සුජාත දරුවෝ! | දිනමිණ

සුජාත දරුවෝ!

අපේ දරුවන්ගේ අනාගතය පිළිබඳ සුබ පෙරනිමිති පහළ වී ඇති බවක් පෙනෙයි. අප එසේ සඳහන් කරනුයේ දැනට ක්‍රියාත්මක හා ඉදිරියේ ක්‍රියාත්මක වීමට නියමිත ජාතික වැඩසටහන් කිහිපයක් සැලැකිල්ලට ගනිමින් ය. ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ‘සුජාත දරුවෝ’ නමින් වැඩසටහනක් ලබන 15වන දා සිට ක්‍රියාත්මක වෙයි. අගමැතිවරයාගේ මඟ පෙන්වීම මත ජාතික අධ්‍යාපනය ඩිජිටල්කරණය වෙත යොමු වෙමින් පවතී. ජනමාධ්‍ය වැඩසටහන් සඳහා දරුවන් සහභාගී කරවාගැනීමේ දී අනුගමනය කළ යුතු ළමා’රක්ෂක ප්‍රතිපත්තියක් සකස් කිරීමට ජාතික ළමාරක්ෂක අධිකාරිය ඉදිරිපත් ව සිටී.

සුජාත දරුවෝ වැඩසටහනෙහි මූලික අරමුණ දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළක්වාගැනීමයි. මේ හැරෙන්නට ළමයා පෞරුෂයකින් හෙබි යහපත් පුරවැසියකු බවට පත් කිරීම ද වැඩසටහනෙහි ඉලක්කයකි. රටේ ආරක්ෂක අංශ, සෞඛ්‍ය අංශ හා පුරවැසි සමාජ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා සහයෝගය ලබාදෙති. මිත්‍රශීලී වැඩසටහනක් ලෙස ‘සුජාත දරුවෝ’ ක්‍රියාත්මක වන අතර අවබෝධය හා දැනුම ඔස්සේ මත්ද්‍රව්‍ය නිවාරණයට කියා කරනු ලැබේ. දරුවා විෂ මත්ද්‍රව්‍යවලින් දුරස් කිරීම සඳහා ක්‍රීඩාව, සංගීතය වැනි විෂය ක්ෂේත්‍රයන් ද මෙහි ලා භාවිත කරනු ලැබේ. දරුවා මත්ද්‍රව්‍යවලින් ඈත් කිරීම සඳහා වින්දනීය විෂය ක්ෂේත්‍ර යොදා ගැනීම ඉතා වැදගත් ක්‍රියාවලියකි.

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලය කෙතරම් ශක්තිමත් ද යත්, පාසල් දරුවාගේ සිට විශ්වවිද්‍යාල ශිෂ්‍යයා දක්වා නොමිලේ මත්ද්‍රව්‍ය බෙදාහරින ක්‍රමයක් ඇතැ’යි හෙළිදරව් වී තිබේ. අතීතයේදී ඉංග්‍රීසිකාරයා, ශ්‍රී ලාංකිකයාට මත්පැන් භාවිතය හුරු කළේ ද ඒවා නොමිලේ ලබා දෙමින් ය. අද වන විට ඉහළම මත්පැන් භාවිතයක් ඇති රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වනු ලැබේ. මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය ඊටත් වඩා වේගයෙන් සිදුවිය. අවසන් ලෙස ආසියාවට කුඩු බෙදාහරින මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව පැවැතිණි. දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම යනු රටේ අනාගතය මුළුමනින් ම විනාශවීමකි. ජනාධිපතිවරයා මත්ද්‍රව්‍යවලට එරෙහිව දැඩි තීන්දු - තීරණ ගැනීමත් සමඟ එය වැළැක්වීම කඩිනම් වී ඇත.

දරුවන් මතට ඇබ්බැහි කිරීම පමණක් නො ව; ඔවුන් මෙකී ජාවාරම සඳහා හවුල් කරගැනීමත් ශ්‍රී ලංකාවේ දී සිදු වෙයි. දරුවන්ට පහසුවෙන් ම පොලිසිය මගහැර යා හැකි බැවින් ද දරුවන් සැක කිරීමකට හසුවන්නේ කලාතුරෙකින් බැවින් ද ජාවාරම සඳහා ඔවුන්ගේ දායකත්වය සාර්ථකය. තව අතෙකින් දරුවන්ගේ අතට මුදල් ගලාඑන්නට පටන්ගත් විට ඔහු ඉතා කැමැත්තෙන් ම ජාවාරමට එකතු වෙයි. මේ අයුරින් මත්කුඩු ජාවාරමට සම්බන්ධ වූ සැලැකිය යුතු පිරිසක් සිටිති. වඩාත් වැදගත්වන්නේ ඔවුන් පුනරුත්ථාපනය කිරීම යැයි කිව හැකි ය. මත්ද්‍රව්‍ය ජාවාරමට දරුවන් එකතුවන්නේ අනවබෝධ්‍ය නිසා ය. අවබෝධය හා දැනුම ලබා දෙන්නේ නම්; දරුවන් මෙබඳු ව්‍යසනවලින් ගොඩගත හැකි ය.

මතින් මුදාගත් දරුවා පෞරුෂයකින් යුතුව සමාජා’නුකරණයට ලක් වේ. ඊළඟට ඔහුට අවශ්‍ය වන්නේ සාර්ථක අධ්‍යාපනයකි. එම අධ්‍යාපනය දරුවාගේ අනාගත ආර්ථිකය සැලැසුම් කරන හා නූතන ලෝකයට ගැළපෙන එකක් විය යුතුය. ගෝලීයකරණ ආර්ථික ක්‍රියාවලිය තුළ සංවාදයට ලක්වන්නේ ඩිජිටල් ආර්ථිකය ගැන ය. ඩිජිටල් ආර්ථිකයට ප්‍රවේශ වීම සඳහා ඩිජිටල් අධ්‍යාපනයක් ද තිබිය යුතුය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙය නිතර සිහිපත් කරයි. ඒ අනුව රටේ අධ්‍යාපනය කෙමෙන් ඩිජිටල්කරණයට ලක්වෙයි. තව වැඩි කාලයක් යෑමට පෙර පාසල් දරුවන් පොත් මිටි වෙනුවට ‘ටැබ්’ යන්ත්‍රයක් රැගෙන පාසලට ගොඩ වනු ඇති බව අගමැතිවරයා පෙන්වා දෙයි. ප්‍රසිදධ පාසල් කිහිපයක පන්ති කාමර අද මේ තත්ත්වයට හැරී ඇත.

අපේ සාම්ප්‍රදායික අධ්‍යාපනය පැවැතියේ ලෝක ආර්ථිකයට ගැළපෙන අයුරින් නොවේ. ලෝක ආර්ථිකය සමඟ පමණක් නොව; දේශීය ආර්ථිකය සමඟද එය නොගැළපිණි. රැකියා වෙළෙඳ පොළ ඉල්ලා සිටින වෘත්තිකයන් නිර්මාණය කිරීමට අධ්‍යාපනය සමත්වූ‍ෙය් නැත. මේ තත්ත්වය සැලැකිල්ලට ගත් රජය නව විෂය ධාරා 26ක් හඳුන්වා දී ඒ ඔස්සේ වෘත්තීය අධ්‍යාපනය නැංවීමට ක්‍රියා කර ඇත. ලෝකයේ දියුණුම රටවල් වෘත්තීය අධ්‍යාපනයට ප්‍රමුඛතාව ලබා දුන් අතර ශ්‍රී ලංකාව වැනි රටවල් වෘත්තීය අධ්‍යාපනයට ලබාදුන්නේ දෙවන හෝ තුන්වන හෝ තැනය. එය නූතන ලෝකයට ගැළපෙන තත්ත්වයක් නො වේ. රජය ඒ ක්‍රමය වෙනස් කිරීමට පියවර ගෙන ඇත.

අමෙරිකාව සිය ජාතික අධ්‍යාපන ක්‍රියාවලියේ දී ප්‍රමුඛතාව දක්වන විෂයයන් හතරක් තිබේ. ඒවානම්; විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව හා ගණිතය යන විෂයයන් ය. මේ විෂයයන් දරුවකුගේ නිර්මාණ හැකියාව හා පරිකල්පනය දියුණු කරන බවද අනාගත ලෝකය සමඟ දරුවා ආර්ථික වශයෙන් සම්බන්ධ කරන බවද විශේෂඥයෝ පෙන්වා දෙති. අනාගතයට වැඩදායක ජාතික ප්‍රතිපත්තියක් ඔස්සේ අධ්‍යාපනය සකස් විය යුතු බවට සංවාද පැවැත්වූයේ දසක කිහිපයකට පෙර සිට ය. එහෙත් සංවාද අර්ථ - විරහිත බවට පත්වුයේ ඒවායින් කිසිදු ප්‍රතිඵලයක් උදා ‍ෙනාවූ බැවිනි. එහෙත් අද වන විට ජාතික අධ්‍යාපනය ශීඝ්‍ර වෙනසකට ලක් වී ඇත. මේ වෙනස දරු පරපුරේ අනාගතය දෙස බලා සිදු කළ ක්‍රියාවලියක් බව සහතිකය.

ළමා ආරක්ෂක අධිකාරිය ගෙන ඇති පියවර ද ඉතා වැදගත් ය. එනම් රියැලිටි හා වෙනත් ජනමාධ්‍ය වැඩසටහන් සඳහා සහභාගී වන දරුවන්ගේ අයිතිය සුරැකීමට ඉදිරිපත් වීමය. මේ වැඩසටහන් සඳහා කිසියම් ප්‍රමිතියක් සම්පාදනය කිරීමට ද අධිකාරිය ඉදිරිපත් ව සිටී. ළමයින් සඳහා වූ රියැලිටි වැඩසටහන් නිසා ළමා මනස විකෘති වන බවද ඔවුන් වැඩිහිටියන්සේ හැසිරෙන්නට මේවා මඟින් ආභාසය ලබන බවද විවේචකයන්ගේ අදහස් ‍ෙව්. මෙබඳු වැඩසටහන්වලට සහභාගී වන දරුවන්ගේ වචන භාවිතය හා චර්යා රටා නිරීක්ෂණය කරන විට ද මේ තත්ත්වය හොඳින් පැහැදිලි වෙයි. ළමයාට වැඩිහිටියකු වීමට කල් තිබේ. නියමිත කාලයට පෙර වැඩිහිටි චරිතය රඟපෑමට යෑ‍මෙන් බලවත් අර්බුද ඇති වෙයි.

සමස්තය දෙස බලනවිට පෙනීයන්නේ අපේ දරුවන්ගේ අනාගතය නරක නැති බවය. දරුවන් සඳහා හොඳම දේ ලබාදිය යුතු යැයි කියූවද දීර්ඝ කාලයක් තිස්සේ ඒවා ලැබුණේ නැත. දැන් නම් එහි වෙනසක් සිදු වී ඇති බව පෙනෙයි.

අදහස් 1ක් ඇත

This not a perfect solution to renovate our education system ,because this has got paradigms from the west.we have to find our own way.

නව අදහස දක්වන්න