ශ්‍රී ලංකා වෛද්‍ය උපකරණ කර්මාන්ත මණ්ඩලයේ 4 වැනි මහා සභා රැස්වීම | දිනමිණ

ශ්‍රී ලංකා වෛද්‍ය උපකරණ කර්මාන්ත මණ්ඩලයේ 4 වැනි මහා සභා රැස්වීම

ශ්‍රී ලංකා වෛද්‍ය උපකරණ කර්මාන්ත මණ්ඩලයේ 4 වැනි වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ 'Atrium Lobby'. හිදී පැවැත්විණි. මේ අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සෞඛ්‍ය රාජ්‍ය ඇමැති ෆයිසාල් කාසිම් මහතා සහභාගි වූ අතර, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා මහතා සහ එම ක්ෂේත්‍රය නියෝජනය කරන තවත් විශාල පිරිසක් මේ අවස්ථාවට එක්විය.

පසුගිය වසරේ නිලධාරී මණ්ඩලය විශිෂ්ට ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කිරීම නිසා ඉදිරි වසර සඳහා ද ඔවුන් නැවත පත්කරන ලදි. ඒ අනුව මණ්ඩලයේ සභාපති ලෙස එරන්දජිත් රණසිංහ, උප සභාපතිවරුන් ලෙස තිලක් ප්‍රනාන්දු සහ නිරංජන් සෙල්වදුරෙයි, ලේකම් ලෙස එස්. ප්‍රභූ, සහකාර ලේකම් ලෙස සංජීව සමරසිංහ සහ භාණ්ඩාගාරික ලෙස ප්‍රදීප් අමරවර්ධන යන මහත්වරු කටයුතු කරති. මණ්ඩලයේ හිටපු සභාපති වන්නේ සමන් හුලංගමුව මහතා ය.

පසුගිය වසරේදී, ශ්‍රී ලංකා රේගුව සහ මුදල් අමාත්‍යාංශය සම්බන්ධ ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා මණ්ඩලය විසින් නව අනුකමිටුවක් පත්කරන ලදි. ලියාපදිංචි වෛද්‍ය උපකරණ සඳහා අය කෙරෙන වැට් බද්ද ඉවත් කරන ලෙස එම කමිටුව විසින් ඉල්ලීමක් ඉදිරිපත් කරන ලද අතර ඒ සඳහා බලධාරීන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී තිබේ.

වේගයෙන් පුළුල් වන වෛද්‍ය උපකරණ කර්මාන්තය නියෝජනය කිරීමේ සහ එම කර්මාන්තයට අදාළ ගැටලු ආමන්ත්‍රණය කිරීමේ පදනමක් ලෙස 2015 වසරේදී පිහිටුවා ගනු ලැබූ ශ්‍රී ලංකා වෛද්‍ය උපකරණ කර්මාන්ත මණ්ඩලය, උසස් ප්‍රමිතියෙන් යුත් වෛද්‍ය උපකරණ භාවිතය ප්‍රචලිත කිරීම, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලුම අංශ සමඟ සහයෝගීත්වය වර්ධනය කරගැනීම, සාමාජිකයන් අතර සුහදත්වය වර්ධනය කරවීම, වෛද්‍ය උපකරණ ප්‍රචාරණය සහ අලෙවිය සම්බන්ධයෙන් ආචාරධර්ම මාලාවන් ස්ථාපිත කිරීම සහ වෛද්‍ය උපකරණ හා උපාංග සම්බන්ධ නියාමන ක්‍රියාවලියේදී රජයේ සෞඛ්‍ය බලධාරී අංශ සහ කර්මාන්තය අතර ඇති වන සංවාදවලදී ක්ෂේත්‍රය නියෝජනය කිරීම යනාදිය මෙම මණ්ඩලයේ ප්‍රධාන අරමුණු වේ.

නව අදහස දක්වන්න