙනි ශත වර්ශයට ගැළපෙන කුසලතා ඇතිකරවීමටයි. ගැටලුව ඇත්තේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පිළිබඳ මිස අධ්‍යාපනය ලබාදෙන්නේ පෞද්ගලික අංශයෙන් ද රාජ්‍ය අංශයෙන්ද යන වග පිළිබඳ නොවේ. විද්වතුන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් එක් ව, පෞද්ගලික ව්‍යවසායකයන්ගේ අසාධාරණ ලාභ ලැබීමේ අරමුණු ඇත්නම් ඒවා ද සීමා කරමින්, අවශ්‍ය ගුණාත්මක අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන් වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු ය.

අමාත්‍ය මණ්ඩල සන්දේශ අංක 2018/ED/E/19 යටතේ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල ශාඛා පාසල් රෙගුලාසිගත කිරීම හා ගුරු වැටුප් ආධාර නොලබන පෞද්ගලික පාසල් 13ක් සඳහා ගුරු වැටුප් ආධාර ලබාදීමට නිකුත් කර ඇති කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් මේ වන විට විවිධ අදහස් හා චෝදනා පැනනඟිමින් පවතී. ඇස් දෙකට වුවමනා නම් කොරහේ ද කිඹුල්ලුන් දැකිය හැකි ය. නමුත් බුද්ධිමත් ජනතාවක් ලෙස අප මේ දෙස බැලිය යුත්තේ අධ්‍යාපනයේ සැබෑ අර්ථය වටහා ගැනීමෙන් අනතුරුව ය. අධ්‍යාපනය යනු ජනතාව දැනුවත්භාවයට පත් කිරීමයි. එසේ ම එය සමස්ත ජනතාවගේ ම අයිතියකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්, ජාත්‍යන්තර අණපනත් සහ සංවිධානවලින් පිළිගත් යථාර්ථය එයයි.

නිදහස් අධ්‍යාපනය

සැමට පොදුවේ අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය අනුල්ලංඝනීය එකක්ය යන පදනම මත අධ්‍යාපනය ලබාදීම, අතීතයේ සිට විවිධ ආයතන මඟින් ඉටුවිය. බෞද්ධ අධ්‍යාපන ක්‍රමය, ප්‍රාග් ඓතිහාසික බෞද්ධ අධ්‍යාපනය, යටත් විජිත සමයේ පෘතුග්‍රීසින් සහ ලන්දේසී විසින් පවත්වාගෙන ආ අධ්‍යාපනය ඒ අතර ප්‍රධාන විය. 1931 දි නිදහස් අධ්‍යාපන ව්‍යාපාරය ආරම්භ වූයේ කන්නන්ගර මැතිතුමාගේ මැදිහත් වීමෙනි. අධ්‍යාපනය සඳහා රජයේ මැදිහත් වීම සනිටුහන් වන්නේ ඒ අනුවය. විවිධ ආයතන මඟින් පවත්වාගෙන පැමිණි පාසල් රජයේ මැදිහත්වීමෙන් ක්‍රමානුකූලව පවත්වාගෙන යාමට කන්නන්ගර මහත්තාගේ නිදහස් අධ්‍යාපන ව්‍යාපාරයේ දී යෝජනා විය. එහි ප්‍රතිඵලයක් ලෙස 1960 දී සම්මත කරගත් ආධාර ලබන පාසල් හා ගුරු විද්‍යාල රජයට පවරාගැනීමේ විශේෂ විධිවිධාන පනතින් බලාපොරොත්තු වූයේ ,නොයෙකුත් ආගමික මධ්‍යස්ථාන විසින් පවත්වාගෙන ගිය පෞද්ගලික අංශයේ පාසල් රජයට පවරාගැනීමයි. නමුත් ඇතැම් ආයතන එම පනතට අනුගත නොවී සිටි අතර 1961 දි නැවත අතිරේක විධිවිධාන පනත ලෙස විශේෂ විධිවිධාන පනතක් පනවා, එම පාසල්වලින් බහුතරයක් ද රජයට පවරාගෙන ඇත. නමුත් දිවයින පුරා තවත් පාසල් තිහක් පමණ රජයට පවරාගත නොහැකිව ඉතිරි විය. ඔවුන් කෙසේ හෝ පෙර පවත්වාගෙන පැමිණි අන්දමින් ම එම පාසල් පවත්වාගෙන යෑමට සමත්විය. මහනුවර ට්‍රිනිටි විද්‍යාලය, බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලය එවැනි පාසල් ය. ඔයආකාරයෙන් පෞද්ගලික අධ්‍යාපනය යනු අතීතයේ සිට ම මෙරට ක්‍රියාත්මක වන්නකි.

සමාජවාදී දර්ශනය අනුව යමින් සියලු දේ රජයට පවරාගෙන පොදු දේපළ ක්‍රමයක් යටතේ අධ්‍යාපන ක්‍රියාවලිය පවත්වාගෙන යාමට පවත්නා ලිබරල් ප්‍රජතන්ත්‍රවාදය තුළ අවකාශ නැත. අද වන විට පෙර පාසල් අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා ම පෞද්ගලික අංශය අධ්‍යාපනයේ මූලිකත්වය අත්පත් කරගනිමින් හිඳී. එවන් පසුබිමක පෞද්ගලික අංශය අධ්‍යාපනයට මැදිහත් නොවිය යුතු බව කියමින් අපට සටන් වැදිය නොහැකිය. වර්තමානයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන බොහෝ පිරිස් විභාග තරගයට මුහුණ දී ඇත්තේ රජයේ පාසල්වලින් ලද අධ්‍යාපනයෙන් නොව, ටියුෂන් කඩවල පිහිටෙනි. වෛද්‍ය පීඨයට ඇතුළත්වන ළමුන්ගෙන් බහුතරය මධ්‍යම පාංතිකයින්ගේ දරුවන් වන අතර ඔවුන් එක් අයකු මසකට අවම වශයෙන් රුපියල් තිස්දාහක් පමණ අතිරේක පංති සඳහා වැයකොට ඇත. මෙයාකාරයෙන් බලන කල රාජ්‍ය අධ්‍යාපනය ද පැමිණ ඇත්තේ පෞද්ගලික අංශය මත යැපෙන මට්ටමකට ය. විශ්වවිද්‍යාලයේ උපාධිය හදාරන දරුවන් ඉංග්‍රීසි ඉගැනීමට අතිරේක පංති සොයා යන්නේ ඔවුන් ඉගෙනගත් රජයේ පාසල් ගුණාත්මක ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබාදීමට අසමත් වී ඇති බැවිනි. රජයේ විශ්වවිද්‍යාලවල සහ පාසල්වල තත්ත්වය එයයි. පිරිවැයක් දැරිය හැකි මාපියන් තමන්ගෙ දරුවන් රජයේ පාසල්වලට ඇතුළත් කරන්නේ නැත. ජනප්‍රිය පාසල් සහ පෞද්ගලික පාසල්වලට යොමු කරයි. ඒ අතර ගුණාත්මක අධ්‍යාපනයේ මඟ ඇහිරී ඇත්තේ දුප්පතුන්ට ය. දුප්පතුන් අඩුපහසුකම් සහිත, ඉගැන්වීම් විෂයමාලා තත්කාලීන නොවුණ, ඉගැන්වීමේ ගුණාත්මක බවක් නොමැති, ගුරුවරුන් උකටලී ස්වභාවයෙන් සේවය කරන රජයේ පාසල්වලට ඇතුළත් ව අනාගතය දෙස අවිනිශ්චිතව බලා හිඳී.

එහි ද ඇත්තේ සුපිරි වෙළෙඳසල් සහ සමූපකාර අතර ඇති වෙනසයි. වඩා ආදර්ශමත් සේවයක් දෙන්නේ කවුරුන්ද යන වග අමුතුවෙන් කිව යුතු නැත. රජයේ පාසල් සහ ආයතන නම් දරා ඇත්තේ මහජනතාවගේ බදු මුදල් විනාශ කරන, පාඩු ලබන සහ ගුණාත්මක සේවයක් ලබා නොදෙන ආයතන ලෙස ය. එවන් පසුබිමක ඇතිහැකි අය තම දරුවන් විදේස්ගත කොට හෝ පෞද්ගලික පාසල්වලට යොමු කොට අධ්‍යාපනය ලබා දීමේ වරදක් ද නැත.

ඉගැන්වීමේ ක්‍රමවේද

රජයේ පාසල් පද්ධතිය ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමට සහ විසිඑක් වැනි ශතවර්ශයට අවශ්‍ය කරන නායකයින් බිහි කිරීමට අසමත් ව සිටී. එක් අවස්ථාවකදී නායකත්ව පුහුණු වැඩසටහනක් වෙන ම ක්‍රියාත්මක කිරීමට රජයට සිදු වූයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් තුළ පවා අවශ්‍ය නායකත්ව කුසලතා නොවූ බැවිනි. අපේ අධ්‍යාපනය ඇත්තේ එවන් විහිළු සහගත තත්ත්වයක ය. ලාබ ලබන පරමාර්ථයෙන් ක්‍රියාත්මක වුව අද බොහෝ පෞද්ගලික පාසල් ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදෙන බව පැහැදිලි ය. බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලය, මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, හිල්වුඩ් විද්‍යාලය වැනි පෞද්ගලික පාසල්වලින් ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදෙනවා සේ ම බඳවාගන්නා ගුරුවරුන්ගේ ද ඉහළ ගුණාත්මක භාවයක් ඇත. ගුරුවරුන්ට නිරන්තර පුහුණුවක් ලබාදෙනවා සේ ම දිරිගැන්වීම ද සිදු කරන අතර ශිෂ්‍යයන්ගේ විෂය සමගාමි ක්‍රියාකාරකම් හා ඉගැන්වීම් කටයුතු නිසි ලෙස ඉටු කරන්නේ ද යන්න පිරික්සීමෙන් අනතුරු ව වැටුප් වර්ධක ලබා දීම හෝ ඉවත් කිරීම සිදු කරයි. ගුරුවරුන් බඳවා ගන්නේ ද ඉගැන්වීමේ හැකියාවක් ඇතිදැයි පරීක්ෂා කිරීමෙන් පසු ව ය. මුදල් අය කළ ද මෙම පාසල්වලින් බහුතරයක් රජයේ පාසල්වලට සාපේක්ෂව ලබාදෙන්නේ ගුණාත්මක අධ්‍යාපනයකි.

රජයේ පාසල්වලට ගුරුවරුන් ලෙස බොහෝ විට බඳවා ගන්නේ ඉගැන්වීමේ ක්‍රමයවේදය පිළිබඳ මෙලෝ අවබෝධයක් නැති උපාධිධාරීන් ය. දරුවන්ට ඉගැන්වීමට ගුරුවරයා සතු උපාධිය පමණක් නොසෑහේ. ඔවුන් අතරින් ඇතැමුන් ගුරු වෘත්තිය තෝරාගන්නේ වෙනත් රැකියාවකට යෑමට ඇති නොහැකියාව හේතුවෙනි. ගුරු වෘත්තිය පිළිබඳ කැමැත්තක් හෝ පුහුණුවක් නැති පිරිස ගුරුකම් කරන විට ඉගැන්වීමේ ක්‍රියාවලිය බිඳවැටීම පුදුමයට කරුණක් නොවනු ඇත. වෛද්‍යවරයෙකු වීමේ අපේක්ෂාවෙන් ඉගෙන ගෙන, අවසානයේ විද්‍යා ගුරුවරයකු ලෙස රැකියාව කිරීමට සිදුවන ඇතැමුන් පාසල් තුළ ගුරු භූමිකා නිරූපණය කරනුයේ අපේක්ෂා භංගත්වයෙන් ඇති වූ වේදනාවෙනි. අවසානයේ පාසලේ ඉගැන්වීම පසෙක තබා අතිරේක පංති පවත්වා මුදල් උපයයි. රජයේ පාසල්වල ඛේදනීය තත්ත්වය මෙයයි. ගුරුවරුන් බඳවා ගැනීමේ ප්‍රමිතියක්, පුහුණු කිරීමේ ප්‍රමිතියක් හෝ පාසල් පද්ධතියේ රඳවාගැනීමේ ක්‍රමවේදයක් නැත. ජනප්‍රිය පාසල් සහ ජාත්‍යන්තර පාසල් දක්ෂ ගුරුවරුන් ඇද ගැනීමේ උපායක් ලෙස ආකර්ෂණීය වැටුපක් ලබාදෙන අතර ම ඔවුන් නියාමනය කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක කරයි.

හණමිටි අදහස්

පෞද්ගලික පාසල්වලට සාපේක්ෂව රජයේ පාසල්වල තාක්ෂණික පහසුකම්, දේශන ශාලා පහසුකම්, සන්නිවේදන පහසුකම් හා අනෙකුත් පරිපාලන පහසුකම් ඇත්තේ ඉහළ තත්ත්වයක ය. රජයේ විශ්වවිද්‍යාලවල සහ පාසල්වල ආපන ශාලාවලින් අපිරිසිඳු ආහාර ගෙන දරුවන් ජීවිතය පවත්වාගෙන යෑම ම එක්තරා පුදුමයකි. මෙවන් වටාපිටාවක රජයේ පාසල්වල ගුණාත්මක තත්ත්වය පිළිබඳ සහතික විය නොහැක. ඇතැම් රජයේ පාසල් පවතින්නේ ධනය බලය ඇත්තවුන්ගේ බූදල් ලෙස ය. රජයේ පාසල්වල පවත්නා මේ සියලු අකටයුතුකම් හා අඩුලුහුඩුකම් හමුවේ පෞද්ගලික පාසල් සහ පෞද්ගලික අධ්‍යාපනයයේ පැවැත්ම මෙරට තහවුරු ව ඇත. එසේ ම එහි පැවැත්ම සාධාරණීකරණ වී හමාර ය.

සමාජවාදී සංකල්ප හා හණමිටි අදහස් කරපින්නාගෙන විසි එක්වන සියවසට මුහුණ දිය නොහැක. රුසියාව, චීනය සහ අනෙකුත් සමාජවාදී රටවල් අද වන විට සමාජවාදයට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ අංග ලක්ෂණ එක්කොට ගෙන ඇත. අධ්‍යාපනය සියල්ලන්ට ම ලැබීමේ අයිතිය ලිබරල් මානවවාදී අයිතියකි. ඒ අර්ථයෙන් පෞද්ගලික පාසල්වල පැවත්ම අද වන විට අභියෝගයට ලක්කළ නොහැක්කකි. නමුත් ඇතැම් දේශපාලනඥයන් පෞද්ගලික පාසල්වල පැවැත්මට අභියෝග කරමින් සිටී. එක් අවස්ථාවක දී දේශපාලනඥයකු විවේචන එල්ල කළේ පෞද්ගලික පාසලක ශිෂ්‍යාවකට උසස් පෙළ ප්‍රථම ස්ථානය ලබාදීම වැරදි සහගත ක්‍රියාවක් බව පවසමිනි. අධ්‍යාපනය යනු පෞද්ගලික පාසලේ දරුවාට සහ රජයේ පාසලේ දරුවාට වෙන වෙන ම හැඳිවලින් බෙදන්නක් නොවිය යුතු වග සියල්ලන් වටහාගත යුතු ය.

පවත්නා පෞද්ගලික පාසල් ද රජයට පවරාගනිමින් ඒවායේ සුබසාධක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ජනතාව මත තව තවත් බදු බර පටවනවාද? නැති නම් පෞද්ගලික අංශය හා එක්ව අධ්‍යාපනයේ ගුණාත්මක බව දියුණු කරනවාද යන්න තීරණය කළ යුතුය.

පෞද්ගලික අංශය සමඟ අධ්‍යාපනය දියුණු කරන විට රජයේ අනුමත පෞද්ගලික පාසල්වලට තවත් පිරිවැය දැරිය හැකිනම් ශාඛා පාසල් ඇති කිරීම ඉඩ දීමේ කිසිඳු වරදක් නැත. ඉගෙන ගැනීම රටේ ජනතාවගේ අයිතියකි. රජයේ පාසල්වලින් ගුණාත්මක අධ්‍යාපනයක් නොදෙනවා නම් තමන්ගේ දරුවා ජනප්‍රිය පාසලකට ඇතුළු කරගැනීමත් කළ නොහැකි නම්, විකල්පය වන්නේ දරුවාට ප්‍රමිතියකින් යුතු අධ්‍යාපනයක් ලබාදෙන පෞද්ගලික පාසලකට ඇතුළත් කිරීම නොවෙද? එම පාසල් වෙනුවෙන් රජයට කළ හැකි සහ කළ යුතු දෙය නම් විධිමත් නියාමනයක් ඇති කිරීමයි. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යංශය විද්වතුන් මෙහෙයවිය යුතු ය. කිසිවකු මෙම සංවර්ධනාත්මක පියවර විවේචනය කරන්නේ නම් රජය සියලු දෙනාට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදෙන්නේ කෙසේද යන ගැටලුවට ඔහු විකල්ප විසඳුමක් ඉදිරිපත් කළ යුතු ය.

පෞද්ගලික අංශයේ මූලික අපේක්ෂාව ලාබ ලැබීම වුවත් සාධාරණ ලෙස ලාබ ලැබීම ගැටලුවක් නොවේ. එසේ ම පෞද්ගලික පාසල්වලින් ලබා ගන්නා බදු මුදල් දුප්පතුන්ගේ ගුණාත්මක සංවර්ධනය වෙනුවෙන් යෙදවීම රජයට කළ හැක්කකි.

කළ යුත්තේ යල්පැන ගිය අධ්‍යාපන අදහස් සහ කෝපි කාලේ මතයන් ඒ ලෙස ම ඉදිරියට ගෙන යෑම නොව, නව සංකල්පයන් ඔස්සේ දරුවන්ට ගුණාත්මක තත්ත්වයෙන් යුතු අධ්‍යාපනයක් ලබා දීම ය. එහිදී රජයේ පාසල් අසමත් ව ඇති බව මොනවට පැහැදිලි ය. දරුවන්ට රජයේ පාසල් හෝ රජයේ පාසල්වල ගුරුවරුන් පිළිබඳ විශ්වාසයක් නැත. විභාග තරගයට ඔවුන් මුහුණ දෙන්නේ අතිරේක පංතිවල පිහිටෙනි.

ගුණාත්මක බව

අප උත්සාහ කළ යුත්තේ පෞද්ගලික අංශය හා එක් ව විද්වතුන්ගේ මඟ පෙන්වීම යටතේ දරුවන් තුළ විසි එක්වෙනි ශත වර්ශයට ගැළපෙන කුසලතා ඇතිකරවීමටයි. ගැටලුව ඇත්තේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පිළිබඳ මිස අධ්‍යාපනය ලබාදෙන්නේ පෞද්ගලික අංශයෙන් ද රාජ්‍ය අංශයෙන්ද යන වග පිළිබඳ නොවේ. විද්වතුන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් එක් ව, පෞද්ගලික ව්‍යවසායකයන්ගේ අසාධාරණ ලාභ ලැබීමේ අරමුණු ඇත්නම් ඒවා ද සීමා කරමින්, අවශ්‍ය ගුණාත්මක අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන් වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු ය. එය රටේ අනාගතය වෙනුවෙන් සැබෑ වුවමනාවෙන් කළ යුතු කර්තව්‍යයකි. විය යුත්තේ සුබසාධනවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී පෞද්ගලික අංශයේ දායකත්වය උපරිමයෙන් ලබාගැනීමට ය. ඒ වෙනුවෙන් රජය ගත් මෙම පියවරෙහි කිසිඳු වරදක් දැකිය නොහැක. මෙවන් යහ කටයුතුවලදී ද මැසිවිලි නඟන්නේ අවස්ථාවාදී දේශපාලකයින් සහ ඊර්ෂ්‍යාකාර පාර්ශ්වයන් ය. කළ යුත්ත නම් රටට වැඩදායි තීරණවලදී කකුලෙන් අදින පිරිස වාරණය කොට රට ගැන හැබෑ හැඟීමක් ඇති පිරිසට ඉඩ දීම ය.

කාංචනා සිරිවර්ධන


නව අදහස දක්වන්න