වැඩි ම කැමැත්ත ගාය­න­යට | දිනමිණ

වැඩි ම කැමැත්ත ගාය­න­යට

ගයාන් ගුණ­ව­ර්ධන

ගායකයකු,නළුවකු, සංගීත අධ්‍යක්ෂවරයකු, ශබ්ද පරිපාලකවරයකු හා නිවේදකයකු ලෙස තම අනන්‍යතාව ගොඩනගාගෙන සිටින ගයාන් ගුණවර්ධන, ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධනගේ එක ම පුත්‍රයාය.

 

තාත්තගෙන් ලැබුණු උරුමය ඉදිරියට ගෙනයනවා කියන තැන නෙමෙයි ඉන්නෙ. නුවන් ගුණවර්ධන කියන ගායන ශිල්පියා, ශ්‍රී ලංකාවේ නමක් හදාගෙන, ස්ථාවර තැනක ඉන්න කෙනෙක්. ඔහු ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ එක්තරා වැදගත් චරිතයක්. ඒත්, ගයාන් ගුණවර්ධන කියන්නෙ, ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ චරිතයක් නෙමෙයි.

 

 ඔබ, පාසල් වියේ පටන් ම ජනප්‍රිය ගායකයකුගේ පුත්‍රයකු ලෙස වැඩි අවධානයක් දිනා සිටි අයෙක්ද?

මම ඉගෙන ගත්තෙ ජාත්‍යන්තර පාසලක. පාසලේදි මම පියානෝ වාදනය විෂයයක් විදිහට හැදෑරුවා . එම විෂය සම්බන්ධව ප්‍රායෝගික හා න්‍යායාත්මක අංශයෙන් විභාගවලට පෙනී සිටියා. පාසල් බටහිර වාදක කණ්ඩායමේ ට්‍රම්පට් වාදනය කළා . පාසල් සමය ඉවර වෙනවත් එක්කම, අපි සංගීත කණ්ඩායමක් පටන් ගත්තා . කණ්ඩායමක් විදිහට අපේ දක්ෂතා ඉදිරිපත් කරලා, ජයග්‍රහණය ලබා ගත්තා. ඔය වගේ දේ තමයි මගේ පාසල් විය හා බැඳුණු, සංගීතය සම්බන්ධ මතක.

අපේ පාසලේ ඉගෙන ගත්ත ළමයි කොහොමටත් සිංහල ගීත රසවිඳින්නෙ නැහැ. ඔවුන් අහන්නෙ බටහිර ගීත. ඒ කාලෙ තරුණ පරපුර අතර ප්‍රචලිතව තිබුණෙ, රැප්, හිපොප් වගේ සංගීත ශෛලි. මේ පසුබිම තුළ මගේ පියා ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායකයෙක් කියන එක, පාසලේදි මට සංගීතය පැත්තෙන් වැඩි වාසි ලැබෙන කාරණයක් වුණේ නැහැ.

 ඔබ, පිය උරුමය ඉදිරියට ගෙනයෑම අරමුණ කරගත් ගායකයන් අතර සිටින තවත් කෙනෙක්ද?

මගේ තාත්තා ප්‍රසංග වේදිකාවේ වගේ ම, හැම පැතිකඩකින් ම ජනප්‍රියයි. මම එළිමහන් ප්‍රසංගයකට, ගෘහස්ථ ප්‍රසංගයකට, උත්සවයකට, විදෙස් සංචාරයකට ගියහම, රසිකයො තාත්තගෙ ගීත මගෙන් ඉල්ලන එක නවත්වන්න බැහැ. තාත්තගෙ ගීත මගෙ හඬින් අහන්න කැමැති පිරිසක් ඉන්නවා. ඒ අය වෙනුවෙන් මම අනිවාර්යයෙන් ම තාත්තගෙ ගීත ගායනා කරනවා. ඊට අමතරව, මගේ ම ගීතත් ගයනවා. බටහිර ගීත හා හින්දි ගීතත් ගායනා කරනවා. මේ හැම ගීතයක්ම ගායනා කරලා, රසිකයන්ට සමබර විනෝදාස්වාදයක් ලබාදීලා, මම එතැනින් පිට වෙනවා.

ඒත් මම, තාත්තගෙන් ලැබුණු උරුමය ඉදිරියට ගෙනයනවා කියන තැන නෙමෙයි ඉන්නෙ. නුවන් ගුණවර්ධන කියන ගායන ශිල්පියා, ශ්‍රී ලංකාවේ නමක් හදාගෙන, ස්ථාවර තැනක ඉන්න කෙනෙක්. ඔහු ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ එක්තරා වැදගත් චරිතයක්. ඒත්, ගයාන් ගුණවර්ධන කියන්නෙ, ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ චරිතයක් නෙමෙයි . මම තාත්තගෙ ගීත දිගටම ගායනා කළොත්, මට තාත්තා වගේ චරිතයක් වෙන එක හිතන්නවත් බැරි වෙයි. මම වයස විසි ගණන්වල මුල් අවධියේ ඉන්න කෙනෙක් . මගේ ස්වතන්ත්‍ර ගීත ගායනා කරලා නමක් හදා ගන්න පුළුවන් වුණොත්, මට අවුරුදු හතළිස් පහක් විතර වෙද්දි, අඩු ම ගණනෙ තාත්තගෙ නියපොත්තක් ළඟට හරි යන්න පුළුවන් වුණා කියලා මම හිතනවා.

 පියාගේ ගීත මත නොරැඳී, ක්ෂේත්‍රයට ආ සැණින් ඔබ කළ නව නිර්මාණවලට ලැබුණු ප්‍රතිචාර ප්‍රමාණවත්ද?

පහුගිය කාලයේ මම මාධ්‍ය වෙත මුදාහළ මගේ 'ඉසබෙලා' ගීතයට, රූප රචනාවක් නැතිවත් බොහෝ ප්‍රතිචාර තියෙනවා. එහි සංගීත අධ්‍යක්ෂණය කළේ තිසර බණ්ඩාර. පද රචනය රශ්මික මණ්ඩාවලගෙ. මේ වනවිට මගේ නවතම ගීතය 'දිලෙනා තොල්' නිර්මාණ කටයුතු සමඟයි ඉන්නෙ. මෙහි සංගීත අධ්‍යක්ෂණය, යසස් මැදගෙදර. පද රචනය ෂෙහාන් ගලහිටියාව. මේ ගීතය ළඟදිම රසිකයන් අතරට පත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙද්දි මගේ ම ගීත හතක් විතර නිර්මාණය කරලා තියෙනවා. ඊට අමතරව මම, ටෙලි නාට්‍ය පසුබිම් ගීත ගායනා කර තියෙනවා. මේ හැම ගීතයක්ම, රසිකයන් අතරට ගිය නිර්මාණ බව කියන්න කැමැතියි.

 ඔබගේ පියාගෙන්, සංගීත දිවියට ලැබෙන සහය පිළිබඳ කතා කළොත්?

මගේ පියා මගෙ හැම දේටම සහය දෙනවා. ඔහු මාත් සමඟ ඉන්නෙ, මම ඉපැදුණු දවසෙ ඉඳලමයි . මට ඟයාන් - ගායනා කරන්නා' කියන අදහස දෙන නම තියන්නෙත්, මා ගායන ශිල්පියෙක් කිරිමේ හීනයක් ඔහුට තිබුණු නිසයි . ඒ කියන්නෙ මමවත් මේ ගමනෙ නොසිටි අවධියක, තාත්තා මා වෙනුවෙන් මේ ගමනෙ ඉඳලා තියෙනවා. ගයාන් ගුණවර්ධන කියන්නෙ තාත්තගෙ නිර්මාණයක්. පාසල් අවධියෙ මට කලාවට එන්න උනන්දුවක් හෝ කැමැත්තක් තිබුණෙ නැහැ. සංගීතය කියන්නෙ හරි ම සුන්දර දෙයක් කියලා, මට හරියට පහදලා දුන්නෙ තාත්තා . සමහර උදවිය සංගීතය කියන විශ්ව භාෂාවට අපහසා කරනවා. ගෘහස්ථ ප්‍රසංග රසවිඳින සමහරු, එළිමහන් ප්‍රසංගවලට අපහාස කරනවා. ගෘහස්ථ ප්‍රසංගයක රසවිඳලා, එහි විනෝදාස්වාදය මදි කියන පිරිසකුත් ඉන්නවා. එළිමහන් ප්‍රසංගයක්, ගෘහස්ථ ප්‍රසංගයක්, පැදුරු පාටියක් රසවිඳින විදිහ හා වෙනත් භාෂාවල ගීත රසවිඳින විදිහ ගැන මගේ තාත්තා මට කියලා දුන්නා. සංගීතයට කවදාවත් අපහාස නොකරන්න වගේ ම, නිහතමානීකමින් ජීවත් වීම, මට තාත්තාගෙ ජානවලින් ම උරුම වෙලා තියෙන්නෙ. මගේ ජීවිතයේ ලොකු ම ගුරුවරයාත් ඔහුයි.

 ගායකයෙක් වෙන්න තිබූ නොකැමැත්ත, කැමැත්තක් බවට පෙරළෙනවාත් සමඟම, ඔබට පිට පිට අවස්ථා ගලා ආ හැඩයි.

මගේ තාත්තා මුල් අවදියේ ගුවන්යානා ඉංජිනේරුවරයෙක් විදිහට වැඩ කළ කෙනෙක්. මගේ අරමුණ වුණෙත්, එවන් ක්ෂේත්‍රයක රැකියාවක් කරන්නයි . ඒ නිසා ම, උසස් පෙළ විභාගයට පෙනී සිටියට පසුව, වැඩිදුර අධ්‍යාපනය ලබන්න අමෙරිකාවට යන්න අදහසක් තිබුණා . ඒත්, කලාකරුවන්ගෙ ආර්ථිකය ගැන කවුරුත් දන්නවනෙ. මට ඒ ගමන යන්න බැරි වුණා. ඒකට හේතු වුණේ, අපේ ආර්ථිකයයි. පසුව මම රැකියාවක් කළා. ඒ අතරතුර කාලයේ, දිලිප් ගබඩාමුදලි මහත්මය යටතේ ශබ්ද පරිපාලන ඉංජිනේරු අංශයෙන් ඉගෙනුම ලැබුවා. පස්සෙ, මගේ පළමු වැනි ගීතය, මම ම පටිගත කළා. ඊට පස්සෙ, රූපවාහිනී නාලිකා කිහිපයකින් මට වැඩසටහන් කිහිපයකට ඇරියුම් ලැබුණා. ඒ එක්කම ටෙලි නාට්‍ය පසුබිම් ගායනයටත් මට අවස්ථාව උදා වුණා. ඒ අනුව, 'ආදරේ ගින්දරක්' ටෙලි නාට්‍යයේ උරේෂා රවිහාරි සමඟත්, 'නිසල සඳ' ටෙලි නාට්‍යයේ අමිලා නදීශානි සමඟත් මට ගයන්න ලැබුණා. එපමණකින් නොනැවතී මට, ටී වි 1 නාලිකාවේ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් විදිහට රැකියාවත් ලැබුණා. පසු කාලයේ මට රංගනයටත් වරම් හිමි වුණා. ඒ, ෂර්ලි පී. දෙලංකාවලගේ 'හිතුවක්කාරි' ටෙලා නාට්‍යයේ. එහි මම චතුරිකා පීරිස් සමඟ ප්‍රධාන චරිතය රඟපෑවා.

 නව පරපුරේ තරුණයෙක් වන ඔබගේ රසඥතාව තිබුණේ කොතැනකද?

මම වැඩිපුර ම ආදරය කළේ, බටහිර සංගීතයට . හින්දි ගීතයටත් මම ඒ තරමට ම ප්‍රිය කළා . මම පාසල් යන කාලේ, අපේ රටේ තිබුණු සංගීතයට මගේ ලොකු ඇල්මක් තිබුණෙ නැහැ . හැබැයි, 70 - 80 දශකවල අපේ රටේ නිර්මාණය වෙලා තිබුණු ගීතවලට, මගේ ඇල්මක් තිබුණා .

 අද ඔබ සිටින්නෙ ගායකයා, නළුවා, නිවේදකයා චරිත අතරේ කුමන තැනකද?

මේ වෙද්දි, මට රඟපාන්න ඇරියුම් ලැබුණු අලූත් ටෙලි නාට්‍යයක රූගත කිරීම්වලට සුදානම් වෙනවා . ගායන ශිල්පියෙක් වීම තමයි මගේ ලොකු ම කැමැත්ත. මේ වෙද්දි, ඒ අරමුණ කරා යමින් ඉන්නවා . ඒත් දැනට මගේ රැකියාව වෙලා තියෙන්නෙ නිවේදනය . අදටත් මම ටී. වි. 1 නාලිකාවේ නිවේදකයෙක් විදිහට වැඩ කරනවා. නිවෙසේ තියෙන මගේ රෙකෝඩින් ස්ටුඩියෝ එකේ පටිගත කිරීමේ වැඩ කරනවා. ඉගැන්වීම් කටයුතුත් කරනවා. ඒ අතරම මගේ සංගීත කණ්ඩායමේ වැඩවල ඉන්නවා. මම, වෘත්තීයමය නිර්මාණකරුවෙක් වෙන්න කැමැති කෙනෙක් .

 දවසින් දවස වැඩෙන ජනප්‍රියත්වය, ඔබගේ දිවියට බලපෑමක්ද?

අපි හරි විදිහට ජීවත් වුණා නම්, කිසි ම දෙයක් අපට ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ . මම බෞද්ධයෙක් . මගේ මවුපියන් බෞද්ධ. මම බෞද්ධ දර්ශනය අනුගමනය කරනවා. ඒ දර්ශනයට ගරු කරමින් ජීවත් වෙනවා.

සංස්කරණය 
ඉරෝෂිණී දීපිකා
ධම්මිකා සුරංජි පති­රණ

නව අදහස දක්වන්න