තිහේ කණුව ළඟ මංගල | දිනමිණ

තිහේ කණුව ළඟ මංගල

බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ හෙට (28) පැවැත්වෙන මුදල් අමාත්‍ය මංගල සමරවීර පාර්ලිමේන්තු දේශපාලන දිවියට 30 වසරක් පිරීමේ උළෙල නිමිත්තෙනි.

මීට වසර විස්සකට පමණ පෙර දිනෙක ජාතික පුවත්පතක් නියෝජනය කරමින් එක්තරා අමාත්‍යවරයෙක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට මාධ්‍ය‍වේදියෙක් පැමිණ සිටියේය. සාකච්ඡාව ඇරඹි මොහොතකට පසු මාධ්‍යවේදියා අසන ප්‍රශ්න දියාරු බව ඇමැතිවරයාට හැඟිණ. ඔහු කර්තෘවරයාට කතා කළේය. මා ළඟට එවනකොට ටිකක් තදට ප්‍රශ්න අහන්ඩ පුළුවන් කෙනෙක් එවන්ඩ. ඊළඟ සතියේ කර්තෘවරයා මෙම ඇමැතිවරයා ළඟට යැව්වේ වෙනත් තරුණ මාධ්‍යවේදියෙකි. ඔහු ප්‍රශ්න කරන රටාවත් ඔහු‍ගේ ප්‍රශ්නත් ඇමැතිවරයාගේ හිතට ඇල්ලුවේය. සාකච්ඡාවේදී මාධ්‍ය මර්දනය ගැනත් මාධ්‍ය නිදහස ගැනත් තරුණ ඇමැතිවරයාගෙන් සෘජුව ප්‍රශ්න කෙරිණි. ඇමැතිවරයාද නොසැලී නොපැකිළිව උත්තර දී තිබිණි. මාධ්‍යවේදියා දැන් රටේ නැත.

අමාත්‍යවරයාට බොහෝ මාධ්‍යවේදීන් හමුවෙයි. හැලහැප්පිලි, ‍පෙරළි අපහාස තර්ජන, ගර්ජන සියල්ලක්ම සමව විඳගෙන අමාත්‍යවරයා සිය දේශපාලන චාරිකාවේ තවමත් නිරතය. දේශපාලනයට අතීතයක් තිබේ. ඔහුටද අතීතයක් හිමිය. ඒ අතීතය නිකම්ම නිකම් අතීතයක් නොවන්නේ ඔහුගේ දේශපාලන අතීතය බරසාර යුගාන්දරයක්ව ඇති බව ආපසු හැරී බලනවිටය.

දශක තුනක්, වසර තිහක් කෙටි කාලයක් නොවේ. පාර්ලිමේන්තුවේ ගෙවෙන කාලය අනුව ජ්‍යෙෂ්ඨත්වයට පත්වන මන්ත්‍රීවරුද සිටිති. එහෙත් වසර පහ හයකින් දේශපාලන පොළොව මත තබමින් යන බර අඩි නිසාම කෙටි කලකින් ජ්‍යෙෂ්ඨයන් වන්නන් විරලය.

දේශපාලන ආගමනය

1989 යනු එකල සිටි විපක්ෂ දේශපාලනඥයන් මෙන්ම තරුණයන් හා ශිෂ්‍යයන්ටද මව්වරුන්ට සහ පියවරුන්ටද පොදුවේ සමස්ත සමාජයටද බිඳුණු මතකයන් ඉතිරි කළ වසරකි. 88 – 89 භිෂණය ලෙස වරනැගෙන්නේද මේ කාලයයි. ජනතා විමුක්ති පෙරමුණේ දෙවන කැරැල්ල ලෙස මුද්‍රාපිත වන්නේද මෙකී කාල පරාසයමය.

1989 - දකුණේ පාර්ලිමේන්තු නියෝජනයට වරම් ලැබෙන තරුණ මන්ත්‍රීවරු කිහිපදෙනෙකි. ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂයද නියෝජනය කරමින් දකුණෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නට වරම් ලැබූ මේ මන්ත්‍රීවරුන් අතරින් වෙනස් තරුණ මන්ත්‍රීවරයෙක් එවකට මාධ්‍යයේ අවධානය දිනාගෙන තිබිණි. විදේශීය අධ්‍යාපනය ලබා දේශපාලන අත්පොත තබන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තෝරාගත් මේ තරුණ මන්ත්‍රීවරයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පූර්ණ ආශිර්වාදය හිමිවිය.

මාතර ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ලෙස ‍භෞතිස්මය ලබන මංගල පින්සර සමරවීර දෙස එදා පක්ෂයේ සිටි ඇතැම් ජ්‍යෙෂ්ඨයෝ බැලුවේ පක්ෂ නායිකාවගේ වැරැදි තීරණයක් ලෙසය. ඇඳුම් පැලඳුම් වෙනස්ය. සංකර ඌරුවට බරය. එනිසාම මේ ජ්‍යෙෂ්ඨ‍යෝ අලුත් සංවිධායකයාට මාතර වැනි වාමාංශික ආසනයක් දීම ගැන පක්ෂ නායිකාව හමුවී තමන්ගේ විවේචනය ඉදිරිපත් කරන්නටද වූහ.

මේ ජ්‍යෙෂ්ඨයන් අමතක වූ හෝ අමතක කළ කරුණක් තිබිණි. ඒ මාතර සිටි පෙරැළිකාර චරිතයක් වූ මහානාම සමරවීර මේ අලුත් සංවිධායකවරයාගේ පියා බවය. මහානාම සමරවීරට දරුවන් හතරදෙනෙකි. බිරිඳ කේමා පද්මශාන්තිය. පසුව ඇය කේමා සමරවීර වූවාය. මේ දරුවන්ගෙන් ජයම්පති ගෘහ නිර්මාණ ශිල්පියෙකි. ජයන්ති සහ චාන්දනී ළඟට මංගල පින්සරය. කොමියුනිස්ට්වාදියෙක් වූ මහානාම සමරවීර 1952 මාතර ආසනයේ මන්ත්‍රීවරයා ලෙස දෙවන පාර්ලිමේන්තුවේ අසුන් ගනියි. නීතිඥවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී දේශපාලනයට පිවිසි මහානාම සමරවීර 1956 මහජන එක්සත් පෙරමුණෙන් තරගකර මාතර අසුන ජයගත්තේය.

මංගල පින්සර සමරවීරට වයස අවුරුදු දහයේදී පමණ පිය සෙනෙහස අහිමිවෙයි. පියා ජීවිතයෙන් සමුගනියි. කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි මංගල සමරවීරට පියාගේ හදිසි වෙන්වයාම ඉමහත් කම්පනයක් ඇති කළ සිද්ධියකි.

පසුකලෙක එංගලන්තයේ පැරණිම අධ්‍යාපන ආයතනයක් වන Saint Martin’s School of Art හි අධ්‍යාපනය ලබා BA ගෞරව උපාධියක් ලබාගන්නා මංගල සමරවීර තරුණයා ඇඳුම් නිර්මාණ ශිල්පියෙක් ලෙස කටයුතු කළේය. ස්වාධීන ඒවගේම සරල ජීවන රටාවක් මංගලගේ තරුණ කාලයේ සිටම කැපී පෙනුණ කාරණාවකි.

විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙස ගිනිගත් දේශයත්, කඳුළු සෝසුසුම් සහ අහිමිවීම් සමූහ වේදනාවන්ට උත්තර සොයන්නට මංගලට වැඩි කාලයක් යොදවන්නට සිදුවිය. නාඳුනන තුවක්කුකරුවන්, මිනිස් ඝාතන, පැහැරගෙන යාම්, නිල නොවන හමුදා මෙන්ම නිල හමුදාවන්ද කහබළලුන්, ප්‍රා. මැර ආයුධ සන්නද්ධ සංවිධාන පිළිබඳ පුවත්වලින් පිරුණු මාධ්‍යයට අලුත් ප්‍රවෘත්තියක් වන්නේ මංගල සමරවීර සහ දකුණේ තවත් තරුණ නායකයෙක් වූ මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් බිහිවූ මව් පෙරමුණය. එතෙක් සැමියා දරුවන් අහිමි වූ මව්වරුන්ට පිහිටට තිබුණේ පල්ලි, පන්සල් සහ දේවාල පමණි. දේවාල ගානේ ‍ගොස් කන්නලව් කරන දකුණේ මව්වරුන්ගේ කිසිදා නොවියළෙන කඳුළු වේල්ල කැඩුවා සේ මව්වරුන්ගේ පෙරමුණ ඉදිරියේ ගලා හැලිණි.

අහිංසක අම්මලාගේ කඳුළු, සෝසුසුම් මාර්කට් කර ආණ්ඩු බලය ගන්නට උත්සාහ කරනවා යැයි මංගල චෝදනාවට ලක්විය. සැමියා දරුවා අහිමි වූ මව්වරුන් දහස් ගණනක් විශ්වාසය තැබුවේ මංගලලාගේ මව්පෙරමුණ ගැනය. දරුවන්ට සැමියන්ට සිදුවූ දේ සොයන ගමන්ම මේ අම්මලාට රැකියා සොයා දෙන්නටද මංගල උත්සාහ ගත්තේය. මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා නීතිඥයකු නිසාම මව් පෙරමුණට පැමිණි අම්මලාට නීති සහයද ලැබිණි.

1956 අප්‍රේල් 21 දින උපන් මංගල පින්සර සමරවීර විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වනවිට වයස අවුරුදු 33 කි. මහින්ද සමඟ මව් පෙරමුණට නායකත්වය දෙන අතරම ඔහු එස්. බී. දිසානායක වැනි තරුණ මන්ත්‍රීවරුන් සමඟද සුහදව කටයුතු කළේය. ඊළඟ පියවර ආණ්ඩු බලය ගැනීමට කටයුතු කිරීමය. ඔහු වඩා නිර්මාණශීලී, උපාය මාර්ග කෙරෙහි විශ්වාසය තැබීය. එකල වි‍පක්ෂයට ශක්තියක් වූ විකල්ප පත්තර සමඟද මංගලට තිබුණේ සහෝදරාත්මක බැඳීමකි. මාධ්‍ය කෙරෙහි වූ උනන්දුව නිසාම මංගල සමරවීර පොදුජන එක්සත් පෙරමුණ රජයේ මාධ්‍ය ඇමැතිවරයා ලෙසද පසුකලෙක පත්විය.

මවු පෙරමුණ සහ මාතොට

1994 ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙක් ලෙසද අමාත්‍යවරයෙක් ලෙසද මංගල සමරවීර කැපී පෙනෙන චරිතයක් විය. මංගලගේ නිල නිවස පසෙක තරුණ මාධ්‍යකරුවන්, කවියන්, චිත්‍රශිල්පීන් පිරිසකගේ මාධ්‍ය නිවහනද විය. “මාතොට” නමින් සඟරාවක් බිහිවන්නේද ඒ නිල නිවසේ පසෙක වූ ගොඩනැගිල්ලකය.

කොළඹ නගරයේ අවිධිමත් බව අපිළිවෙළ මෙන්ම දේශපාලන හයි හත්තිකාරයින්ගේ නීති විරෝධී ඉදිකිරීම් නිසා ඇතිව තිබූ තදබදය සහ පාරිසරික ගැටලු ගැනද මංගලගේ අවධානය යොමුවන්නේ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස සිටියදීය.

බේරේ වැව සංවර්ධනය මංගලගේ සංකල්පයකි. අනවසර නිවාස, කඩ කාමර ඉවත් කරන්නට මංගල ගත් පියවර, එදා වෙනත් කිසිවකුට සිතීමට පවා අපහසුය. සමාජය තිබෙන තැනම ඒ මඩගො‍හොරුවේම තියාගෙන ඡන්ද ගොඩ වැඩිකර ගන්නා පිළිවෙත අත්හරින්නට අකමැති වූ දේශපාලන බලවතුන් මංගලට හරස්විය. මරණ තර්ජනද මංගලට අඩුවක් නොවීය. නාගරික සංවර්ධනය පිළිබඳ මංගලගේ දැක්ම ප්‍රායෝගික කිරීමට නොහැකි වූයේ අපේ දේශපාලනයේ ආවේණික ගති ලක්ෂණ නිසාය.

1994 පොදුජන එක්සත් පෙරමුණ බලයට පත්වනවිට රටේ මානව හිමිකම් සහ සංහිඳියාව පිළිබඳ පළල් සාකච්ඡාවක් ඇතිව තිබිණ. උතුරේ දෙමළ ජනයාට මෙන්ම දකුණේ ජනයාටද අවිශ්වාසය සැකය සහ බිය ජීවිතවල අවයව තරමට සමීපව තිබිණි. සංහිඳියාව, සාමය ඇති කිරීමටත් ජාතිවාදය හිස එසවීමෙන් සිදුවන සමාජ නායයෑම් මැඩපවත්වා ගැනීමටත් නිර්මාණශීලී වැඩසටහනක් අවශ්‍ය බව මංගලගේ අදහස විය. සුදු නෙළුම් ව්‍යාපාරය, පොතයි ගඩොලයි වැඩසටහන එහි ඵලය විය. තමන් අතට පත්වන ඕනෑම වගකීමක් ඉහළින්ම ඉටුකරන්නට මංගල සතු ශක්‍යතාවය සමඟ සම කළ හැකි දේශපාලනඥයන් හිඟය. වරාය සහ ගුවන් සේවා අමාත්‍යවරයා ලෙසද, ජනමාධ්‍ය විෂය භාර අමාත්‍යවරයා ලෙසද, නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙසද ඔහු සිය මුද්‍රාව තබා ඇත.

දුරකතන විප්ලවය

පොදු පෙරමුණු රජය යටතේ ටෙලිකොම් ආයතන ප්‍රතිව්‍යුහගත කර ජපානය සමඟ කොටස් ගනුදෙනුවකට එළඹෙන්නේ මංගල සමයේදීය. එදා ටෙලිකොම් ආයතනයේ කොටස් 35% ක් N.T.T. ආයතනයට ලබාදීමට ගත් තීරණය වෘත්තීය සමිති සහ දේශපාලන පක්ෂවලද දැඩි විරෝධයකට ලක්විය. එහෙත් නව්‍යකරණයේ ප්‍රතිලාභ ලබන්නට ටෙලිකොම් සමත්වන්නේ ඉන්පසුවය. අධි සු‍ඛෝපභෝගී මෙවලමක් බවට පත්ව තිබූ දුරකතන සම්බන්ධතාවය දුරබැහැර ගම්මානවලට පවා ලැබෙන්නේද ඉන්පසුවය.

මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් වූ 2005 ජනාධිපතිවරණයේදී මැතිවරණ මෙහෙයුම් කළමනාකරු ලෙස මංගල සමරවීරට පැවරෙන වගකීම ඔහු ඉතා ඉහළින් ඉටුකළ නිසාම පසුව වි‍දේශ කටයුතු මෙන්ම වරාය අමාත්‍යාංශයද මංගලට පැවරිණි.

‘ම’ පාර්ශ්වය

මංගල හෘදසාක්ෂියට ඉඩදී දේශපාලනයේ නිරතවන්නකු බවට පිළිගැනීමක් ඇත. කියන්නට ඇති දේ කෙළින්ම කීම මංගලගේ සිරිතකි; පුරුද්දකි. ආණ්ඩුව යන අත හොඳ නැතැයි කියමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එදා මංගල යැවූ ලිපිය ආන්දෝළනාත්මක විය.

මංගල ආණ්ඩුවෙන් යවා ගන්නට ඇතමකුට වුවමනා විය. අවසන මංගල ඇමැතිකම් අතහැර හෘදසාක්ෂියට ඉඩදී ආණ්ඩුවෙන් ඉවත්විය.

පාර්ලිමේන්තුව තුළ සිටිමින්ම; ඥාති සංග්‍රහය, මාධ්‍ය මර්දනයට සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා පිළිවෙතට විරුද්ධත්වය පළකරන විපක්ෂ බලවේගයක් බවට මංගලගේ හඬ පත්වන්නේ මේ කාලයේදීය. ‘ම’ පාර්ශ්වය ලෙස රට වටා යමින් රාජපක්ෂ විරෝධයක් මොලවන්නට මංගල සමරවීර සිය දේශපාලන සගයා වූ ශ්‍රීපති සූරියආරච්චි සමඟ කටයුතු කළේය. සත්‍ය ලෙසම ඒ වනවිට නිද්‍රාශීලීව සිටි එක්සත් ජාතික පක්ෂයටද මංගලගේ භූමිකාව උත්තේජනයක් විය. කෙටි කලක් තුළ දිස්ත්‍රික් සංවිධාන ගොඩනැඟීමටද ‘ම’ පාර්ශ්වයට හැකියාව ලැබිණ.

මාධ්‍ය 2010 අගෝස්තු 05 වනදා වාර්තා කළේ මංගලගේ ‘ම’ පාර්ශ්වය විසුරුවා හැරි බවය. මංගලට එජාප නායක රනිල් වික්‍රමසිංහගෙන්ද ඒ වනවිට ඇරියුමක් ලැබී තිබිණි. 2010 අගෝස්තු 06 දා සිරිකොතදී මංගල එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගත් අතර ටික දිනකින් මංගල සමරවීරට එජාපයේ සුවිශේෂී වගකීමක් පැවරිණ. ඒ සන්නිවේදන අංශයේ ප්‍රධානියා ලෙසය.

මංගල සමරවීර යනු විවාදාපන්න චරිතයකි. වරෙක එක්තරා මහාචාර්යවරයෙක් මංගලට වස්කවි කීවේ ප්‍රසිද්ධියේමය. අපහාසය, නින්දාව තමා කරා එනවිට මංගල කලබල වූයේ නැත. කම්පා වී පය ආපස්සට ගත්තේ ද නැත. 2010 පොදු අපේක්ෂකයා ලෙස සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූවිට ජනාධිපතිවරණ සටනේ එක් නියමුවෙක් වූ මංගල සම මාධ්‍ය ප්‍රකාශකයාද විය. ඒ මැතිවරණ‍යේ අමිහිරි අත්දැකීම් මංගලගේ දේශපාලනයේ වෙනත් පැතිකඩකින් ශක්තිමත් කරන්නට ඇති බව පසුකාලීන සිද්ධීන්වලින් ගම්‍ය වෙයි.

රජුන් තනන්නා

රනිල් විරෝධය, එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ වැඩෙන්නේ කාලයක සිටය. මංගල මාතර එක්සත් ජාතික පක්ෂ සංවිධායකයා වී ටික කලෙකින් දකුණෙන් ආරම්භ වූ පෙළපාලියක් නිසා මාතර උණුසුම් විය. පෙළපාලිය රනිල් විරෝධී වැඩකි. මාතරදී මංගලගේ ආධාරකරුවන් සහ පෙළපාලියට නායකත්වය දුන් කණ්ඩායම අතර ඇති වූ ගැටුම අවසානයේ පෙළපාලිය නතරවිය. මංගලගේ කුරුඳු පොලු හමුදාව යන නම ක්ෂණයකින් රටපුරා ප්‍රචාරය විය. මංගල හැමවිටම තමන් පෙනී සිටින දේශපාලනයට අවංක වීමට උත්සාහ කරන බව පැහැදිලි වන කරුණකි. කුරුඳු පොලු ප්‍රහාරයෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ තරුණයන් ඇතුළු වැඩි පිරිසක් මංගලට දොස් කී බවද ප්‍රචාරය විය. එහෙත් මංගල පෙනී සිටියේ සත්‍ය වෙනුවෙන් බව එදා එ.ජා.ප. පක්ෂ ලේකම් තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කර තිබිණි.

එ.ජා.ප.ය තුළ මංගලට රනිල්ගේ පිළිගැනීම තිබුණද මංගල පැත්තකට කර තියන්නට වුවමනා පිරිසක් සිටින බව මංගලට තේරුම් යන්නට ඇත. ඔහු කාලයට ඉඩදී සිටි කාලය එළැඹෙන්නේ ඉන්පසුවය.

මංගලට රජුන් හදන්නා (King Maker) ලෙස අන්වර්ථ නාමයක් එකතුවන්නේ මේ ‍දශක තුනක ඉතිහාසයේ ඔහුගේ භූමිකාව නිසාමය. පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ශ්‍රීලනිපයෙන් ගෙන 2015 ජනාධිපති කිරීම දක්වා මංගලගේ මෙහෙයවීමෙන් සිදුවූ දායකත්වයද මේ ඉතිහාසයේ ලියැවී ඇත. මංගල මුදල් අමාත්‍යාංශයේ සුක්කානම දරන්නාය. දෙවරක්ම විදේශ අමාත්‍යවරයා වූ මංගල මානව හිමිකම් පිළිබඳ තම පෞද්ගලික මතවාදය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් මත රටකට ලැබෙන ජාත්‍යන්තර පිළිගැනීම පිළිබඳ යථාර්ථයද පෙරටුකරගෙන කටයුතු කළ බව පැහැදිලිය.

ඉදිරිගාමී මතවාදය

ගෝත්‍රික සහ පසුගාමී චින්තනය රටක නායකයන් හෝ බහුතරයක් මහජන නියෝජිතයන්ගෙන් ප්‍රකට වන්නේ නම් රටක ඉදිරි ගමනට එය බලපානු ඇත්තේ සුබවාදී ලෙස නොවේ. මංගල වැනි දේශපාලන නායකයකුගේ වැදගත්කම වන්නේ ගෙවුණ තිස් වසර තුළ කිසිම අවස්ථාවක ගෝත්‍රික අදහස් ප්‍රකාශ නොවීමය. එසේම ගෝත්‍රික පසුගාමී අදහස්වලින් ගැලවීමට නොහැකිව සෙක්කු දේශපාලනයේ යෙදෙන දේශපාලනඥයන්ට එරෙහිවීමටද හේ පසුබට නොවන්නෙකි.

දශක තුනක ලාංකේය දේශපාලනයේ මංගල භූමිකාව සාකච්ඡාවට ලක්විය යුත්තේ ඔහු පාර්ලිමේන්තුව තුළ කාලයත් සමඟම ජ්‍යෙෂ්ඨත්වයට පත්වූවෙක් නොවන හෙයිනි. දශකය, දශක දෙක තුන ගෙවී ගොස් ජ්‍යෙෂ්ඨත්වයට පත්වීම යනු ඕනෑම වෘත්තියකට අදාළ කාරණයකි.

ජාතිවාදය සහ ජාතිකවාදය සම්බන්ධව සවිඥානක බවත් මංගල තුළින් ප්‍රකට වෙයි. ජාතිකවාදය (Nationalisam) සහ ජාතිවාදය (Racism) බෙදා වෙන්කෙරෙන ඉර ඇත්තේ කොතැනද යන්න බොහෝ දේශපාලකයන් තේරුම් නොගත්තකි. ඉතා පටු පරාසයක සිට ආගම් විරෝධී, ජනවර්ග විරෝධී එමෙන්ම බටහිර විරෝධී මතවාද පෝෂණය කිරීමෙන් හුදු ජනප්‍රියතාව නඩත්තු කිරීමේ දේශපාලනයත් අපේ රටේ දේශපාලනය තුළ දරුණු ලෙස වර්ධනය වී ඇත්තේ මංගල පසුකර ආ දශක තුන තුළය. එකී කරුණේදී මංගල උඩුගම් බලා පිහිනන්නට පුංචි තැතක් හෝ දරන බව ගෙවුණු දශක ත්‍රිත්වයේදී දැකගත හැකිය.

මංගල පිළිබඳ කෙරෙන සාකච්ඡාවකදී මංගල සීරියස් නොවන දේශපාලන භූමිකාවක හිමිකරු‍වකුය යන චෝදනාවද බැහැර කිරීමට දෙවරක් සිතිය යුතුය. ප්‍රතිවිරෝධතා සහිත දේශපාලන භූමිකාවක් දැකිය හැකි දේශපාලන ශරීරවලින් අඩුවක් නැති රටක මංගල ව්‍යවචිඡේදය කළ යුත්තේ කුමන සංදර්භයකද යන්න නිශ්චිතව ප්‍රකාශ කිරීමද ගැටලුවකි. 1994 පොදු පෙරමුණු රජයේ ප්‍රථම ජනමාධ්‍ය ඇමැතිවරයා වූ ධර්මසිරි සේනානායකගෙන් පසුව එම වගකීම මංගලට පැවරුණි. ජනමාධ්‍ය සහ දේශපාලනය අතර පවතින ගැටුම සදාතනිකය. එය ප්‍රජාතන්ත්‍රවාදයට අවශ්‍යම එකක් බව මංගල සමරවීරගේ ප්‍රකාශයකි.

අද කළු මාධ්‍ය ලෙස විරෝධයට ලක්වන මාධ්‍ය ආයතන ශක්තිමත් කිරීමටද එම පන්නයේ මාධ්‍යයකට ජාතික රූපවාහිනිය වැනි මාධ්‍ය හැඩගැස්වීමටද මංගල තුළ අවිඥානික හෝ අභිලාෂයක් තිබූ බව මේ ලියුම්කරුගේ අදහසය.

ජාත්‍යන්තරය ජයගැනීම

මංගල දේශපාලන තුරුම්පුවලින් හිඟයක් නැති චරිතයකි. පරාජයන්ගෙන් හෙම්බත්ව සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩු පේනතෙක් මානයකවත් නොතිබූ ආණ්ඩු බලය 1994 ලැබෙන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, අලුත් අපේක්ෂාව බවට පත්කරන්නට මංගල ගත් වෙහෙසකර ව්‍යායාමය නිසාය. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනියගේ විශ්වාසවන්තම හිතෛෂිවන්තයා බවට පත්වන මංගල 2001 දී විපක්ෂයේ සංවිධායක වන අතර ඉතා කෙටිකලකින් නැවත ආණ්ඩු බලය ලබාගැනීමට දේශපාලන තුරුම්පුව අදින්නේද මංගලමය. සංඛ්‍යාලේඛන අනුව ඊළඟ ඡන්දය ජයගැනීම ස්ථිර විය හැක්කේ ජනතා විමුක්ති පෙරමුණ සමඟ සන්ධාන ගතවීමෙන් බව පෙන්වා දෙන්නේ මංගලය. 2005 දී චන්ද්‍රිකා වෙනුවට මහින්ද තෝරාගන්නා මංගල, මහින්දගේ මැතිවරණයේ Campain Manager වීමද ඊළඟ අගමැති මංගල යන මතය ඇතිවීමද මංගල සමරවීරටම ආවේණික උපක්‍රමයන්හි පලයන්ය.

දෙවරක්ම විදේශ ඇමැති වූ තෙවරක්ම මාධ්‍ය ඇමැති වූ වරක් නියෝජ්‍ය මුදල් ඇමැතිද පසුව මුදල් ඇමැතිද වූ මංගල සමරවීර මුදල් ඇමැතිවරයා ලෙස අතිශය දුෂ්කර සංකීර්ණ ආර්ථික හා දේශපාලන පසුබිමක අය වැය ඉදිරිපත් කරන්නට සූදානම්ය. 2015 වනවිට ජාත්‍යන්තරය තුළ හුදෙකලාව තිබූ රටකට පිළිගැනීමක් සහ වටිනාකමක් ලබාදීමට විදේශ අමාත්‍යවරයා ලෙස මංගලට හැකිවූ බව ඔහුගේ විරුද්ධවාදීන් වුව පිළිගන්නා කරුණකි.

ජනමාධ්‍යවේදීන් සඳහා නිවාස සංකීර්ණයක් ගොඩනැගීමේ ගෞරවය හිමිවන්නේද මංගලටය. ආණ්ඩුවේ කරේ අත දා ගන්නා මාධ්‍යවේදීන්ටද එසේ නොවන මාධ්‍යවේදීන්ටද මංගලගේ මාධ්‍ය නිවාස සංකීර්ණයෙන් නිවාස ලැබිණි. ඝාතනයට ලක්වූ රිචඩ් සොයිසා මාධ්‍යවේදියාගේ නමින් ඉදිවූ මාධ්‍ය නිවාස සංකීර්ණය හරහා සිය දේශපාලන ප්‍රතිරූපය ගොඩනැගීමට මංගල ආයාස දරා නැත.

මංගල සමරවීර සිය දේශපාලන භූමිකාව තුළ ජාතිවාදී නොවූ අතරම ගෝත්‍රිකවාදී නොවූවද ශක්තිමත් ගෝත්‍රිකවාදී පසුගාමී දේශපාලන සංදර්භයක් ගොඩනැංවීමෙහිලා කරන ලද කාර්යභාරයද සාකච්ඡාවට ලක් කළ යුත්තකි.

රාජපක්ෂවරුන්ට සහ ඔවුන් ස්ථාපිත කරන ලද ආර්ථික දේශපාලන මොඩලයට තදින් පහරදුන්, නිර්දය විවේචනයට හසුකරගත් මංගල පෙන්වූ නිර්භීතභාවය වෙනත් දේශපාලකයකුගෙන් බලාපොරොත්තු විය නොහැක්කකි. මහින්ද රාජපක්ෂ ජනාධිපති කරවීමට මංගල කරට ගත් බරට සාපේක්ෂව පෙරළා අපේක්ෂා කළ දේශපාලන ප්‍රතිලාභ මංගලගේ තෘප්තියට හේතුනොවීම ගැනද මත පළවිය. මංගල සමරවීර විටින්විට හඳුන්වා දෙන්නට උත්සාහ කළ පෙරළිකාර ප්‍රතිසංස්කරණ යෝජනාද දැඩි විවේචනයන්ට ලක්විය.

දේශපාලන මහපොළොව පිළිබඳ සංවේදී නොවූ යෝජනා ලෙස ඇතැම් ඒවා විග්‍රහ කෙරුණු බවට මෙන්ම පසුගාමී දේශපාලනය විසින් මංගලගේ ඉදිරිගාමී ප්‍රතිසංස්කරණ යෝජනා පරාජය කළ බවටද ප්‍රති තර්ක ගොඩනැගිණි.

දීප්ති කුමාර ගුණරත්න වරෙක මංගලගේ අයවැය සම්බන්ධව ප්‍රකාශ කළේ; මංගලගේ අය වැය ධනවාදීය දේශපාලනය සමාජවාදීය කියාය.

ධනවාදී අයවැයක් ඉදිරිපත් කර සමාජවාදී දේශපාලනයක නිරතවන්නට මංගල පින්සර සමරවීරට ඇති දේශපාලන අවකාශය විමර්ශනය කළ යුතුව ඇත.

කුමාරදාස ගිරිබාව

නව අදහස දක්වන්න