කුණු ගොඩ උසයන කොටවිල | දිනමිණ

කුණු ගොඩ උසයන කොටවිල

මේක දැන් ජාතික ප්‍රශ්නයක් වෙලා. නමුත් අපට තිබෙන ප්‍රශ්නය කසළ ක්‍රමානුකූලව බැහැර නොවන එකයි. දිරන ඒව­ායින් පොහොර හැදුවා. අනෙක් නොදිරන අපද්‍රව්‍ය (විදුරු බෝතලේ සිට ප්ලාස්ටික් බෝතලය දක්වාම) මුදල් බවට පත් කරනු ලැබුවා. දැන් මේ සියල්ලක්ම නතර වෙලා. මාතර මහ නගර සභාවේ සියලුම කසළ බැහැර කරන්නට ගෙන එන්නේ මේ ප්‍රදේශයටයි. මේ ගෙන එන කැළිකසළ තෝරන්නේ අපිමයි. හරිම අපහසුවෙන් තමයි මෙය කරන්නේ. ඒත් අපි අපේ රාජකාරිය කරනවා. වැස්සේ, අව්වේ කියල බැහැ. බයෝ ගෑස් එක පටන්ගන්න කලින් මේ යාඩ් එකේ තමයි කසළ තේරුවේ. කුණු කසළවල අසීරු ගඳ හිරු එළියෙන් පාලනය කර ගන්නට පුළුවන් වුණා. දැන් කන්දේ කුණු තෝරද්දී හිරු එළිය ව‍‍ගේම කුණු කන්දේ ගඳත් දරා ගැනීම ඉතාම අසීරුයි. කලින් ව‍ගේ යාඩ් එකක හෙවණේ කුණු තෝරන්න අවස්ථාව ලැබෙනවානම් අපගේ රාජකාරිය පහසුයි.

ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්න අතර කුණු ප්‍රශ්නයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. එදා කොලොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ ජිවිත 32 ක් අහිමිවීමත් සමගම මෙම ගැටලුවේ සංකීර්ණභාවය පිළිබඳ ව ජනතාවට දැනුණි. ඉන් මතුවූ කසළ පිළිබඳ අදෝනාව කොළඹින් පමණක් නොව බොහෝ ප්‍රදේශවලින් නැගෙන්නට විය. නමුත් නායයෑමක් එසේත් නැතිනම් ගංවතුරක් හෝ වෙනත් ආපදාවක් මෙන් මෙකී සිදුවීම්ද ජනතාවගේ මතකයෙන් ගිලිහී යන්නට එතරම් කාලයක් ගත වුයේද නැත.

මේ වන විට දකුණු පළාතේ ද එවැනි දැවැන්ත ගැටළුවක් නිර්මාණය වෙමින් පවතී. එය අන්කවරක් නොව මාතර,කොටවිල කුණු කන්දයි. දවසින් දවස කුණු කන්ද ඉහළට නැගෙන්නේ අප ට නොදැනී ය. පසුගිය කාලසීමාව තුළ නිලධාරිවාදය හා අනෙකුත් සාධක ගණනාවක ප්‍රතිඵලයක් ලෙස කොමි‍පෝස්ට් වැඩ බිමේ කටයුතු ඇණහිටීමත් සමගම තත්වය දරුණු අතට පත්වෙමින් පවතී. නූතනයේ මාතර ප්‍රධානතම නගරය බවට පත්වන්නේද කොටවිලයි. මේ ප්‍රදේශය මහ නගරයක් ලෙස සංවර්ධනය කිරීමට නියමිතය. මෙහි ඉදිකිරීම් මේ වන විටත් සිදුවෙමින් පවතින අතර අධිකරණ සංකීර්ණයේ වැඩ අවසන් වෙමින් පවතී. මීටර් 400 ධාවන පථයකින් සමන්විත ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණය ,රෝහල් සංකීර්ණය ඇතුළු දකුණු පළාතටම ආඩම්බර විය හැකි මේ නගර සංකීර්ණය මැද කුණු ගඳ ගහන දැවැන්ත කුණු කන්දක් නිර්මාණය වී තිබීම ගැටලුවකි.

අක්කර 13 ක වපසරියක පිහිටා ඇති කොටවිල කැළිකසළ ව්‍යාපෘතියෙන් පාරිසරික ගැටලු ගණනාවක් දැනටමත් නිර්මාණය වී ප්‍රදේශයේ ජනතාව හමුවේ තබා ඇත.මේ පිළිබඳව පාලකයන්ගේ මෙන්ම ජනතාවගේ අවධානය යොමුවීම කාලීන අවශ්‍යතාවයක් බව අමුතුවෙන් කිව යුතු නැත. දකුණු පළාත් ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා තනතුරෙහි වැඩ බාරගැනීමෙන් අනතුරුව ප්‍රමුකතම රාජකාරියක් ලෙස සලකා කොටවිල කුණු කන්ද නිරික්ෂණය කිරීමට පැමිණියේ ය.ප්‍රයෝගික ගැටලු ගණනාවක් ආණ්ඩුකාරවරයා හමුවේ තැබූ මාතර මහ නගර සභාවේ පුරපති රංජිත් යසරත්න,විපක්ෂ නායක උපුල් නිශාන්ත මහත්වරුන් ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් ද ,මාතර නාගරික කොමසාරිස් සේනක පල්ලියගුරු මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද කුණු ප්‍රශ්නය තේරුම් ගෙන ඒ වෙනුවෙන් කැපවීමෙන් හා වගකීමෙන් කටයුතු කරමින් මාතර කසළ අර්බුදයට ස්ථිරසාර ජාතික විසදුමක් ලබා දිම හා කසළ මුදල් බවට පත්කිරීමේ දැවැන්තම ව්‍යාපෘතිය මාතර කොට‍විල ක්‍රියාත්මක කිරීමට දක්වන උනන්දුව ඉතා වැදගත්ය .

ප්‍රදේශයේ අප කරන ලද සංචාරයේ දී ව්‍යාපාරිකයෙකු වන එච්.ආර්.රෝහණ මහතා මහතා මෙසේ සිය අදහස් දැක්වීය.

“මේ ගමට පිටස්තර මනුස්සයෙක් පැමිණිවිට ඔවුන් වමනය දානවා. මේ ගඳ ඒ තරමට දැනෙනවා. අප සාමාන්‍ය තත්වයට පත්වුණත් ඇතැම් කාලවල මෙහි ඉන්න එක හරිම අපහසුයි. සුළං හමන දිශාවත් සමඟ ගඳ පැතිරීම වෙනස් වෙනවා. වැසි කාලයට ‍කොහොමද මැස්සෝ හැදෙන්නේ කියලා බලන්න. කැළි කසළ පමණක් නොවෙයි කුකුලෝ මරන ඒවත් ගෙනත් දානවා. ඔය ව්‍යාපෘතියේ හරි කළමනාකරණයක් කරනවා නම් ප්‍රශ්න වළක්වා ගන්න පුඵවන්. මේ ව්‍යාපෘතිය ගෙනියන්න කියලා අප කියන්නේ නැහැ. එහෙම කියන්නත් බැහැ. මේ කුණු කොහාට හරි දාන්න ඕන. ඒකට වැඩපිළිවෙළක් තියෙන්න ඕන. වාසනාවකට ඩෙංගු වසංගතය පාලනය වෙලා. නැත්නම් මේක ප්‍රදේශයට ඩෙංගු බෝ කරන ස්ථාන බවට පත් වෙනවා. බයෝ ගෑස් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළා නම් ඔය බොහෝ ප්‍රශ්නවලට උත්තර ලැබෙනවා. එම ව්‍යාපෘතිය නතරවීම අවාසනාවන්ත තත්වයක්. තීරණ ගැනීමේ ප්‍රමාදයත් මේ තත්වයට බෙහෙවින්ම බලපා තිබෙනවා.”

කැළිකසළ ප්‍රතිශක්තිකරණ ව්‍යාපෘතියේ සේවය කරන එල්.පී.නන්දනී මහත්මිය - “මේ ව්‍යාපෘතිය හොඳ එකක්. කසළවලට පිළිතුරක් තියෙන්නට ඕන. මේක දැන් ජාතික ප්‍රශ්නයක් වෙලා. නමුත් අපට තිබෙන ප්‍රශ්නය කසළ ක්‍රමානුකූලව බැහැර නොවන එකයි. දිරන ඒව­ායින් පොහොර හැදුවා. අනෙක් නොදිරන අපද්‍රව්‍ය (විදුරු බෝතලේ සිට ප්ලාස්ටික් බෝතලය දක්වාම) මුදල් බවට පත් කරනු ලැබුවා. දැන් මේ සියල්ලක්ම නතර වෙලා. මාතර මහ නගර සභාවේ සියලුම කසළ බැහැර කරන්නට ගෙන එන්නේ මේ ප්‍රදේශයටයි. මේ ගෙන එන කැළිකසළ තෝරන්නේ අපිමයි. හරිම අපහසුවෙන් තමයි මෙය කරන්නේ. ඒත් අපි අපේ රාජකාරිය කරනවා. වැස්සේ, අව්වේ කියල බැහැ. බයෝ ගෑස් එක පටන්ගන්න කලින් මේ යාඩ් එකේ තමයි කසළ තේරුවේ. කුණු කසළවල අසීරු ගඳ හිරු එළියෙන් පාලනය කර ගන්නට පුළුවන් වුණා. දැන් කන්දේ කුණු තෝරද්දී හිරු එළිය ව‍‍ගේම කුණු කන්දේ ගඳත් දරා ගැනීම ඉතාම අසීරුයි. කලින් ව‍ගේ යාඩ් එකක හෙවණේ කුණු තෝරන්න අවස්ථාව ලැබෙනවානම් අපගේ රාජකාරිය පහසුයි. ව්‍යාපෘතිය නිසි පරිදි ක්‍රියාත්මක වෙනවානම් මේ දුෂ්කරතාවයෙන් මිදෙන්නට යම් පිටිවහලක් ලැබෙනවා.˜

පොලිතින් ප්ලාස්ටික් සෞඛ්‍ය පරිපාලක ජනිත් මධුරංග මහතා -

˜මෙහි පොලිතින් ප්ලාස්ටික් ප්‍රතිශක්තිකරණය කරනු ලබනවා. නගර සභාව වත්තල පොලිගන් සමාගමත් එක්ක ගිවිසුමකට ඇවිත් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබනවා. අපි මාසෙකට ටොන් 5ක් පමණ නිෂ්පාදනය කරනවා. අපට තිබෙන බරපතළ ගැටලුව තමයි පොලිතින් හා ප්ලාස්ටික් නොලැබීම.‍ එවගේම ‍අපට ලැබෙන කැළිකසළ වර්ගීකරණයක් නැහැ. එය ගැටලුවක්. ජනතාව දැනුවත් කර පොලිතින් හා ප්ලාස්ටික් වර්ගකර ලැබෙනවා නම් අපට පහසුයි. මේ අංශයේ සේවකයන් 13ක් සේවය කරනවා. ප්ලාස්ටික් ප්‍රතිශක්තිකරණ‍යේ දී බෝතල්වල තියෙන ලේබල් ගලවන එක ලෙහෙ‍සි වැඩක් නොවෙයි. මෙයට විකල්ප සෙවිය යුතුයි.

කැළිකසළ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථකව ක්‍රියාවට නැංවෙන අතර ප්ලාස්ටික් අපද්‍රව්‍ය කැබලි කිරීම, පොලිතින් ඇට සෑදීම, පොලිතින් පටක සෑදීම, කුඩා පරිමාණයයේ ප්ලාස්ටික් නිෂ්පාදනය, ප්ලාස්ටික් හා කඩදාසි සම්පින්ඩනය කිරීමේ කටයුතු ද මෙහිදී යන්ත්‍ර මගින් සිදුවන ආකාරය අපට දැකගත හැකි විය. තවදුරටත් මේ ක්‍රියාවලිය විධිමත් කරමින් ජනතා සහාය ලබා ගත හොත් මෙහි ධාරිතාව තව දුරටත් ඉහළ නැංවිය හැකිය.

ව්‍යාපෘතිය භාර මහජන සෞඛ්‍ය පරික්ෂක එරාජ් වීරසුරිය මහතා - “මේ ව්‍යාපෘතිය පටන් ගත්තේ 2014 දී. එදා පැවති දැයට කිරුළ ප්‍රදර්ශනයේ පරිසර අධිකාරියේ ප්‍රදර්ශන කුටියක් ලෙස මෙහි ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරනු ලැබුවා. ඊට ප්‍රථම පොලිතින් ප්ලාස්ටික් ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබුවා. පසුගිය වසරේ පොලිතින් පරිසර අධිකාරිය යටතේ බයෝගීන් සමාගම එම ව්‍යාපෘතිය නැවත ආරම්භ කරනු ලැබුවා. මහජන පීඩාව යටතේ උසාවිය පැවරුණු නඩුවක් හේතුවෙන් මෙම ව්‍යාපෘතියේ කටයුතු නතර වෙලා තියෙන්නේ. දැන් විදුලිය නිෂ්පාදන කටයුතු අදාළ සමාගම මගින් ඇරඹිමට සුදානම් වුවත් එම නිෂ්පාදිත විදුලිය ලබා ගන්නා බව සඳහන් කර ගිවිසුමක් විදුලිබල මණ්ඩලය ලබා දිය යුතුයි. එහි ප්‍රමාදයක් තියෙනවා.‍ අප බලාපොරොත්තු වෙනවා ලබන උසාවි වාරයේ දී එය ඉදිරිපත් කරාවි කියලා. එසේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට හැකියාව ලැබුණහොත් මාසයකට මෙග­ාවොට් 15ක් විදුලිය නිෂ්පාදන හැකියාව ලැබෙනවා. මේ සමඟ කොම්පෝස්ට් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට හැකියාව ලැබෙනවා. එසේ ව්‍යාපෘතිය ආරම්භ වුවහොත් පළාත් පාලන ආයතන හයකට හා නගර සභාවට කසළ ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන්න පුළුවන්.˜

මාතර නගර සභාවේ විපක්ෂ නායක උපුල් නිශාන්ත මහතා - “මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේ මා සභාපති ධූරය දරන කාලසීමාවේ. ඒ කාලයේ ජනතාවත් එක්ක කටයුතු කරන සමීපතම ව්‍යාපෘතියක් බවට මෙය පත්වුණා. ජනතාව දැනුවත් කළා. අත්හදා බැලීම් කරමින් නගර සභාවේ සේවකයන්ට දරාගත හැකි කොම්ෆෝස්ට් ව්‍යාපෘතියක් බවට මෙය පත් වුණා. මේ කාලයේ ට්‍රැක්ටර් 18ක් පමණ රැ‍ගෙනවිත් කෝම්ෆෝස්ට් බවට පත් කරනු ලැබුවා. හමුදාවේ සහායද ලබා ගෙන එය එක්වරම වැඩි කිරීමට පාලන අධිකාරිය කටයුතු කළා. එය ජනතා විරෝධය තුළ ගත් වැරදි ක්‍රියා මාර්ගයක්. අපේ කාලයේ කුණු කසළ තේරුවා. සේවකයන්ට මේ තත්වය දරාගන්න බැරිවුණාම සියලුම කුණු මේ වළට දැම්මා. මේ වැරැද්දේ ප්‍රතිඵලය බවට පත්වූණේ කුණු කන්දක් බවට එය පත්වීම. පළමුව කසළ තේරිය යුතුයි. පාවිච්චි කළ හැකි කසළ ප්‍රයෝජනයට ගත යුතුයි. එසේ කළ නොහැකි කසළ ප්‍රතිශක්තිකරණය කළ යුතුයි.”

මාතර පුරපති රංජිත් යසරත්න මහතා - “2006 දී මාතර ගඟ අයිනේ තිබූ කුණුපොළ අයින් කර මේ ස්ථානයට රැගෙන එනවා. කොම්පෝස්ට් හා ප්ලාස්ටික් ව්‍යාපෘතිය සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙනවා. එය ලාබ ලබන තත්වයට ගෙන එනවා. නමුත් 2014 දී බයෝ ගෑස් ව්‍යාපෘතිය නතරවීම විශාලතම ගැටලුවක්. දිනකට මාතර නගරයේ ටොන් 35 ක කසළ අප මේ ස්ථානයට ගෙනැවිත්, ඒවා වර්ග කර ප්‍රතිචක්‍රීකරණය කර අප විසඳුමක් ලබා දී තිබෙනවා. මෙයට හේතු ගණනාවක් අප හදුනාගෙන තිබෙනවා. මේ ස්ථානයේ නිෂ්පාදනය කරනු ලබන විදුලිය මිලදී ගන්නා බවට සහතිකයක් ලබා දිය යුතුයි. ව්‍යාපෘතියට මේ ප්‍රමාදය බලපා තියෙනවා. එදා පොලිසිය මගින් අධිකරණය හමුවේ ඉදිරිපත් කළ කරුණු අනුව කැළිකසළ ව්‍යාපෘතිය තාවකාලිකව නතර වී තිබෙනවා. එම කරුණු නිවැරැදියි කියා මා විශ්වාස කරන්නේ නැහැ. නමුත් එහි ලබා දුන් නියෝග ව්‍යාපෘතිය නිවැරැදි මඟකට ඇවිත් තිබෙනවා. ලබන නඩු වාර‍යේදී මෙහි සාධාරණ තීරණයක් ලැබේවි කියා විශ්වාස කරනවා. එහි යම් කල්යෑමක් සිදුවන්නේ නම් අප බලාපොරොත්තු වෙනවා කලින් ව්‍යාපෘතිය පවත්වා ගෙන ගිය වැඩබිම නැවත ලබා ගෙන ඒ ස්ථානයේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට.”

දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා -

“මා රාජකාරි බාරගැනීමෙන් පසු පැය 1 ½ වැඩ කාලයක් මෙහි නිරික්ෂණය කරනු ලැබුවා. එහිදී අප හැමදෙනා‍ගේම ඔළුව රිදෙන්නට පටන්ගත්තා. මේ දුක වේදනාව සමඟයි ගම්වල මිනිසුන් ජීවත් වෙන්නේ. මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුවානම් වර්තමානයේ ජාතික විදුලි පද්ධතියට විදුලිය සපයන තැනක් බවට පත්වෙන්න තිබුණා. මේ ව්‍යසනය වෙනු‍වට කසළවලින් මුදල් උපයන තැනක් බවට පත්වෙන්න තිබුණත් නගර සභාවටත්, මේ ප්‍රදේශයේ ජනතාවටත් එය වදයක් බවට පත්ව තිබෙනවා. දැන් විදුලිබල පද්ධතියට විදුලිය අවශ්‍ය යි. විදුලියේ ඉල්ලුම් හා සැපයුම අතර පරතරය නිසා අප අතිවිශාල මුදලක් ගෙවා පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගන්නවා. පසුගිය කාලසීමාව තුළ ජාතික විදුලි පද්ධතියට සූර්ය කෝෂවලින් ලබා ගන්නා විදුලිය හැරුණාම කිසිදු ආකාරයක විදුලිය උත්පාදනය කර නැහැ. පසුගිය කාල සීමාව තුළ කිසිදු විදුලි නිෂ්පාදනයක් සිදු කර ගැනීමට නොහැකි වූ ඛේදවාචකය අප හමුවේ තිබෙනවා. මේ ව්‍යාපෘතියට පළාත් පාලන ආයතන හයක කුණු එක් කරමින් පණගන්වනු ලැබුවහොත් ආරම්භයේ දී අවම වශයෙන් මෙහි කිලෝවෝට් 15ක් විදුලිය නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ නිසා මෙය කසළ මුදල් බවට පත්වන ව්‍යාපෘතියක්. අවුරුදු හතරක් මේ වෙනුවෙන් දුක්විඳපු ජනතාවට තවදුරටත් මේ දුකට විසදුමක් ලබානොදී මගහරින්නට බැහැ මෙහි තාවකාලික පියවරක් ගන්නට බැහැ. නගරාධිපතිවරයා, විපක්ෂ නායකවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා කර තීරණ තුනක් ලබා ගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් උසාවියේ විභාග වන නඩුවට මැදිහත්වෙමින් තාවකාලිකව හෝ මෙහි නිෂ්පාදන කටයුතු කරන්න අප උත්සාහ කරනවා. කැළිකසළ වර්ගීකරණයක් කරන්න සුදානම් කරනවා. කසළ වර්ගීකරණය කිරීමේ වැඩපිළිවෙළක් අප මාතර දිස්ත්‍රික්කයේ ආරම්භ කිරීමට අපේක්ෂා කරනවා. කැළිකසළ ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුක්තේ පළාත් පාලන ආයතනය වූ බවත්, එයට පමණක් එය ‍කළ නොහැකියි. නමුත් ජාතික මට්ටමින් ස්ථිර විසඳුමක් කුණු ප්‍රශ්නයට ලබා දෙන්න පුළුවන් කමක් ලැබී නැහැ. කුමන තත්වයක් යටතේ හෝ වඩාත් හොඳ පරිසරයක් මේ ප්‍රදේශයේ නිර්මාණය කිරීමට කැපවෙනවා. සියලු පළාත් පාලන ආයතන එකට අත්වැල් බැඳගෙන යා යුතුයි.”

ඇතැම් දියුණු රටවල ක්‍රියාත්මක ගෑස්වලින් විදුලිය නිෂ්පාදනය කිරීමේ දැවැන්ත ව්‍යාපෘතිය දිවයිනේ පළමුවරට මාතර කොටවිලින් ආරම්භ කිරීමට සුදානම්ය. එහෙත් එහි අභියෝග ගණනාවක් පවතී. නිලධාරිවාදය හා දේශපාලන මතවාද පරිසරය හා නීතිය අතර දෝලනය වන අධිකරණ ක්‍රියාමාර්ග ද කොටවිල කසළ ව්‍යාපෘතිය කෙරෙහි බලපෑම් එල්ල කරයි. ඒවා සියල්ලක්ම ජය ගත හැකි බව අප කළ සංචාරයේ විද්‍යමාන විය. විද්‍යාත්මක ක්‍රමවේදයන් තුළ කුණු කළමනාකරණය කර ගැනීමට කටයුතු කළහොත් සහ මාතර සුන්දර නගරයක් බවට පත්කිරීමේ සිහිනය යථාර්ථයක් බවට පත්කරන්නට නිවැරැදි දිශානතිය තුළ ක්‍රියා කළ‍හොත් කොටවිල කසළ ව්‍යාපෘතිය ද අභිමානවත් මාතර පුරවරයේ හැරවුම් ලක්ෂයක් බවට පත්වනු ඇත. ඒ සඳහා පරිසර හිතකාමී සංස්කෘතියක් නිර්මාණය කරන්නට හා සුබවාදී ආකල්පමය වෙනසක් ඇති කිරීම ව්‍යාපෘතිය හා බැඳුණු ජනතාවගේ යුතුකමක් හා වගකීමක ද වන්නේය. ඒ සඳහා නිලධාරීන් විසින් ද සාකච්ඡා, සංවාද හා දැනුවත් කිරීම් කළ යුතුය. එසේ වුවහොත් රටටම ආදර්ශවත් ව්‍යාපෘතියක් බවට කොටවිල කුණු ව්‍යාපෘතිය ඉතිහාසයට එක්වනු ඇත.

ටී.කේ.මහින්ද
වැලිගම සමූහ

නව අදහස දක්වන්න