ලුණු නිසා දියවෙන පාලවිය | දිනමිණ

ලුණු නිසා දියවෙන පාලවිය

 එක් පසෙකින් මාර්ගය ලුණු ජලයට ශීඝ්‍රයෙන් ඛාදනය වෙද්දී අනෙක් පසින් වැසි ජලය නිසාවෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම යටවේ. එසේ ජල ගැලීම් හේතුවෙන් මාර්ගය අපදාවට ලක්වන්නේ ද ලුණු ලේවායේ ඉදිකර ඇති ගබඩා ටැංකිය හේතුවෙන් බව ප්‍ර‍ෙද්ශවාසීන්ගේ අදහසයි. පාලවිය පච්චකාඩු මුන්දල් ගම්මානයේ ජනයාගේ තම හිස මතට හිසට සෙවණ දෙන්නා වූ නිවෙස මුළු මනින්ම කඩා ටැටීමේ ඉඩකඩ බොහෝය. අසරණ දරු පවුල් සහ අහිංසක ජීවිත මෙලෙස ඇපයට තබා තමන්ගේ මල්ල පමණක් තර කර ගන්නා මෙවන් සමාජයක එයට හූ මිටි දෙන රජයේ වග කියන නිලධාරින් මර නින්දේ සිටී නම් අන් අය සමඟ කවර කතා දැයි වරෙක සිතෙනු ඇත.

පුත්තලම ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයට අයත් පාලවිය පච්චකාඩු මුන්දල් ගම්මානයේ දැනට වසර ගණානවක සිට ලුණු ලේවා වලින් බැහැර කරන අපවිත්‍ර ජලය සහ එහි ගබඩාකර ඇති ලුණු ජලය නිසාවෙන් ප්‍රදේශයේ නිවාස රැසකට බරපතළ අලාභ හානි සිදුව ඇති බවට සිය නිවෙස් හිමියන් දුක්මැසිවිලි නගති.

මේ ගම්මානයේ පවුල් 100ට ආසන්න ප්‍රමාණයක් මෙහි ස්ථීර පදිංචිකරුවන් වන අතර, මොවුන් සිය නිවාස ඉදිකරගෙන ඇත්තේ දැඩි ආර්ථික අපහසුතා රැසක් කරපින්නාගෙනය. එදිනෙදා කුලී රැකියාවක් කරමින් ඔවුන් උපයන්නේ සොච්චම් මුදලක් බව ද කියති. ස්ථීර රැකියාවක් නැති ඉතා අසීරු ජීවිකාවක් ගත කරන මොවුන් තමන්ටම කියා නිවසක් තනා ගැනීමට දිවා රෑ දැඩි වෙහෙසක් දරා ඇති බව කියති.

නමුත් මොවුන්ගේ නිවාස සමීපයේ ඉදිකර ඇති මහා පරිමාණ ලුණු ලේවායක් හේතුවෙන් දැනට වසර ගණානවක සිට මේ නිවෙස්වල බිත්ති සියල්ලම ලුණු මිශ්‍ර ජලයත්, ලුණු මිශ්‍ර සුළගත් හේතුවෙන් ඉතා වේගයෙන් ඛාදනය වන අතර, එසේ ඛාදනයවීමත් සමඟ බිත්ති පුපුරා කැඩී වැටෙන්නටද පටන්ගෙන ඇත.

වසර ගණානවක සිට දැඩි අසීරුතාවන්ට වරින්වර මුහුණ දෙන නමුත් මේ සම්බන්ධයෙන් වගකිවයුතන් විසදුමක් ලබා දීමට මුණුවත රකින බව පැවසේ .

අදාළ ලුණු ලේවාය මඟින් බැහැර කරන අප ජලයත්, ලුණු නිෂ්පාදනය සදහා කළපුවෙන් රැගෙන එන යෝධ ජල කද රැස්කර ඇති ගබඩා ටැංකියත් මොවුන්ගේ නිවාසවලට විනකටින ජනතාව කියති.

එපමණක් නොව අදාළ ලුණු මිශ්‍ර ජල තාටාංගය ඉදිකර ඇත්තේ ද අසලින් දිවෙන ප්‍රධාන මාර්ගය සමීපයේ බැවින් එම ප්‍රධාන මාර්ගය ද දිනෙන් දින දැඩි ලෙස ඛාදනය වීමේ ප්‍රවණතාවයක් ද දක්නට ලැබේ.

එබැවින් මාර්ගය දැඩි ලෙස අබලන්ව ඇති අතර ගමනා ගමනයට ද බාධා එල්ලවෙමින් තිබේ.

එක් පසෙකින් මාර්ගය ලුණු ජලයට එසේ ශීඝ්‍රයෙන් ඛාදනය වෙද්දී අනෙක් පසින් වැසි ජලය නිසාවෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම යටවේ. එසේ ජල ගැලීම් හේතුවෙන් මාර්ගය අපදාවට ලක්වන්නේ ද ලුණු ලේවායේ ඉදිකර ඇති ගබඩා ටැංකිය හේතුවෙන් බව ප්‍රෙද්ශවාසීන්ගේ අදහසයි.

පාලවිය පච්චකාඩු මුන්දල් ගම්මානයේ ජනයාගේ තම හිස මතට හිසට සෙවණ දෙන්නා වූ නිවෙස මුළු මනින්ම කඩා ටැටීමේ ඉඩකඩ බොහෝය. අසරණ දරු පවුල් සහ අහිංසක ජීවිත මෙලෙස ඇපයට තබා තමන්ගේ මල්ල පමණක් කර ගන්නා මෙවන් සමාජයක එයට හූ මිටි දෙන රජයේ වග කියන නිලධාරින් මර නින්දේ සිටී නම් අන් අය සමඟ කවර කතා දැයි වරෙක සිතෙනු ඇත.

අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආසාවක් කියන මෙහෙව් රටේ මෙවැනි අපාදාවකදී තැලී පොඩී මිරිකෙන්නේ ලුණු ලේවා හිමියන්ගේ දරුවන් නොව අසරණ දිළිඳු පවුල්වල හයක් හතරක් නොතේරන දරුපැටව් බව කණගාටුවෙන් කිව යුතුය.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුකදී පච්චකාඩු මුන්දල් ගම්මානයේ සුරේෂ් මහතා පවසා සිටියේ මෙවැන්නකි.

" මම දන්න දා ඉදලා මේ සෝල්ටන් එකෙන් මුදා හරින වතුර කෙලින්ම ගලාගෙන යන්නෙ අපේ ගෙවල් ගාවින්. ඒ නිසා අපි දැඩි පීඩාවට ලක්වෙලා ඉන්නේ. වැසි කාලෙට මිදුලකට බහින්න විදියක් නැහැ. පාරක තොටක අඩියක් තියලා යන්න බැහැ. ඒ තරමට අපේ ගම වතුරෙන් යටවෙනවා. රට වටේම වැහි කාලෙට අපාදා සහන කියලා ලොකුවට කතා කරනවා. බෝඩ් ගහනවා. අපේ අපදාව බලන්න කවුරුත් එන්නෙ නැහැ. ඡන්දෙ කාලෙට එනවා ඡන්දෙ දෙන්න කියනවා. එතකොට අපි මේ ප්‍රශ්නෙ කියපුවාම වැහි කාලේට එන්නම් කො කියන එකයි කියන්නේ. ඡන්දෙ අරන් ගියාට පස්සෙ ඒ අය කළු ද සුදු ද කියලා අපි දකින්නෙත් නැහැ. මේක අපිට ලොකු හිස රදයක්. අපි ගැන හොයලා බලන්න කිසිම කෙනෙක් නැහැ. ඒකයි කණගාටුව අපිට කියලා මානව අයිතිවාසිකම් නැද්ද? කොහෙවත් යන ලුණු කොටුවක් නිසා අපේ මානව අයිතීන් කොටුකරලා වැට බැදලා ඉවරයි. මේ ගැන බලධාරින්ට කොච්චර කිව්වත් වැඩක් නැහැ. ඒ කියන කට කළු ගලක උලා ගත්තනම් හොදයි කියලා හිතලා තමයි අපි රටේ වගකියන මාධ්‍යට මේ අපේ දුක්මුසු කතාව මුදා හරින්න තීරණය කෙරුවෙ."

පච්චකාඩු මුන්දල් ගම්මානයේ රවි චන්ද්‍රන් මහතා.

"අපි මේ ලුණු ලේවා හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ ලුණු ලේවාය නවත්වන්න කියලා නෙවෙයි.අපි ඉල්ලන්නේ එකම දෙයයි. ඒ තමා මේ ලුණු ලේවායේ ගබඩා ටැංකිය හදලා තියෙන්නෙ පාර අයිනෙ හින්දා ඒ ටැංකිය ඒ ස්ථානයෙන් අනිවාර්යෙන් ඉවත් කරන්න. එයාලා මේ ටැංකියට වතුර පුරවද්දී වැඩි වතුර සේරම ගලා බසින්නෙ පාරට. ඊට පස්සේ පාර යටවෙනවා. ඒ යටවෙන වතුර සේරම නැවත ගලා බසින්නෙ අපේ ගෙවල්වල මිදුල් උඩින්. අන්න ඒ නිසා මේ වතුර යවන්න ක්‍රමයක් අපිට හදලා දීලා අපේ අබලන් වෙලා තියෙන පාර සම්පූර්ණයෙන් බොරළු දාලා හරි කමක් නැහැ හදලා දෙන්න. අපිටයි අපේ දරුවන්ටයි නිදහසේ යහපත් ජීවිතයක් ගත කරන්න ඉඩ දෙන්න. දැනට අපේ ගමේ ගෙවල් 30ක් විතර සම්පූර්ණයෙන්ම ලුණු නිසා බිත්ති සේදිලා කැඩිලා වැටෙනවා.හැම අවුරුද්දකම ඒ බිතිත් අලුත් වැඩියා කරන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපි මාස හයෙන් හයට ඒ බිත්තිවලට තීන්ත අලේප කරනවා. ඉතිං මේ සෙල්ලම අපිට තව දුටත් කර ගන්න අපහසුයි. අපි ඒ තරම් ආර්ථික මට්මෙන් පොහොසත් නැහැ කියන එක මේ ලුණු ලේවා කරුවන් හොදින්ම දන්න කරුණක් කියන එක මම තරයේ කියන්න කැමතියි.

පච්චකාඩු මුන්දල් ගම්මානයේ සින්නම්මා මහත්මිය.

"අපි බොහොම අමාරුවෙන් හිඟානොකා හිඟාකාලා තමයි මේ ගේ හදා ගත්තේ. අපි රෑට නින්දට යන්නේ පහුවදාට නැගිටනවා කියන බලාපොරොත්තුවෙන් නම් නෙමෙයි. මොකද ඒ තරමට ගේ කැඩිලා විනාශ වෙලා තියෙන්නේ. නිවසේ බිත්ති සේරම මේ වෙද්දී ලුණු ජලයට හේදිලා විනාශ වෙලා. ඒ පැත්තෙන් ඉඟිලෙන කාක්කා ගේ ඇතුලෙ ඉදලා බලන්න පුළුවන් විදියට බිත්ති හේදිලා තියෙන්නෙ. පොල් අතු ගෙවල්වල පොල් අතු නැහැ. ඉරටු විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ. අනෙක වැසිකිළියකට ගිහිල්ලා ඉදගන්න බැහැ හතර වටේටම පේනවා බිත්ති සේරම දියවෙලා හින්දා."


කේ.ප්‍රියංකර කළුපහන
වනාතවිල්ලුව සමූහ


නව අදහස දක්වන්න