භික්ෂුව ආදර්ශවත් වෙන්න ඕන | දිනමිණ

භික්ෂුව ආදර්ශවත් වෙන්න ඕන

ඕමාරේ පුඤ්ඤසිරි හිමි

වර්තමාන භික්ෂු සමාජය හා ගිහි සමාජය පවතින ආකාරයත්, පැවතිය යුතු ආකාරයත් පිළිබඳ අදහස් දක්වමින් අද ධර්ම සභාවට එක්වන්නේ නුගේගොඩ සුභද්‍රාරාම පිරිවෙනේ නියෝජ්‍ය පරිවේණාධිපති, බෙලිඅත්ත කහවත්ත පුරාණ විහාරාධිකාරී ඕමාරේ පුඤ්ඤසිරි හිමියන් ය.

 වර්තමාන භික්ෂු චරිතය ඔබවහන්සේ දකින්නේ කොහොමද?

ඇතැම් ක්‍රියා නිසා ලාංකේය භික්ෂු සංස්ථාව පරිහානිය කරා ළඟාවෙමින් පවතින බවක් පේනවා. භික්ෂුවගේ පරිහානිය කෙසේ සිදුවූවේද? එයට ගතයුතු ක්‍රියාමාර්ග කවරේදැයි කතිකාවතක් ඇතිවිය යුතු කාලය ඇවිල්ල තියනවා.

සංඝ සමාජයේ කතිකාවක් ඇතිවිය යුත්තේ සමස්ත සමාජය ගැනම හොඳ අවබෝධයක් ඇතිවයි. සංඝ සමාජයට සාමාජිකයන් එක්වන්නේ ගිහි සමාජයෙන්. නූතන සමාජයේ ද ඇත්තේ මහා පරිහානියක්. එම පරිහානිය භික්ෂු සමාජයට ගලාඒම වැළැක්විය නොහැකි දෙයක්. මක්නිසාද යත් සංඝ සමාජය යනු ගිහි සමාජයේ උප කුලකයක් නිසාය.

භික්ෂු සමාජය සාම්ප්‍රදායික බව ආරක්ෂා කිරීමට උත්සාහ කරන තැනක්. සමාජයක ලක්ෂණය වන්නේ එහි අනන්‍යතාව ආරක්ෂා කිරීමට උත්සාහ කිරීමයි. ලෝකයේ ඕනෑම සමාජ සංස්ථාවක වෙනස් වන සමාජ සංස්ථාවන්ට සාපේක්ෂව වෙනස් වීමට උත්සාහ නොගතහොත් ගැටලු මතු වෙනවා.

වර්තමානයේ භික්ෂු සංස්ථාවට ඇතුළුවන්නන් පිළිබඳව ඔබවහන්සේ දකින්නේ කොහොමද?

අද වනවිට භික්ෂු සමාජයට ඇතුළුවන්නන්ගෙන් බහුතරය දුප්පත් පවුල්වලිනුයි. සතර වරිගයම නිවන් දැක්වීමට හෝ වෙනත් ආර්ථික ප්‍රශ්න නිසා එදා පැවිදි වූවන් හොඳ අධ්‍යාපනයක් ලබාගත්තා. වර්තමානයේ සුළුතරයක් උසස් අධ්‍යාපනයක් ලබාගන්න අතර බහුතරයක් උපැවිදි වෙනවා. අධ්‍යාපනයක් නොලබා උපැවිදිවන සමහරු ඇතැම් සමාජ විරෝධී ක්‍රියාවන්ට දායක වන අවස්ථා ද දකින්න පුළුවන්.

ඉහළ අධ්‍යාපනයක් ලබන සමහර භික්ෂූන්වහන්සේලා තම සමාජ පංතිය වෙනස් කර ගැනීමේ අරගලයක නිරත වෙනවා. එතෙක් ඔවුන් සිටි සමාජ පංතිය අමතකවී ගුරුවරුන් අමතකකොට ගම, මව්පිය, සහෝදර ඥාතීන් ද අමතක කර කාම රසය සිතට ගෙන සුඛෝප‍භෝගී ජීවිතයක් ගත කිරීම යන කාරණාවලට ප්‍රමුඛත්වය දෙමින් ආත්මාර්ථකාමී ජීවිතයක් ගත කිරීමට උත්සුක වෙනවා.

භික්ෂුවගේ වෙනස ලාංකීය සමාජ සංස්ථාවට කරන බලපෑම කෙසේද?

අතීතයේ විහාරස්ථානය, ආගමික මධ්‍යස්ථාන, අධ්‍යාපන මධ්‍යස්ථාන, වෛද්‍ය මධ්‍යස්ථාන ආදී විවිධ සේවාවන් සඳහා භාවිත වුවත්, වර්තමානයේ ලක්ෂ ගණන් උපයන වෙළෙඳ කඩ බවට පත්ව තිබෙනවා. සඟ සතු ඉඩම් දීර්ඝ කාලීනව බදු දීම ද මේ සමාජය තුළ බෙහෙවින් දක්නට ලැබෙන දෙයක්.

සමාජ වගකීම්වලින් මිදීම සඳහා පැවිදි දිවිය තෝරාගත් ඇතැම් භික්ෂූන් රූපවාහිනියේ වැඩසිටිමින්, පුවත්පත්වල ප්‍රසිද්ධ වෙමින් අමුතු අමුතු තාලයට හැසිරෙමින් ගත කරන ජීවිතය බුද්ධිමත් සමාජය තුළ තදබල විවේචනයට ලක්ව තිබෙනවා. මෙවැනි භික්ෂූන්වහන්සේලා බුදු දහමේ නියමු පරමාර්ථයන්ගෙන් ඈත්ව ගිහි පින්වතුන් නොමඟ යවමින් බුදු දහම විකෘති කරනවා.

පසුගිය සමයේ ලාංකේය සමාජයේ දාර්ශනික බුදු දහම ඉදිරියට ගෙන ඒමට යක්කඩුවේ ප්‍රඥාරාම, වල්පොළ රාහුල, රේරුකාණේ චන්දවිමල හිමිවරුන් ගත් උත්සාහය ආපස්සට හරවා බුදු වදනට වැරැදි අර්ථකථන සපයමින් තමන්ගේ අදහස් බුදුරජාණන්වහන්සේ දේශනා කළ බව පෙන්වන පිරිසගෙන් බෞද්ධ දර්ශනයට විශාල හානියක් සිදුවෙනවා.

වර්තමානයේ ගිහි - පැවිදි සම්බන්ධය කෙසේ පවතින්නක් ද?

මෙම තත්ත්වය මත භික්ෂුව සතුව පැවතිය යුතු පෞරුෂය හා සමාජ නායකත්වය සම්පූර්ණයෙන්ම නැතිවී තිබෙනවා. භික්ෂුව කෙරෙහි තිබුණු ගෞරවය ගිලිහී ගොස් තිබෙනවා. ගිහියා හා භික්ෂුව අතර තිබුණ සම්බන්ධය ආගමික කටයුත්තකට පමණක් සීමාවී තිබෙන අතර වර්තමානයේ බොහෝ ආගමික කටයුතු ගිහියන් විසින්ම ඉටුකිරීමට පෙළඹී ඇති බවක් පේනවා. දානය හා පාංශුකූලය යන ආගමික වතාවත් භික්ෂූන්වහන්සේලාගෙන් ඉටු කරගන්නට පෙළඹී සිටින අතර පිරිත් දේශනා වැනි දේ පමණක් නොව ධර්ම දේශනා පැවැත්වීම ද ගිහි බවතුන් විසින් සිදුකිරීමට අද සමාජය කටයුතු සිදුකරන බව පේනවා. සංඝයාවහන්සේ විසින් සිදුකළයුතු දේ ගිහියන් ඉටු කිරීමට යාම භික්ෂු ශාසනයේ පැවැත්මට හොඳ දෙයක් නොවෙයි. එම තත්ත්වය වෙනස් වෙන්න ඕන.

සටහන - සමින්ද උදයකුමාර

නව අදහස දක්වන්න