ළමයි ආවම ලිවීම හමාරයි | දිනමිණ

ළමයි ආවම ලිවීම හමාරයි

කාලීඩ් හුසෙයිනි

කාලිඩ් හුසෙයිනි ප්‍රකට ලේඛකයෙකි. ඔහු විසින් රචිත 'The kite runner','A thousand splendid suns', 'And the mountains Echoed' ලොව පුරා විකිණී ඇත්තේ මිලියන ගණනිනි. 'Sea prayer'ඔහුගේ නවතම කෘතියයි. වෛද්‍ය වෘත්තියෙන් සමුගත් හෙතෙම, දැන් පූර්ණකාලීනව ලේඛනයේ නිරත වේ.

මම උදේම නැඟිටිනවා. ඊට පස්සේ ව්‍යායාම කරන්න යනවා. ගෙදර ඇවිත් ළමයි ස්කෝලෙට ඇරලනවා. මමයි-බිරියයි මේ රාජකාරිය බෙදාගෙනයි කරන්නේ. ඒ නිසා සමහර දවස්වලට ළමයි ස්කෝලෙට ඇරලන එක මගේ දිනචරියාවෙන් හැළෙනවා. ඊට පස්සේ උදේ කෑම කමින් පත්තරේ කියවනවා. පත්තරෙත් මුලින්ම මුල් පි‍ටුව. ඇෆ්ගනිස්ථානෙ ගැන තියෙන ප්‍රවෘත්ති මම එකක් නෑර කියවනවා. ඊට පස්සේ ක්‍රීඩා පි‍ටුව බලනවා. මේ ඔක්කොම ඉවර වෙලා තමයි ලියන්න පටන් ගන්නේ. එතකොට 8.30 වගේ වෙලා. 8.30 ඉඳන් හවස 2.00 වෙනකන් වගේ දිගටම ලියනවා. එතකොට ස්කෝලෙ ඇරෙන වෙලාව හරි .ගිහින් ළමයිව ගෙදර අරගෙන එනවා.

සාමාන්‍යයෙන් මට ලියන්න ඉඩ හම්බ වෙන්නේ ළමයි ස්කෝලෙ ගිය වෙලාවට තමයි. මොකද ඒ වෙලාව විතරයි ගෙදර නිශ්ශබ්ද. කෝපි කෝප්පෙකුත් හදාගෙන මං හීන්සැරේ ලියන කාමරේට යනවා. හැබැයි ලියන්න පටන් ගත්තම සංගීතයක් ඇහුණොත් ලිවීමට බාධා වෙනවා. ලියන ගමන් සංගීතයක් අහන්න මම කීප පාරක් උත්සාහ කළා. හරි ගියේ නෑ. ලියන්න නම් බොහොම නිශ්ශබ්ද පරිසරයක් ඕන කියලා අන්තිමට මම තේරුම ගත්තා.

මම ලියන්න පටන් ගන්නකොට එක්කො රූපයක් හිතේ මවා ගන්නවා. එහෙමත් නැත්නම් දෙබසක් ගැන හිතනවා. ඒක ආරම්භක සලකුණ විදිහටයි මම පාවිච්චි කරන්නේ. ඊයේ ලියලා ඉවර කරපු පි‍ටු දෙක-තුන කියවමින් අද ඉතිරි ටික ලියන්න පටන් ගන්නවා. ඒත් සමහර දවස්වල එක අකුරක්වත් ලියාගන්න පුළුවන් වෙන්නෙ නෑ.

ලියන අතරතුර විනාඩි 2-3 විවේක ගන්නවා. ඒ විවේක කාලෙ, ඉතා ම අමිහිරි විදිහට ගිටාරය වයනවා. දවසකට පි‍ටු 2-3 ලියලා ඉවර කරනවා. ළමයි ගෙදර ආවහම ලේඛකයගේ චරිතෙන් තාත්තගෙ චරිතෙට මාරු වෙනවා. මගේ ලියන මේසෙ ඉස්සරහා බිත්තියේ ළමයි ඇඳපු චිත්‍රයක් එල්ලලා තියෙනවා. ඒ චිත්‍රෙ තියෙන්නෙ දේදුනු, මාළු, ගස් වගේ ඉතා ම ප්‍රීතිමත් දේවල්. 1965 මස්ටෑන්ග් මොඩ්ල් කාර් එකක අනුරුවකුත් මේසෙ උඩ තියෙනවා. ඊට ටිකක් එහායින් නවකතා වැඩිපුර තියෙන පොත් රාක්කෙ. කලින් කිව්ව ඉතා ම අමිහිරිව වාදනය කරන ගිටාර් එක, ලියන මේසෙට පොඩ්ඩක් එහායින්. ඔක්කොම හමුවීම්වලට වෙන් කර ගත්ත දවස්-වෙලාවල් ලියලා තියෙන්නෙ මේසෙ ළඟම තියෙන ලොකු කැලැන්ඩරේ. ඔය ඔක්කොම මොබයිල් ෆෝන් එකේ දාගන්න කියලා මගේ බිරිය හැම තිස්සෙම මා උනන්දු කරනවා. ඒත් මම, ඒවා කඩදාසියකම ලියලා තියාගන්න කැමතියි.

ලියන්න පටන් ගන්නකොට සැකිල්ලක් පාවිච්චි කරන්නෙ නෑ. කතා සැකිල්ලක් පාවිච්චි කළොත්, මාව රාමුවකට කො‍ටු වෙනවා. සිද්ධිවලට කැමැති විදිහට ගලාගෙන යන්න දෙන්න, කතාව තමන්ට ඕන පැත්ත හොයාගෙන තමන්ගේ ගමන යනවා දකින්නයි මට ඕනා. මේ හින්දම මුල්ම වටයේ කතාව එක දිගට ලියාගෙන ගිහින් ඉවර කරනවා. ඒක ටිකක් අමාරුයි. බොහෝ වෙලාවට මේ මුල් සටහන මා කළකිරවන සුලුයි. මොකද මම ලියන්න හිතන් හිටපු දේට හාත්පසින්ම වෙනස් දෙයක් තමයි මගේ අතින් ලියැවිලා තියෙන්නේ. මුලින්ම මගේ ඔළුවෙ වැඩ කරපු අදහසින් පොඩ්ඩක්වත් ලියැවිලා නෑ වගේ කියලයි මට හිතෙන්නේ. ඒ නිසා ම මම කැමැතියි, නැවත ලියන්න; නැවත, නැවතත් ලියන්න. මුලින්ම ලියාගෙන යන කතාව ඇට සැකිල්ලක් වගෙයි. ඇට සැකිල්ලට ඕන කරන අඩුම කුඩුම එකතු කරන්නෙ ඊට පස්සේ. ඇත්තම කිව්වොත් මට නම්, ලියනවා කියන්නේ නැවත ලියන එකටයි. ලියපු දේ උඩින් නැවත, නැවත ලියද්දි හංගපු තේරුම්, සම්බන්ධකම්, වෙන්න පුළුවන් දේ බොහොමයක් මට ම අහු වෙනවා. මේවා ඔක්කොම පළමු වැනි පාර ලියාගෙන යනකොට මඟහැරුණු දේවල්. නැවත ලිවීමෙන් මගේ ඔළුවෙ මුලින්ම හට ගත්ත කතාව හරියටම ලියාගන්න පුළුවන්. මේ නැවත ලිවීමේ පුරුද්ද කොයි තරම්ද කියනවා නම්, මාස හයක් තිස්සේ ලියපු පි‍ටු 75ක් වීසි කරලා, ආයෙ මුල ඉඳන් ලියන්න ගත්තා.

1999 මුල් අවුරුදුවල දවසක මම ටීවී එකේ චැනල් මාරු කරමින් ඉඳිද්දි, එක පාරටම එක චැනල් එකක ඇෆ්ගනිස්ථානෙ ගැන ප්‍රවෘත්තියක් පෙන්නුවා. තලේබාන්වරු ඇෆ්ගනිස්ථානෙ මිනිස්සුන්ට දාන නීති-රීති ගැනයි මේ ප්‍රවෘත්තියේ තිබ්බේ. විශේෂයෙන්ම ගෑනු අය සම්බන්ධයෙන් පනවන නීති. තලේබාන්වරු සරුංගල් සටන් තහනම් කළ බවත් මේ වෙලාවෙ කියැවුණා. කාබුල්වලදි මම සහෝදරයෝ එක්ක සරුංගල් යවපු හැටි, තරගෙට අනිත් එක්කෙනාගෙ සරුංගලේ නූල් කපපු හැටි එක පාරටම මට මතක් වුණා.

මේ ප්‍රවෘත්තිය මගේ හිත තරමක් සසල කළා. මම ටීවී එක ඕෆ් කරලා කෙලින්ම ලියන මේසෙට ගිහින් ලියන්න පටන් ගත්තා. මම ලියන්න පටන් අරන් තිබ්බෙ කෙටි කතාවක්. සරුංගල් යවන්න ආස පිරිමි ළමයි දෙන්නෙක්ගෙ අති සාමාන්‍ය කතාවක් තමයි මම මේ ලියන්න යන්නෙ කියලයි එතකොට හිතාගෙන හිටියේ. ඒ වුණාට හැම කතාවකටම අනන්‍ය හැඩයක්, මාර්ගයක් තියෙනවනේ. අන්තිමට මේ කතාව පාවාදීම්, අහිමි වීම්, පසුතැවීම්, පිය-පුතු සම්බන්ධතා, අහිමි මවුබිම වගේ බරපතළ කාරණා සාකච්ඡා කරන තත්ත්වෙට දුර-දිග ගියා.

පි‍ටු 25 ක විතර කෙටිකතාව අවුරුදු කීපයක් ඔහේ ලාච්චුවකට වෙලා හිටියා. සඟරාවක පළ කරන්න යවලා, ඒ අය මේ කතාව ප්‍රතික්ෂේප කරලත් තිබ්බා. ඊට අවුරුදු 02ට පස්සේ ගරාජ් එක අස් කරද්දි බිරියට මේ කතාව හම්බ වුණා. මම ආයෙමත් කතාව කියෙව්වා. ඒ වෙලාවෙ මට හිතුණා, මේක නවකතාවක් විදිහට ලියන්න. 2001 මම ලියන වැඩේ පටන් ගත්තා. මාස හයක් යද්දි පොතෙන් 3/4ක් මම ඉවර කළා. ට්වින් ටවර්ස්වලට බෝම්බ ප්‍රහාරය එල්ල වුණේ මේ අතර. මේ අත් පිටපත ප්‍රකාශකයකුට වහාම යවන්න කියලා මගේ බිරිය මට තදින්ම කිව්වා. මම ඒකට සම්පූර්ණයෙන්ම විරුද්ධ වුණා. ඒ වෙද්දි නවකතාව ගැන මට කිසි විශ්වාසයක් තිබ්බෙ නෑ. අනෙක, අමෙරිකානුවන්ට ඇෆ්ගනිස්ථානෙ ගැන කියවන්න ඕනකමක් තියෙනවා කියලා මම හිතුවෙත් නෑ. ඒත් මගේ බිරිය මගෙත් එක්ක බරපතළ විදිහට තර්ක කරන්න ගත්තා. ඇෆ්ගනිස්ථානෙ ගැන මිනිස්සු කියවන්න ඕනම වෙලාව මේ වෙලාව තමයි; ඔයාගෙ පොතෙන් ඇෆ්ගනිස්ථානෙ ගැන වෙනස් මුහුණුවරක් මිනිස්සුන්ට පෙන්නන්න පුළුවන් කියලා ඈ දිගින් දිගටම කිව්වා. අන්තිමට මම ඇගේ කතාව පිළිගත්තා. නවකතාව ඉවර කරන්න මම තීරණය කළා.

මගේ පළමු වැනි නවකතාවෙ අත්පිටපත ප්‍රකාශන ආයතන 30 ට විතර යවලා ප්‍රතික්ෂේප වුණා. 31 වැන්නා නවකතාව පළ කරන්න එකඟ වුණා. 'ද කයිට් රනර්' 2003 දී මුද්‍රණය වුණේ එහෙමයි. පොත පළ වුණාට පස්සේ මම පුදුම වුණේ, ලෝකෙ වටෙන්ම ආපු ලියුම් කන්දරාව දැකලයි. විශේෂයෙන්ම ඉන්දියාවෙන්, දකුණු අප්‍රිකාවෙන්, ටෙල් අවීව්වලින්, සිඩ්නිවලින්, ලන්ඩනයෙන්. බොහෝ දෙනකුට ඕන වුණේ ඇෆ්ගනිස්ථානෙට සල්ලි යවන්න. සමහරුන්ට ඕන වුණේ ඇෆ්ගන් අනාථ දරුවෙක් අරන් හදාගන්න.

ගුවන් යානයක් ඇතුළේ තවත් අමතක නොවෙන දෙයක් වුණා. මම 'ද කයිට් රනර්' පොත ගැන කතා කරන්න පුවත්පත් සාකච්ඡාවකට යමින් හිටියේ. මගේ එහා පැත්තේ ආසනේ හිටපු කාන්තාව 'ද කයිට් රනර්' පොතේ ගිලීගෙන නිනව්වක් නැතිව කියවනවා. ඒක හරි ම ආකර්ෂණීය; ඒ තරමටම අමුතු මොහොතක්.

මම වැඩිපුරම ආඩම්බර වෙන්නේ මගේ තුන්වැනි පොත 'And the Mountains Echoed' ලිව්ව එක ගැනයි. පළමු වැනි පොත ලියද්දි, පොත පිටවෙනකන් බලන් ඉන්න කවුරුවත් හිටියෙ නෑ. ඒත්, මිලියන ගණන් පිටපත් විකිණිච්ච පළමු වැනි පොතක් ලිව්වට පස්සෙ, දෙවැන්නට යන්න පොඩි තිගැස්මක්, දෙගිඩියාවක් ඇති වෙනවා. ඒත් කොහොම හරි ඒක ජය ගන්න සිද්ධ වෙනවා.

ආශ්‍රිත කියැවීම්

l https://bit.ly/2tDNjQM

l https://bit.ly/2TkqjEM

l https://bit.ly/2Xq6o6v

l https://on.ft.com/2SYyQ0O

කාංචනා අමිලානි

සිතුවම - Jillian Tamaki


නව අදහස දක්වන්න