ගෝලීය මූල්‍ය වෙළෙඳ පොළෙන් වාසිදායක අරමුදල් ලබාගැනීමට ක්‍රියා කරන බව මුදල් අමාත්‍යවරයා කියා සිටී. අමාත්‍ය මංගල සමරවීර මහතා මේ අදහස් පළකර ඇත්තේ ඉදිරි අයවැය සම්බන්ධයෙන් පැවැති සම්මන්ත්‍රණයකදී ය. ගෝලීය ණය, ආධාර හා සහයෝගය රටක වේගවත් සංවර්ධනයක් සඳහා අත්‍යවශ්‍ය සාධක ලෙස සැලැකිය හැකි ය. මීට දසක කිහිපයකට පෙර ලෝක බැංකුවේ උපදේශනය වූයේ ශ්‍රී ලංකාව වැනි රටවල් ණය ලබාගැනීමට මැළි විය යුතු නැති බව ය. ණය ගෙවීම අතින් මෙන් ම ලබාගත් ණය ප්‍රයෝජනයට ගැනීම අතින් ද සතුටුදායක තැනක ශ්‍රී ලංකාව පසු විය. විදේශීය ණය ශ්‍රී ලංකාව තුළ බලවත් අර්බුදයක් මවන්නට වූයේ මෑතක සිට ය.
එක අතෙකින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඔරොත්තු නො දෙන තරම් ණය ලබාගැනීමට ඇතැම් ආණ්ඩු ක්‍රියා කර ඇත. තව අතෙකින් සමහර ණය ලබාගෙන ඇත්තේ කෙටිකාලීන ලෙස ගෙවන හා අධික පොලියක් සහිත ගිවිසුම් යටතේ ය. තවත් අතෙකින් ලබාගත් ඇතැම් ණය විනිවිදභාවයකින් යුතුව සංවර්ධනය සඳහා යොදාගෙන නැත. මෙබඳු තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකාව ණය අර්බුදයක හිර වී සිටියේ ය. දැන් එම තත්ත්වය තුනී වී ගොස් ඇති අතර මේ වසරේ ගෙවිය යුතු මුදල අමෙරිකන් ඩොලර් බිලියන පහකට වැඩි බව සටහන් වී ඇත. එම ණය ගෙවා දමන අතර රටේ සංවර්ධනය වේගවත් කිරීමේ ගැටලුවට ද ආණ්ඩුව මුහුණ දී සිටී.
මුදල් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රටේ සංවර්ධනය සඳහා සීමිත ණය ප්‍රමාණයක් ලබාගැනීමට ක්‍රියා කරන බව ය. එම ණය මුදල් ලබාගැනීමේදී දිගුකාලීන ගෙවීම් කාලසීමා ලබාගැනීමට ද, පොලී ප්‍රමාණය අඩුකර ගැනීමට ද සාකච්ඡා කරන බව අමාත්‍යවරයා තවදුරටත් පෙන්වා දෙයි. ණය මුදල් භාවිතයේදී මූල්‍ය විනයට හා විනිවිදභාවයට මුල් තැන ලබාදෙන බව ද මංගල සමරවීර මහතා කියයි. විදේශීය ණය ලබාගැනීම ශ්‍රී ලංකාවට අරුමයක් නො වේ. විදේශීය ණය හා ආධාර ලබාගැනීම පැවැති සෑම ආණ්ඩුවක් ම සිදුකර ඇත. ප්‍රශ්නය ඇත්තේ ඒවා වියදම් කිරීම ගැන ය. ණය මුදල් හා ආධාර නාස්ති කරන රටවල් කෙරෙහි ජගත් මූල්‍යායතනවල විශ්වාසයක් නැත.
ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය උප සභාපතිවරයා මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ ආර්ථිකය හා සංවර්ධනය පිළිබඳ හොඳ සහතිකයක් ලබා දුන්නේ ය. ඒ මහතාගේ ප්‍රකාශවලින් පැහැදිලි වන්නේ පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාව ග්‍රාමීය දිළිඳුකම පිටුදැකීම සම්බන්ධයෙන් විශේෂ ජයග්‍රහණ රැසක් ලබා ඇති බව ය. අපේ ආර්ථිකයේ ප්‍රධාන අභියෝගය දිළිඳුකම පිටුදැකීම යැයි කිව හැකි ය. එයින් ද ග්‍රාමීය දිළිඳුභාවය විශේෂ වෙයි. ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 70% කට ආසන්න පිරිස ග්‍රාමීය අංශයට අයත් වෙති. එයින් ද බහුතරය දිළිඳුභාවයේ ගිලී සිටිති. මේ අභියෝගය ජයගැනීම සඳහා සාර්ථක පියවර ගත හැකි නම්; ශ්‍රී ලංකාව කෙටි කාලයක් තුළ දියුණු කළ හැකි ය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය හා සංවර්ධනය ගැන මත පළකරන අය විවිධ අදහස් දක්වති. එක අදහසකට අනුව රට වහා ම නිෂ්පාදන ආර්ථිකයක් කරා ගෙන යා යුතුය. තව අදහසකට අනුව ලෝකයේ නව ප්රවණතාවට අනුව රට වහා ම සේවා ආර්ථිකයක් කරා ගෙන යා යුතුය. තවත් අදහසකට අනුව ශ්‍රී ලංකාවේ පිහිටීම ගැන සැලැකිල්ල යොමුකොට රට සාගර ආර්ථිකයක් කරා ගෙන යෑම වඩා කාලෝචිත ය. රජය මේ සෑම අංශයක් කෙරෙහි ම අවධානය යොමුකර ඇති බවක් පෙනෙයි. සමස්තයක් ලෙස සෑම අංශයකින් ම ආදායම් ලබාගැනීම රජයේ ඉලක්කය වී ඇති බව පැහැදිලි ය. ඒ මඟින් ආර්ථිකයට එල්ල වන අවදානමෙන් ද මිදෙන්නට පුළුවන.
චීනය ලෝකයේ වේගවත් ම සංවර්ධනයක් අත්පත් කරගත් රාජ්‍යයෙකි. එරට ආර්ථිකයේ සෑම අංශයක් කෙරෙහි ම රජයේ දැඩි අවධානය හා අධීක්ෂණය පවතී. චීනයේ පාසලක පන්ති කාමරය හඳුන්වන්නේ වැඩබිමක් ලෙස ය. නැතහොත් පර්යේෂණ ස්ථානයක් ලෙස ය. චීනයේ පාසල් දරුවන්ගේ ඇතැම් නිර්මාණ අපනයන භාණ්ඩ බවට පරිවර්තනය වෙයි. ලෝකයට අවශ්‍ය ‘ටූත්පික්’ හෙවත් දත්කූරු වැඩියෙන් ම අපනයනය කරන රට චීනය වෙයි. ඒවායින් බොහොමයක් නිෂ්පාදනය වන්නේ චීන පාසල් දරුවන්ගේ අත්වැඩ පාඨමාලාවට යටත්වය. මෙයින් නිෂ්පාදන ආර්ථීකය පොහොසත් වී ඇත. ජනතාවගේ ආර්ථික දායකත්වය ඉහළ ගොස් ඇත.
දකුණු කොරියාව, විදුලි යන්ත්‍ර, රථ-වාහන, නිමි-ඇඳුම්, වානේ නිෂ්පාදන පමණක් නො ව; ටෙලිනාට්‍ය පවා නිෂ්පාදනය කරන්නේ විදේශීය වෙළෙඳපොළ ඉලක්ක කරගෙන ය. ශ්‍රී ලංකාව නිදහස ලබාගන්නා විට දකුණු කොරියාව වැනි රටවල් පසුවූයේ ආර්ථික වශයෙන් අපට වඩා පහළ තැනක ය. එහෙත් දසක පහක් වැනි කාලයක් තුළ දකුණු කොරියාව වේගවත් දියුණුවක් ලබා තිබේ. නූතන දකුණු කොරියාව අපේ ශ්‍රමිකයන්ට හා තාක්ෂණික ශිල්පීන්ට රැකියා සපයන රාජ්‍යයක් බවට පත් ව සිටී. චීනයෙන්, දකුණු කොරියාවෙන් පමණක් නො ව; ඉන්දියාවෙන් පවා අපට ආර්ථික ආදර්ශ ලබාගත හැකි ය. ඉන්දියාවේ ‘අමූල්’කිරි නිෂ්පාදන ව්‍යාපාරය ඊට හොඳ ම නිදසුනකි. ලෝකයේ දෙවන විශාල ජනගහනය සහිත රාජ්‍යයට අවශ්‍ය කිරි ප්‍රමාණය සපයන්නට ‘අමූල්’ ව්‍යාපාරය සමත් වී ඇත.
සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඔසොවා තබන නව සංවර්ධන වැඩසටහන් ගණනාවක් දැන් ක්‍රියාත්මක වෙයි. ‘ග්‍රාම ශක්ති’, ‘ගම්පෙරැළිය’ හා’එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා’ ඒ අතරින් ප්‍රධාන වෙයි. ග්‍රාම ශක්ති හා ගම්පෙරැළිය යන වැඩසටහන් දෙක ම ගැමි ආර්ථිකය නැංවීම සඳහා ක්‍රියාත්මක ය. එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ඔස්සේ සිදුවන්නේ නව ව්‍යවසායකයන් බිහිකිරීමය. ඔවුනට අවශ්‍ය උපදේශන මෙන් ම මූල්‍ය පහසුකම් ද රජය ලබා දෙයි. ව්‍යවසායකයන් වැඩිවන තරමට නිෂ්පාදන ආර්ථිකය පුළුල් වෙයි. ඒ මඟින් ආදායම් වැඩි වෙයි. රැකියා බහුල වෙයි. මේ වැඩසටහන්වලට ගැළපෙන ලෙස අධ්‍යාපනය ද වෙනස් වෙමින් පවතී. නූතන පාසල වෘත්තීය අධ්‍යාපනය දෙසට ද හැරී ඇත. එය සාධනීය ලක්ෂණයකි.
ශ්‍රී ලංකාව කෙටි කාලයක් තුළ දියුණු කළ හැකිය යන අදහස ආණ්ඩුවට තිබේ. ආණ්ඩුව ඒ සඳහා හඳුන්වා දී ඇති වැඩසටහන් ද වැදගත් ය. ලබන අයවැය ඔස්සේ ඉහත වැඩසටහන් සඳහා වැඩි ප්‍රතිපාදන වෙන්කරනු ඇතැ’යි සිතන්නට පුළුවන.
නව අදහස දක්වන්න