බස් පර්මිට්වල අතයට ගනුදෙනු නතර කරනවා | දිනමිණ

බස් පර්මිට්වල අතයට ගනුදෙනු නතර කරනවා

අසේල කුරුළුවංශ

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ජනක මල්ලිමාරච්චි

පෞද්ගලික බස්රථ මෙන්ම ලංගම බස්රථ පිළ­ිබඳ පමණක් නොව දුම්රිය, ත්‍රිරෝද රථ, පාසල් වෑන් රථ ආදී වශයෙන් වන මෙරට ප්‍රවාහන පද්ධතිය සම්බන්ධව මගී ජනතාවට ගැටලු රැසක් පවතී. මගී ගැටලුවලටත් ප්‍රවාහන කර්මාන්තයේ නියුතු අයගේ ගැටලුවලටත් හේතු සහ විසඳුම් සොයා බැලීම සඳහා අද එහා ඉවුර වෙන්වේ.

පෞද්ගලික බස් රථ රියැදුරන්ගේ හා කොන්දොස්තරවරුන්ගේ විනය සම්බන්ධව විශාල ප්‍රශ්න තිබෙනවා. මගීන් නිතර මේ සම්බන්ධව චෝදනා කළත් බලධාරීන් ක්‍රියාත්මක වන බවක් පේන්න නැහැ නේද ?

රියැදුරන් හා කොන්දොස්තරවරුන් අතරින් සියයට අසූවකගේ පමණ විනය පිරිහී තිබෙන බව මමත් පිළිගන්නවා. මේ තත්ත්වය වෙනස් කරන්න මම සැලසුමක් හදලා තියෙනවා. දඬුවම් දීමෙන් පමණක් පුද්ගලයෙක් නිවැරදි මාවතට ගන්න බැහැ. වැරදි කරන අයට ඒ වැරදි හදාගන්න අවස්ථාවක් දෙන්න ඕන. අපි ඒ අයගේ මානසික මට්ටමත් තේරුම් ගන්න ඕන. ගමනාගමන කොමිෂන් සභාව ලකුණු ක්‍රමයක් හඳුන්වා දෙන්න සැලසුම් කරනවා.

සේවය හොඳ නම් ලකුණු වැඩි වේවි. නරක නම් ලකුණු අඩු වේවි. මේ දෙකෙන් කෝකද කර ගන්නේ කියන එක තීරණය කිරීම රියැදුරුටත් කොන්දොස්තරටත් බාරයි. අනතුරක් කළොත්, මගීන්ට බැණ වැදුණොත්, නියමිත වේලාවට ගමන් වාරය අවසන් නොකළොත් ලකුණු අඩු වේවි. බස් රථය අනතුරට ලක්වෙලා මගියෙක් හෝ පදිකයෙක් මියගිය හොත් හෝ තුවාල ලැබුවහොත් පොලීසියේ වාර්තා පදනම් කරගෙන අපිත් ලකුණු කපා දමනවා. මගී ප්‍රශංසා ලබන රියැදුරු කොන්දොස්තරවරුන්ට ඒ විදිහටම ලකුණු ලබාදීමත් මේ වැඩපිළිවෙළට අන්තර්ගතයි.

බීමත්ව රිය පැදවීම හෝ අපරික්ෂාකාරී ලෙස රිය පදවලා අනතුරක් කළොත් ඒ රියැදුරාගේ රියදුරු බලපත්‍රය අවලංගු කරන්න අපට හැකියාවක් නැහැ. ඒ අයිතිය තිබෙන්නේ අධිකරණයට. මේ නිසා තමයි අපි තීරණය කළේ ලකුණු දීමේ ක්‍රියාවලියක් හඳුන්වා දෙන්න. ගමනාගමන කොමිෂන් සභාව මගින් සෑම රියැදුරකුටම බලපත්‍රයක් ලබා දී තිබෙනවා. වාර්ෂිකව මේ බලපත්‍රය අලුත් කරන්න ඕන. ඒ වෙලාවෙදි අපි ලකුණු සටහන බලනවා. ඒකේ ලකුණු පදනම් කරගෙන තමයි බලපත්‍රය ඔහුට දෙනවද නැද්ද කියන එක තීරණය කරන්නේ. කොන්දොස්තරවරයාටද මේ ආකාරයෙන්ම ලකුණු ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා. බස් හිමියන්ද දැනුවත් කර මේ වැඩපිළිවෙළ ආරම්භ කරනවා. දිගින් දිගටම වැරදි කරන රියදුරු කොන්දොස්තරවරු සම්බන්ධයෙන් අපි නීතිය හරියට ක්‍රියාත්මක කළොත් මේ බස් කර්මාන්තය මගී ජනතාවගේ ආකර්ෂණය දිනා ගන්නා සේවාවක් බවට පත් වේවි.

ඔබ එසේ පැවසුවත් තාමත් රියැදුරු කොන්දොස්තරවරුන්ට රාජකාරී වේලාවේ නිල ඇඳුම අන්දවන්නවත් කොමිෂන් සභාවට නොහැකි වී තිබෙනවා නේද ?

රියැදුරුවරුන්ට කොන්දොස්තරවරුන්ට නිල ඇඳුමක් තිබෙනවා. ඒත් ඔවුන් ඒක නොඅඳින එක ප්‍රශ්නයක්. මේ නිල ඇඳුමට නොයෙක් විරෝධතා ආවා. සමහර තැන්වල මේවා පුච්චලා තිබ්බා. තවත් නිල ඇඳුම් විශාල තොගයක් අපේ ගබඩාවල තාමත් තිබෙනවා. මම හිතන්නේ දැනට තිබෙන නිල ඇඳුම වෙනස් විය යුතුයි. මේකට වඩා හොඳ නිල ඇඳුමක් හඳුන්වා දෙන්න මම තීරණයක් ගෙන තිබෙනවා. මගේ අදහස වර්ණ දෙකකින් නිල ඇඳුම් දෙකක් හඳුන්වාදීමටයි. සේවයේ නිරත වන අවස්ථාවේ රියැදුරු හා කොන්දොස්තර දෙදෙනාම නිල ඇඳුම ඇඳ සිටීම අනිවාර්යයි. එහෙම නැතුව බස් එකේ වැඩ කරන්න දෙන්නේ නැහැ.

පොදු ප්‍රවාහන සේවාවන් සඳහා ස්මාර්ට් කාඩ් හඳුන්වා දීමට ලෝකයේ බොහෝ රටවල් කටයුතු කර තිබෙනවා. අපි තාමත් මේ සඳහා සූදානම් නැහැ නේද ?

අපිටත් දැන් මේකට යන්න වෙලා තිබෙනවා. වෙනත් රටවල් මේවාට යොමුවෙලා ගොඩක් කල්. ඇත්තටම දැන් මේකත් ලෝකයට ගොඩක් පරණයි. රටේම මේක ක්‍රියාත්මක කරන්න ඕන. අද අපේ මගීන් කරන ලොකුම චෝදනාවක් තමයි බස් රථවල ඉතිරි මුදල් නොදීම. රුපියල දෙක පමණක් නොව සමහර කොන්දොස්තරවරු රුපියල් පහ පවා ඉතුරු නොදෙන අවස්ථා තිබෙනවා.

මේ ප්‍රශ්නයට තිබෙන හොඳම විසඳුම ස්මාර්ට් කාඩ් සංකල්පයයි. බස් එකට නැග්ගම කොන්දොස්තර මාරු සල්ලි ඉල්ලනවා. මගියා ළඟ මාරු කාසි නැත්නම් කොන්දොස්තර මගියාට දොස් කියනවා. මගීයාත් මේකට උත්තර දෙනවා. අවසානයේ ගැටුමක් දක්වාම මේ මාරු සල්ලි ප්‍රශ්න දුරදිග යනවා. අනෙක් පැත්තෙන් බස් රථයේ දෛනික ආදායම නියම විදිහට බස් හිමියාට නොලැබීමේ ගැටලුත් තිබෙනවා. ප්‍රවාහන අමාත්‍ය අර්ජුණ රණතුංග ඇමැතිතුමා සමඟ සාකච්ඡාවක් කළා. එතනදී තීන්දු කළා මුලින් ශ්‍රීලංගමටත් පසුව ගමනාගමන කොමිෂන් සභාව යටතේ පවතින බස් වලටත් මේ ස්මාර්ට් කාඩ් එක ක්‍රියාත්මක කරන්න. ඒකම ඉදිරියේදී දුම්රියටත් හඳුන්වා දෙනවා. මම හිතන්නේ මාස දෙකක් තුනක් ඇතුළත මේක කරන්න පුළුවන් වේවි.

දුරගමන් බස් රථ අනතුරට ලක්වන අවස්ථා නිතර දකින්න ලැබෙනවා. මේවායින් සිදුවන මරණ වගේම තුවාල ලබන පිරිසත් වැඩියි. ගොඩක් අනතුරුවලට හේතුව රියදුරුගේ අධිත වෙහෙස. බොහෝ බස් රථ එක දිගට පදවන්නේ එකම රියැදුරා. මේවා ගැනත් අවධානයක් යොමු කරන්න වේවි නේද ?

මල්වතු මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේද මේ ගැන අදහස් දැක්වූවා. කිලෝමීටර දෙසීයකට වැඩි දුරක් රාත්‍රි කාලයේ එක දිගට බස් රථය පදවන රියැදුරන් සිටිනවා. බස් රථයේ සිටින මගීන්ගේ ජීවිත සියල්ල රැඳී තිබෙන්නේ මේ රියදුරාගේ අතේ. ඔහු අධික ලෙස වෙහෙසට පත්ව සිටියදී ඔහුගෙන් හොඳ සේවයක් අපේක්ෂා කරන්න අමාරුයි. පසුගිය දිනක මේ වගේ අනතුරක් අපි දැක්කා. මගීන් තුන් දෙනෙක් මිය ගියා. දහ අට දෙනෙක් තුවාල ලැබුවා. දුර ගමන් බස් රථවල රියැදුරන්ට විවේක ගන්න නවාතැන් හදන්න ඕන. රියැදුරන්ට මාරු වෙන්න පහසුකම් සහිත ස්ථාන තියෙන්න ඕන.

කොළඹින් පටන් ගත්තම ගමනාන්තය දක්වාම එකම ඩ්‍රයිවර් යනවා. සමහර වෙලාවට කොළඹින් බස් එක රෑ 1.00 ට 2.00 යන්නේ. නිදිමත එනවා. මුණ සෝදන්න තැනක් නැහැ. පසුගිය වසර වනවිට මිලියන 400ක් අපි මහ භාණ්ඩාගාරයට යවා තිබෙනවා. අපි මේ මුදල් මහජන සුබ සිද්ධිය පිණිස යොදවන්න ඕන. මම ඒ සඳහා කටයුතු කරගෙන යන්නේ. වැඩ කරන්න තිබෙන්නේ තව මාස දහයක් විතර. මේක මැතිවරණ වසරක්. අපි යන්න කලින් තැන් හොයා ගෙන සැලසුම් හදලා මේවට සල්ලි වෙන්කරලා ගියොත් එන කෙනෙක් හරි ඉතිරි හරිය කරයි. දුර ගමන් සේවා බස් රථවලට රියැදුරන් දෙන්නෙක් යොදවන්න ඕන. මම ඉන්නේ ඒ ස්ථාවරයේ.

මගීන්ගේ පැත්ත පමණක් නොව බස් හිමියන්, රියැදුරු හා කොන්දොස්තරවරුන්ගේ සුබසාධනය ගැනත් සොයා බැලීමේ වගකීමක් කොමිෂන් සභාවට තිබෙනවා නේද ?

මේ ගැන අපි බස් හිමියන් සමඟ කතා කරනවා. ඕනෑම වෘත්තිකයෙක් තමන්ගේ රැකියාව හොඳින් වගකීමෙන් කරන්නේ ඔහු රැකියාව ගැන තෘප්තිමත් නම් විතරයි. රියැදුරු කොන්දොස්තරවරුන්ගේ රැකියා සම්බන්ධයෙන් අද කිසිදු ස්ථිරත්වයක් නැහැ. බස් හිමියා කිව්වොත් අද බස් එකෙන් බහින්න කියලා මේ අයට යන්න වෙනවා. මුලින් රැකියා සුරක්ෂිතභාවය ඇති කරන්න ඕන. රියැදුරු හා කොන්දොස්තර මගියාට පමණක් නොව බස් හිමියාටත් හොඳට සලකන තැනකට එන්න ඕන. අපි මේ අයට පුහුණුවීම් දෙනවා. ඒ වෙනුවෙන් විශාල මුදලක් වැය කරනවා. පුහුණුව ලැබුවට පස්සේ බස් රථය වැඩ කරන රියැදුරු කොන්දොස්තර වෙන හොඳ රැකියාවක් ලැබුණොත් බස් රස්සාව දාලා ඒකට යනවා. අපි දුන්න පුහුණුව වතුරේ. රැකියාවේ සුරක්ෂිතභාවයක් තිබෙන බව මේ අයට දැනුණොත් ඒ අය රස්සාව දාලා යන්නේ නැහැ. වෙන රැකියාවක් ලැබුණත් අපි මේ බස් රස්සාව අතහැරලා යන්නේ නෑ කියන තැනට මේ අය පත් කරන්න ඕන.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගීන් ගැන හෝ බස් රියැදුරු කොන්දොස්තරවරුන්ගේ ප්‍රශ්නවලට වඩා උනන්දු වන්නේ පර්මිට් දෙන්න කියලා කියන කතාවේ ඇත්තක් තිබෙනවාද ?

මේකේ ගොඩක් සභාපතිවරු කරලා තියෙන්නේ රූට් පර්මීට් දෙන එකයි රූට් ටික හදන එකයි. වැඩ කරපු අයත් ඉන්නවා. නමුත් මෑත කාලීනව මේ තත්ත්වය දක්නට ලැබෙනවා. පර්මීට් දෙන්න තමයි ප්‍රමුඛතාව. පර්මිට් ලබා දීමේදී විශාල මූල්‍ය අක්‍රමිකතා වෙනවා. පර්මිට් එකේ ගාණට වඩා වැඩි ගාණක් අත යටින් දෙන්න වෙනවා. සමහර වෙලාවට ලක්ෂ 200ක් විතර දෙන්න වෙනවා. ප්‍රවාහන ඇමැතිතුමා කැබිනට් එකට පත්‍රිකාවක් දැම්මා පර්මිට් ලබාදීම සඳහා කමිටුවක් පත් කරන්න. ඒක අනුමත වුණා. මීට පස්සේ කාටවත් හිතෙන හිතෙන විදිහට පර්මිට් දෙන්න බැහැ. කැබිනට් එක මගින් අදාළ කමිටුව පත් කරනවා. ඒකෙන් තමයි සුදුසු පුද්ගලයින්ට පර්මිට් එක දෙන්නේ. එතකොට කාටවත් පර්මිට් ගන්න අත යටින් සල්ලි දෙන්න ඕන වෙන්නේ නැහැ.

ඔබගෙනුත් පර්මිට් ඉල්ලුම් කරනවා ඇති නේද ?

ඔව්. මම පර්මිට් දෙන්නේ නැහැ. පර්මිට් ඔළුවට දාගත්තොත් වැඩ කරන්න වෙන්නේ නැහැ.

ත්‍රිරෝද රථවලට මෙන් මගී ප්‍රවාහන බස් රථ රියැදුරන්ටත් වයස් සීමාවක් හඳුන්වා දීමේ හැකියාවක් තිබෙනවාද ?

ඒක ජාතික ප්‍රතිපත්තියක් ලෙස ගේන්න ඕන. බස් ලයිෂන් එක තිබෙනවා නම් එයාට බස් එකක් එළවන්න නීතියෙන් බාධාවක් නැහැ. අපිට හිතුමතේ මගී බස් පැදවීම සඳහා වයස් මට්ටම් හඳුන්වා දෙන්න බැහැ. ඒකට ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි.

බස් රථවල වාදනය කෙරෙන ගීත සම්බන්ධයෙන් මගීන්ගෙන් පමණක් නොව වෛද්‍යවරුන්ගෙන් පවා චෝදනා එල්ල වෙනවා. ඉතාම පහත් මට්ටමේ ගීත අධික ශබ්දයෙන් බස් රථවල වාදනය කෙරෙනවා. එළිමහන් සංගීත සංදර්ශනවල වීඩියෝ පටත් බස් රථවල ප්ලේ කරනවා. මේවා පාලනය කරන්න පියවරක් ගන්න බැරි ඇයි ?

මම එනකොටත් ආයතනය මේ ගැන යම් යම් පියවර අරගෙන තිබුණා. පාසල් ළමයින් ප්‍රවාහනය කරන වෑන් රථවලට අපි ළමයින් සඳහා සුදුසු ගීත හඳුන්වා දෙනවා. මගී ප්‍රවාහන බස් රථවලටත් මේ ආකාරයේම ගීත හඳුන්වා දෙන්න අපි තීරණය කළා. කලාකරුවන්ගෙන් සමන්විත කමිටුවක් මගින් මේ ගීත තේරීම කරනවා. මේ වැඩපිළිවෙළ විධිමත් ලෙස හඳුන්වා දීමෙන් පසු ජාතික ගමනාගමන කොමිෂන් සභාව යටතේ පාලනය වන බස් රථවල වාදනය කරන්න පුළුවන් එයින් අනුමත කර නිකුත් කරන ගීත හා වැඩසටහන් පමණයි. අනෙක් එක ශබ්දය. බස් රථ ඝෝෂාකාරී ලෙස තමයි මේ සංගීත තැටි වාදනය කරන්නේ. පොතක් බලන්න, ළඟ මනුෂ්‍යයෙක් එක්ක කතා කරන්න මගියකුට බැහැ. මේකට පිළියමක් ලෙස බස් රථවල ගීත වාදනය කිරීමේදී ඩෙසිබල් මට්ටමක් නිර්දේශ කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා.

 


නව අදහස දක්වන්න