IMF සහාය තවදුරටත් | දිනමිණ

IMF සහාය තවදුරටත්

ජයසිරි මුණසිංහ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට ලබාදීම අත්හිටුවා තිබූ ඩොලර් මිලියන 500 මුදල නැවත ලබාදීමට තීරණය කොට තිබේ.

ඊට අමතරව ශ්‍රී ලංකා රජයේ බලධාරින්ගේ ඉල්ලීම පරිදි අතිරේක වසරක කාලයක් ද මේ සඳහා ලබාදී තිබේ.

වසර 2016 – 2019 කාලසීමාවේදී ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 1500 විස්තීරණ ණය මුදලක් ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වී තිබුණි. එම මුදලේ වාරික 04 ක් ඩොලර් මිලියන 1000 මුදලක් මෙරටට ලබාදී තිබියදී පස්වැනි වාරිකය ලබාදීම අත්හිටුවනු ලැබීය.

ඒ වසර 2018 ඔක්තෝම්බර් 26 වැනිදා අප රටේ ඇති වූ දේශපාලන අස්ථාවරත්වය නිසාය. මේ නිසා නියමිත පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකා රජය අතර මේ ණය වාරික ලබාගැනීම පිළිබඳව පැවැති සාකච්ඡා බිඳවැටුණි.

නමුත්! වසර 2018 නොවැම්බර් මාසයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවත් සමඟ නැවත වරක් රටේ අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාත් ඇමැති මණ්ඩලයේ මුදල් ඇමැතිවරයා ලෙස මංගල සමරවීර මහතාත් පත්වීමෙන් පසු නැවතී තිබූ සාකච්ඡා යළි ඇරැඹිණි. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වසරේ පෙබරවාරි 14 – 28 දක්වා මෙරටට පැමිණ මෙරට රැඳී සිටිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරි මණ්ඩලයේ ප්‍රධානී මැනුඑලා ගොරෙති මහත්මිය ප්‍රධාන පිරිස රජයේ බලධාරීහු සමඟ මේ ගැන සාකච්ඡා කළහ. තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකම් සැලසුම් යටතේ ක්‍රියාත්මක‍ කෙරෙන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ පස්වන සමාලෝචනයේ සාකච්ඡා නැවත ඇරඹීම සඳහා මැනුඑලා ගොරෙති (Manuuela Goretti) මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු ජා.මු. අරමුදලේ නිලධාරි කණ්ඩායමක් 2019 පෙබරවාරි 14 – 28 කාලය තුළදී කොළඹට පැමිණි අතර සිය සංචාරය අවසානයේ ගොරෙති මහත්මිය විසින් පහත ප්‍රකාශය සිදුකරන ලදී.

2018 වර්ෂයේ අගභාගයේ ඇති වූ දේශපාලනික අස්ථාවරතාවයෙන් පසුව ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන නැවතත් ඉදිරියට ගෙන ඒම සඳහා ශ්‍රී ලාංකික බලධාරින් විසින් ගනු ලැබූ අඛණ්ඩ උත්සාහයන් දූත පිරිසේ පැසසුමට ලක්වේ. ශ්‍රී ලාංකික බලධාරින්ගේ ඉල්ලීම පරිදි තවත් අතිරේක වර්ෂයක් සඳහා විස්තීර්ණ ණය පහසුකම් දීර්ඝ කරමින් ඒ යටතේ මුදාහැරීමට ඇති ඉතිරි ණය ප්‍රමාණය එම කාලසීමාව තුළ සමව බෙදී යන පරිදි ලබාදීමට සහ ආර්ථික ප්‍රතිසංස්කරණයන් අවසන් කිරීම සඳහා වැඩි කාලයක් ලබාදීමට ජා.මූ. අරමුදලේ නිලධාරින් කණ්ඩායම සහ ශ්‍රී ලාංකික බලධාරින් අතර නිලධාරි මට්ටමේ එකඟතාවයකට එළඹිණි. විස්තීර්ණ ණය පහසුකම් සහ අදාළ වැඩසටහනට අනුව 2019 අයවැය සැලසුම් කර ඇති පරිදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යටත්ව පස්වන සමා‍ලෝචනය 2019 මැයි මස අවසන් කිරීමට ශ්‍රී ලංකාව විසින් කරන ලද ඉල්ලීම ජා.මු. අරමුදලේ විධායක මණ්ඩලය විසින් සලකා බලනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම සමාලෝචනය සඳහා සපුරාලිය යුතු සියලුම කාර්යයන් සහ ව්‍යුහාත්මක මිණුම් දඬු නිමකිරීමට අවශ්‍ය පියවර ඊළඟ සති කිහිපය තුළ දී බලධාරින් විසින් ගනු ඇත.

විදේශීය අංශයේ කම්පනයන් සහ දේශපාලනික අස්ථාවරතා හමුවේ 2018 වසරේ දී මන්දගාමී වූ ආර්ථික තත්ත්වය ක්‍රමානුකූලව ස්ථාවර වෙමින් පවතී. මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ (ද.දේ.නි.යේ) වර්ධනය 2018 වසරේදී සියයට 3 ක් පමණ වූ අතර 2019 වසරේදී එය සියයට 3.5 ක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. උද්ධමනය ජනවාරි මාසයේදී යළි ඉලක්කගත අගයන් කරා යොමු වූ අතර එය 2019 වසරේදී සියයට 4.5 කට ළඟාවනු ඇතැයි පුරෝකථනය කර ඇත. ඉන්ධන මිලෙහි ඉහළ යෑම, කෘෂිකාර්මික අපනයන පහළ යෑම සහ වාහන ආනයන ඉහළ යෑමේ හමුවේ 2018 වසරේදී ජංගම ගිණුමේ හිඟය ද.දේ.නි. යෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 3.2 ක් පමණ දක්වා පුළුල් වූවද විනිමය අනුපාතිකයේ සිදුවූ වෙනස්වීම තුළින් 2019 දී ජංගම ගිණුම් හිඟය පහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

2018 වසරේ දෙවන භාගයේ දී ජා.මු. අරමුදලෙහි සහය සහිත වැඩසටහනෙහි කාර්ය සාධනය අඩාළ වූ අතර පස්වන සමාලෝචනය අවසන් කිරීම ප්‍රමාද විය. ප්‍රධාන වශයෙන් රාජ්‍ය ආදායම් පහළ මට්ටමක පැවතීම හේතුවෙන් ප්‍රාථමික රාජ්‍ය මූල්‍ය අතිරික්තය දෙසැම්බර් මාසයේදී වූ වැඩසටහන් ඉලක්කයට වඩා පහළ මට්ටමක පැවතිණ. අහිතකර ගෝලීය මූල්‍ය තත්ත්වයන් හමුවේ ඇති වූ වෙළෙඳපොළ පීඩනයන් 2018 වසරේ අවසාන කාලපරිච්ඡේදයේ දී ඇති වූ දේශපාලනික අස්ථාවරභාවය තුළින් වඩාත් තීව්‍ර වීම හේතුවෙන් විදේශ විනිමය සංචිත ඉලක්කයද සැලකිය යුතු ප්‍රමාණයකින් මගහැරිණි.

මෙම අභියෝගාත්මක අවස්ථාවේදී රාජ්‍ය ණය ප්‍රමාණය ඉහළ මට්ටමක පැවතීම සහ විදේශ සංචිත ආරක්ෂණය පහළ මට්ටමක පැවතීම හමුවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන තුළින් අසීරුවෙන් ළඟාකරගත් ජයග්‍රහණ තවදුරටත් පවත්වා ගැනීම, සාර්ව ආර්ථික ස්ථායිතාව තහවුරු කිරීම හා කම්පනයන් හමුවේ ආර්ථිකය ශක්තිමත්ව පවත්වා ගැනීම ආදිය සඳහා සියලු පාර්ශ්වයන්ගේ දැඩි පරිශ්‍රමය අවශ්‍ය වේ. වෙළෙඳ පොළ විශ්වාසය නැවත යථා තත්ත්වයට පත්කිරීමට සහ ඉදිරියේ දී නියමිත ප්‍රතිමූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමට ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය සඳහා බලධාරින්ගේ ස්ථිර කැපවීම තීරණාත්මක වේ.

රාජ්‍ය ආදායම් වර්ධනය කිරීම සහ විචක්ෂණශීලී වියදම් කළමනාකරණය තුළින් අඛණ්ඩ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවක් ඇති කිරීම සඳහා රාජ්‍ය ණය මට්ටමේ තිරසරභාවය පවත්වා ගැනීම ප්‍රමුඛතාවක් ගනී. මෙම ඉලක්කය සපුරාගැනීම සඳහා 2018 දේශීය ආදායම් පනත අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හා රේගු දෙපාර්තමේන්තුව නවීකරණය කිරීම අවශ්‍ය වේ. 2019 රජයේ අයවැය තුළින් ප්‍රාථමික අතිරික්තය ද.දේ.නි. යෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 1.5 ක් දක්වා ඉහළ නැංවීමට බලධාරින් දක්වන කැපවීම ජා.මූ. අරමුදලේ නිලධාරි කණ්ඩායමේ අගය කිරීමට ලක් කෙරේ.

නව අදහස දක්වන්න