ගගනගාමීන් රැගෙන යන "ඩ්‍රැගන්" | දිනමිණ

ගගනගාමීන් රැගෙන යන "ඩ්‍රැගන්"

ගගනගාමීන් රැගෙන යාමේ අරමුණින් ඇමෙරිකාව විසින් දියත් කරන ලද නවතම කැප්සියුලය, සිය ආදර්ශන මෙහෙයුමේ එක් අංගයක් ලෙස සාර්ථකව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය හා සම්බන්ධ විය.

"ඩ්‍රැගන්" ලෙස නම් කර ඇති මෙම කැප්සියුලය, කැලිෆෝනියාවේ "ස්පේස් එක්ස් " සමාගම දියත් කළ අතර එය ස්වයංක්‍රීයව අභ්‍යවකාශ මධ්‍යස්ථානය හා එක් විය.

මිනිසුන් ප්‍රවාහනය සඳහා නාසා ආයතනයේ අවසරය ගැනීමට එම කැප්සියුලය සමත් විය යුතු වූ ආසන්නතම පරීක්ෂණය එය විය.

මෙම මෙහෙයුමේදී කැප්සියුලය මගින් පරීක්ෂණ ඩමියක් සහ කිලෝ ග්‍රෑම් අනූවක සැපයුම් ප්‍රවාහනය කරන ලදී.

සැලසුම් කර ඇති පරිදි සියල්ල සිදු වුවහොත් ලබන ජූලි මස වන විට ගගනගාමීන්ට "ඩ්‍රැගන්" කැප්සියුලය භාවිත කළ හැකි වනු ඇත.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය නවසීලන්තයට උතුරින් පිහිටි සාගරයට ඉහළින් ගමන් ගන්නා විට කැප්සියුලය හා පණිවුඩ හුවමාරුව අරඹා ඉන් විනාඩි දහයකට පසු ඒ හා සම්බන්ධ විය.

කිලෝ මීටර් 400ක් පමණ ඉහළින් තිබූ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ඉදිරිපසින් සම්බන්ධ වූ "ඩ්‍රැගන්" කැප්සුලය, එහි ඇති පරිගණක සහ සංවේදක භාවිත කර අභ්‍යවකාශ මධ්‍යස්ථානය හා එක් විය.

අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිටි අභ්‍යවකාශගාමීහු, කැප්සියුලය සැලසුමට අනුව කටයුතු කරන්නේ දැයි තම HD කැමරා භාවිත කරමින් නිරීක්ෂණය කළහ.

ඇමෙරිකානු ගගනගාමී ඈන් මැක්ලෙන් , මෙන් ම කැනේඩියානු ගගනගාමී ඩේවිඩ් සෙන්ට් ජාක්ස්, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ සිටිමින් මෙම කටයුතු නිරීක්ෂණය කළ අතර කැප්සියුලය පාලනය කිරීමේ හැකියාව ඔවුන් සතුව පැවතිණ.

පෙරහුරු කිහිපයකට පසු කැප්සියුලයට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය හා සම්බන්ධ වීමට අනුමැතිය හිමි විය.

කැප්සියුලය සහ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය අතර වායු පීඩනය සමාන මට්ටමකට පැමිණි පසු මැක්ලෙන්, ජාක්ස් හා ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ අණ දෙන නිලධාරී ඔලෙග් කොනොනෙන්කෝ කැප්සියුලය තුළට පිවිසියහ.

"ඩ්‍රැගන්" කැප්සියුලය අවශ්‍ය අවසරය ලද පසු එහි ප්‍රථම ගමන සඳහා තෝරාගෙන සිටින බොබ් බෙන්කන් සහ ඩග් හර්ලි මෙම ක්‍රියාවලිය පොළොවේ සිට නිරීක්ෂණය කරමින් සිටියහ.

මෙම කැප්සියුලය ලබන සිකුරාදා වන තුරු ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය හා සම්බන්ධව තිබෙන අතර ඉන්පසු එය නැවත පෘථිවිය කරා පැමිණෙනු ඇත.

මෙම අත්හදාබැලීම් සාර්ථක වුවහොත් ගගනගාමීන් ප්‍රවාහනය සඳහා "ස්පේස් එක්ස්" සමාගමට කොන්ත්‍රාත්තුව ලබා දීමට නාසා ආයතනය බලාපොරොත්තු වේ.

"ආයතනයක් සහ රටක් වශයෙන් තමන් එක් පාරිභෝගිකයෙක් ලෙස" කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව නාසා ප්‍රධානී ජිම් බ්‍රිඩන්ස්ටීන් පැවසීය.

(බී.බී.සීය ඇසුරෙනි)

නව අදහස දක්වන්න