නුවරට වන්වේ සුදුසුද? | දිනමිණ

නුවරට වන්වේ සුදුසුද?

වර්තමානයේ මහනුවර නගර සීමාවේ සහ ඊට තදාසන්න ප්‍රධාන මාර්ගයන් හී නිර්මාණය කරන රථ වාහන තදබදය සම්බන්ධයෙන් විසදුම් සෙවීම සහ යෝජනා විමසීම සදහා 2019 පෙබරවාරි 12 වැනි දින මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු රාජ්‍ය නිළධාරීන් සහ මහනුවර පේරාදෙණිය පරණ පාර අසල පිහිටි පාසල්වල විදුහල් පතිවරුන්, ගුරුවරුන්, මහනුවර අධිකරණ නිලධාරීන් හා ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසගේ සහභාගිත්වයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ නිල කාර්යාලයේ දී සාකච්ඡාවක් පවත්වන ලදි. එහිදී සාකච්ඡාවට භාජනය කරන ලද මූලික කරුණු වූයේ මහනුවර නගරයට පිවිසෙන සමහර මාර්ග රථ වාහන පිවිසීමට හා පිටවීමට තනි මං තීරුවක් නම් කිරීමට හා භාවිතා කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විසින් යෝජනා කර තිබේ. වර්තමානයේ මහනුවර නගරය සහ තදාසන්න ප්‍රධාන මාර්ගයන් හී සතියේ දින හතේම මහජනයා මුහුණ පා සිටින රථ වාහන තදබදයට නිසි විසදුමක් මේ දක්වා ගෙන නොමැති අතර මීට පෙරාතුව ද එක් අවස්ථාවක යටකී තනි මං තීරූ රථ වාහන ධාවනය කිරීමේ සංකල්පය ක්‍රියාත්මක කිරීමට 2006 වර්ෂයේ මහනුවර පොලිසිය විසින් උත්සාහ කරන ලදි. එකී අවස්ථාවේදී මහනුවර පේරාදෙණිය පරණ පාරේ ව්‍යාපාරිකයන්, ප්‍රදේශවාසීන් හා පාසල් සිසු සිසුවියන් හා ගුරුවරුන් ඇතුළු රාජ්‍ය සේවකයින් ගමනාගමනයේදී මෙන්ම ව්‍යාපාරික සේවාවන් වල දීද ගැටලු රාශියක් පැන නැගුණු බැවින් තනි මං තීරූ රථ වාහන ධාවනය කිරීමේ සංකල්පය ක්‍රියාත්මක කිරීම අසාර්ථක අත්දැකීමක් බව සනාථ විය. තවද එම අවස්ථාවේ තනි මං තීරූ රථ වාහන ධාවනය කිරීමට එරෙහිව මහනුවර මහාධිකරණයේ නඩුවක් ව්‍යාපාරිකයන් ඇතුළු මහජනයා විසින් පැවරූ අතර එකී නෛතික ක්‍රියාවලියේ දී “මූලික යටිතල පහසුකම් නොසපයා මහනුවර පේරාදෙණිය පරණ පාර හා විලියම් ගොපල්ලව මාවත සහ මහනුවර නගරයේ අනෙකුත් මාර්ගයන් තනි මං තීරූ රථ වාහන ධාවනය කිරීමට පියවර නොගත යුතු බවට” අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති අතර එකී නියෝගය තවදුරටත් වලංගුව පවතී. එමෙන්ම එකී නඩුවේ අතුරු තහනම් නියෝගයට අදාළව මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් හෝ වගකිව යුතු බලධාරීන් විසින් කිසිදු යටිතල පහසුකම් හෝ ප්‍රතිපාදන සපුරා නොමැති බව පෙන්වා දෙමු.

මෙවර පේරාදෙණිය නගරයේ සිට ගන්නෝරුව හරහා ගැටඹේ මංසන්ධිය, මුල්ගම්පොල, කටුකැළේ, මහනුවර පොලිස් ස්ථානය, වැව රවුම හරහා මධ්‍යම වෙළෙඳපොළ හා ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පොළ ගමනාන්තය කර මහනුවර නගරයට පිවිසෙන අයුරින් රථ වාහන යොමුකිරීමට යෝජනා කරයි. එසේ මහනුවර නගරයට පිවිසීම සදහා හීරැස්සගල, බෝවලවත්ත, සිට පැමිණෙන රථ වාහන ගැටඹේ මංසන්ධිය දක්වා මෙන්ම ගලහ, දෙල්තොට, දොලුව, ගම්පොළ, නාවලපිටිය, නුවරඑළිය, වැලිමඩ ආදී ප්‍රදේශවල සිට පැමිණෙන රථ වාහන නැවතත් පේරාදෙණිය නගරය හරහා ගොස් ගන්නෝරුව හරහා ගැටඹේ මංසන්ධිය, මුල්ගම්පොල,කටුකැළේ , මහනුවර පොලිස් ස්ථානය හරහා වැව රවුම, මධ්‍යම වෙළෙඳපොළ හෝ ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පොළ ගමනාන්තය දක්වා හෝ පිටවීමට තනි මං තීරූ රථ වාහන ධාවනය යෝජනා කර සිටී.

මෙම තනි මං තීරූ රථ වාහන ධාවනය කිරීමේදී පැන නගින ගැටලු සම්බන්ධයෙන් මහනුවර පේරාදෙණිය පරණ පාර හා විලියම් ගොපල්ලව මාවත ප්‍රදේශයේ මහජනතාව, ව්‍යාපාරික ප්‍රජාව සහ රජයේ හා පෞද්ගලික පාසැල් වල විදුහල් පතිවරුන්, ගුරු දෙමාපිය සිසු දරුදැරියන් දැඩි විරෝධයක් දක්වන අතර ඊට ඔවුන් විසින් පහත සදහන් හේතූන් අවධාරණය කරයි. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ නිල කාර්යාලයේ දී පැවැත්වූ සාකච්ඡාවේ දී මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වන අබේගුණසේකර මහත්මිය විසින් පහත කරුණු අවධාරණය කරන ලදි.

• පාසැල් සිසු දරුදැරියන් පේරාදෙණිය පරණ පාරේ සිට විලියම් ගොපල්ලව මාවත දක්වා හෝ මහනුවර නගරයට පයින් ගමන් කිරීමේදී අනාරක්ෂිත තත්වයකට මුහුණ පෑමට සිදුවන බව.

• ගුවන් පාලම් හා අතුරු මාර්ගයන් ඔස්සේ ගමන් කිරීමේදී සිසු දරුදැරියන් අතවරයට හා හිංසනයට ලක්වීමේ පැහැදිලි අවදානමක් ඇති බව. මහනුවර නගරයේ අතුරු මාර්ගයන්හී නිරන්තරයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් හා විවිධ අපචාරවලට සම්බන්ධ තැනැත්තන් රැදී සිටින බැවින් සිසු දරුදැරියන් අනාරක්ෂිත තත්වයකට පත් වන බව.

• සිසු දරු දැරියන් පාර පනින විට අනාරක්ෂිත තත්වයකට පත්වීම. මහනුවර පේරාදෙණිය පරණ පාරේ සිට විලියම් ගොපල්ලව මාවත දක්වා ගමන් කිරීමේදී අතුරු මාර්ග සහ දුම්රිය මාර්ග හරහා ගමන් කිරීමේදී අනතුරු සිදුවීමේ පැහැදිලි අවදානමක් ඇති බව.

• පසැල් සිසු දරුදැරියන් අතුරු මාර්ගයන් වල ගමන් කිරීමේදී ගුරු දෙමාපිය වැඩිහිටියන්ගේ අවධායෙන් හා නිරීක්ෂණයෙන් බැහැර වීම.

• දෙමාපියන් පැමිණෙන තෙක් පාසැල් සිසු දරුදැරියන්ට විදුහල් භූමියේ රැදී සිටීමේ අවකාශය අහිමි වීම හා නිවසට යාමට බස් රථ හෝ වාහන වලට නැගීමට වෙනත් මාර්ගකට යාමට සිදුවීම හේතූන් පැන නගින අනාරක්ෂිත තත්වය.

• ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පොළ වෙත යාමට ඇති අතුරු මාර්ගයන්හී අනාරක්ෂිත තත්වය හා අවදානම ආදිය පාසැල් සිසු දරුදැරියන්ට මුහුණ පෑමට සිදුවන දුෂ්කරතා බව අනාවරණයවේ.

යටකී කරුණු මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය මෙන්ම ශුද්ධ වූ යහපත් එඩේරා කන්‍යාරාමයේ විදුහල්පතිනිය ද මෙම සාකච්ඡාවේ දී පෙන්වා දෙන ලදි. ඊට අමතරව පේරාදෙණිය පරණ පාර හා විලියම් ගොපල්ලව මාවත ව්‍යාපාරිකයන්ගේ සංගමයේ කැදවුම්කරු ව්‍යාපාරික ප්‍රියන්ත කෝදාගොඩ මහතා විසින් පහත කරුණු අවධාරණය කරන ලදි. එහිදී අනාවරණය වූයේ මෙම තනි මං තීරූ රථ වාහන ධාවනය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් පේරාදෙණිය පරණ පාර ආසන්නයේ පවත්වාගෙන යන ව්‍යාපාරික ස්ථාන 200 කට වඩා ඇති බව ද එකී ආයතන ඇතුළු අනෙකුත් ආයතන වල සේවය කරන ස්ථිර හා අනියම් සේවක සංබ්‍යාව 2000 කට වැඩි බව ද පේරාදෙණිය පරණ පාරේ නව ආයෝජන ව්‍යාපාර ලෙස ආසිරි හා සුවසෙවන පෞද්ගලික රෝහල් සේවාවන් ඇතුළු ව්‍යාපාර රැසක් මෙම පාරේ පිහිටා තිබේ. මෙමගින් විශාල පිරිසකට සෙත සැලසේ. මහනුවර නගරයේ හා තදාසන්න ප්‍රධාන මාර්ගයන්හී වර්තමාන තත්වය මේ ජායාරූප වලින් සනාථ කරයි. මේ ජායාරූප විලියම් ගොපල්ලව මාවත හා පේරාදෙණිය පරණ පාර යන මාර්ගයන්හී රථ වාහන තදබදය පවතින අවස්ථාවන් ය.

සරත් හේමචන්ද්‍ර ද සිල්වා
මාවනැල්ල

නව අදහස දක්වන්න