ජනාධිපතිවරයාගේ පාරිසරික විප්ලවය | දිනමිණ

ජනාධිපතිවරයාගේ පාරිසරික විප්ලවය

දුමින්ද අලුත්ගෙදර

වනාන්තර ප්‍රතිරෝපණය කිරීම රජයේ වගකීමක් ලෙස ඉටුකරන අතර 2020 වන විට පැළ මිලියන 5ක් වගා කිරීම, පරිසරය හා ජල පද්ධති ආරක්ෂා කිරීම සඳහා මුහුදු මට්ටමින් අඩි 5000කට ඉහළින් පිහිටා ඇති ගස් කපා හෙළීම තහනම් කිරීම, සෑම පාසල් දරුවකුම එක් පැළයක් රෝපණය කිරීමට දිරිමත් කිරීම ඇතුළු වැඩසටහන් රැසක් මේ වන විට රජය ක්‍රියාත්මක කරමින් සිටින්නේ ජනපතිවරයා පරිසර අමාත්‍යවරයා ලෙස ඉටු කරන කාර්යය භාර්යයක ප්‍රතිඵලයක් ලෙස ය.

වන ගහනය ශීඝ්‍රයෙන් අඩුවෙමින් තිබෙන යුගයක ගෝලීය උණුසුම ද දිනෙන් දින ඉහළ යමින් පවතී. ශ්‍රී ලංකාවේ වනාන්තර හෙළි පෙහෙළි කිරීම නිසා භූගත ජල මට්ටම පහළ යමින් තිබේ. ලෝකයේ දියුණුවත් සමඟ තරගකාරී සංවර්ධනයකට අවතීර්ණ වී ඇති ශ්‍රී ලංකාව මේ වනවිට පරිසරය සුරැකීමට පෙරමුණ ගෙන ඇති බවක් පෙනේ.

ලෝකය පුරා ජනතාව අද මුහුණදෙමින් සිටින්නේ සොබාදහම වනසා දැමීමේ අනිටු විපාකවලට ය. ලොව පුරා බීමට ඇති ජලය හිඟවීම සහ වායුගෝලය දූෂණය වීම මිනිසාට ජීවත්වීමට ඇති හිතකර පරිසරය අහිමිකර දමන්නකි. නොයෙක් අයුරින් සිදුවන පරිසර හානි ඊට හේතුවය. ශ්‍රී ලංකාවේ සිදුවන පරිසර හානිය අවම කිරීමේ අරමුණින් පරිසර අමාත්‍යාංශය ජනපති යටතේ පවත්වා ගෙන යන්නේ ය. ‘නීල හරිත යුගයක් - ස්ථාවර රටක් - මෛත්‍රී පාලනයක්, තේමාව යටතේ රට පුරා පරිසරය සුරැකීමේ සමුළු සංවිධානය වන්නේ ඒ වෙනුවෙන් ය.

දිවයින පුරා ඇති පාසල් මූලික කොටගත් පරිසරය සුරැකීමේ වැඩමුළු ආරම්භ වූයේ මීට වසර කිහිපයකට පෙර ය. එය සංවිධානය කිරීමේ හා පරිසරය සුරැකීමේ වගකීම මහජනතාව සහ දේශපාලනඥයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් ගත යුතු බව ආරම්භයේදී ම ජනපතිවරයා පෙන්වා දුන්නේය. ලෝකයේ බලවත් රටවල් කළ පරිසර විනාශයේ ප්‍රතිවිපාක අත්විඳිමින් සිටින බව ද අවධාරණය කරන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් අද වන විට පරිසරය සුරැකීමේ මහඟු කාර්යයට මැදිහත් වී ඇති බවකි.

ශ්‍රී ලංකා නෙක්ස්ට්

SRI LANKA NEXT

ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති සුරැකීමේ ක්‍රියාවලියට දිගු කාලීන ක්‍රියාන්විතයක් අවශ්‍ය වන බව බොහෝ දෙනකුගේ මතය වුවත් එය ක්‍රියාවට නංවා ගැනීමට කිසිවකු සමත් වූයේ නැත. 2016 වසරේ දී ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නෙක්ස්ට් SRI LANKA NEXT යනුවෙන් ශ්‍රී ලංකාව නීල - හරිත යුගයකට රැගෙන යන දිගු කාලීන වැඩපිළිවෙළක් හඳුන්වා දෙන්නට යෙදුණි. ඒ තුළ හරිත ආර්ථිකයක් ගොඩනැඟීම, හරිත ගොඩනැඟිලි සංකල්පය, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය හා ක්‍රමවත් අපද්‍රව්‍ය කළමනාකරණය යන කාර්යයන් ඇතුළත් ය.

ඊට අමතරව මෙම වැඩසටහන පරිසර හිතකාමී විද්වත් කථිකා තුළින් පාරිසරික සාක්ෂරතාව වර්ධනය කිරීම, ජනාධිපති පරිසර සම්මාන, හරිත වැලි තොටුපොළ සංකල්පය, ජාතික පරිසර නියමු වැඩසටහන ශක්තිමත් කිරීම, රුක්රෝපණ වැඩසටහන් ආදීය ද ඇතුළත් වූ නව ප්‍රවේශයකි. මෙහි බොහෝ ඉලක්ක වසර කිහිපයක් ඇතුළත ජය ගැනීමට ජනපතිවරයා සමත් විය. ජාතික පරිසර නියමු වැඩසටහන මේ වන විට ශ්‍රී ලංකාවේ පාසල් අතර ජනප්‍රිය වැඩසටහනක් බවට පත්වෙමින් තිබේ. පාසල් 40ක් නියෝජනය කරමින් පරිසර නියමුවන් 93 දෙනකු සඳහා ජනාධිපති පරිසර පදක්කම් පිරිනැමීම එහි එක් ජයග්‍රහණයකි. මේ පරිසර නියමු වැඩසටහන ගෝලීය පාරිසරික අර්බුදවලට මුහුණ දෙමින් පරිසර සංරක්ෂණ කාර්යය උදෙසා වන ප්‍රායෝගික, ක්‍රියාකාරී වැඩපිළිවෙළක් බවට පත්ව තිබේ.

වසර ගණනාවකට පෙර ආරම්භ කෙරුණු මෙකී වැඩසටහන වත්මන වන විට ජාතියට සෙවණ සදන මහා වෘක්ෂයක් බවට පරිවර්තනය කරන්නට ජනපතිවරයාට හැකියාව ලැබී තිබේ. මෙරට පාසල් අතරින් 85%ක පමණ දායකත්වය ලබා වැඩසටහන ක්‍රියාත්මක කරන ජනාධිපතිවරයාගේ අරමුණ බවට පත්ව ඇත්තේ 2020 වන විට මෙරට සියලුම පාසල් එම වැඩසටහනට එක් කර ගැනීම ය. 2015 වසරේදී තම ඉලක්කයට මඟ විවර කරගත් ජනපතිවරයා මේ වන විට එම ඉලක්කය සපුරා ගැනීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් නිර්මාණය කොට පස් අවුරුදු සැලැස්මක් ඔස්සේ පියවරෙන් පියවර ඉදිරියට යමින් සීටී.

පරිසරයට ආදරයෙන්

ඒ අනුව, ශ්‍රී ලංකාව තුළ පරිසරයට ආදරය කරන ළෙන්ගතු ජනතාවක් බිහි කිරීමේ පළමු උත්සාහය වත්මන් පරපුරෙන් ආරම්භ කොට තිබේ. එය සංවේදී පරිසර පද්ධති සුරැකීමට ගත් තවත් එක් සංග්‍රාමයකි. 6 වැනි ශ්‍රේණියෙන් ආරම්භ කරන පරිසර නියමු කණ්ඩායමට සිසුන් 25ක් බඳවා ගැනේ. එකිනෙක පාරිසරික ක්‍රියාකාරකම් ඔස්සේ ඉදිරියට යන පරිසර නියමුවන්ට පදක්කම් 5ක් ලබා ගැනීමේ ක්‍රමයක් ඒ තුළ පෙළ ගස්වා තිබීම පාසල් දරුවන් පරිසරයටත් වැඩසටහනටත් ළෙන්ගතු වීමට එක් හේතුවකි. පරිසර නියමු පදක්කම, හරිත වර්ණ පදක්කම, රජත වර්ණ පදක්කම, ස්වර්ණ වර්ණ පදක්කම හා ජනාධිපති පදක්කම වශයෙන් පදක්කම් ලබමින් පාසල් දරුවනට ඉහළට යා හැකි ය. ආරම්භක පරිසර පදක්කම ලබා ගැනීමේ සිට වන පදක්කම් පෙළෙහි අවසානයට ඇති පදක්කම වනුයේ ජනාධිපති පදක්කම යි. මෙලෙස පාරිසරික අධ්‍යයන වැඩපිළිවෙළක නිරත වන පරිසර නියමුවන් යනු පාරිසරික සාක්ෂරතාව අතින් සමකාලීනයන්ට වඩා ඉදිරියෙන් සිටින සුවිශේෂී සමාජ චරිත බවට පත්වන්නේ ය. මේ ක්‍රියාවලිය පිටුපස අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලු නිලධාරීන් ද පෙළගැසී සිටීම යහපත් ය. ඒ නිසා පරිසර නියමුවන් අනාගතයේදී මෙරට පරිසරය යහමින් සුරක්ෂිත කෙරුමට පෙළඹෙනවා ද ඇත.

පාසල් වැඩසටහන එසේ ක්‍රියාන්විතයේ නියැළෙමින් තිබිය දී පසුගිය දා ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ මෙරට ඇති සියලුම යාන්ත්‍රික කියත් ලියාපදිංචි කළ යුතු බව යි. නීති විරෝධීව වනාන්තර හෙළි පෙහෙළි කිරීම සහ ජාවාරම්කරුවන් විසින් වනාන්තර විනාශ කිරීම වැළැක්වීම එහි ප්‍රධාන ඉලක්කය වී තිබේ.

නීල හරිත යුගයක්

ශ්‍රී ලංකාවේ නීල හරිත යුගයක් ඇති කිරීමට නම් වනාන්තර සුරක්ෂිත කළ යුතු ය. 28%ක් වන මෙරට වන ගණත්වය ඉදිරි වර්ෂ කිහිපය තුළ 32%ක් දක්වා වර්ධනය කර ගැනීම තම අපේක්ෂාව බව ලෝක වනාන්තර සතිය සැමරුම් සමුළුවේ සහ ලෝක වන සංරක්ෂණ කමිටුවේ 24 වැනි සැසිවාර දේශනයේදී ජනාධිපතිවරයා අවධාරණය කළේ ය. එහි ප්‍රතිඥාවක් ලෙස දීප ව්‍යාප්ත පැළ සිටුවීමේ වැඩසටහන ආරම්භ කොට ඇත්තේ පාසල් දරුවන් සහ රාජ්‍ය අංශය හා පොදු ජනතාව ද ඊට සම්බන්ධ කර ගනිමිනි.

වනාන්තර ප්‍රතිරෝපණය කිරීම රජයේ වගකීමක් ලෙස ඉටුකරන අතර 2020 වන විට පැළ මිලියන 5ක් වගා කිරීම, පරිසරය හා ජල පද්ධති ආරක්ෂා කිරීම සඳහා මුහුදු මට්ටමින් අඩි 5000කට ඉහළින් පිහිටා ඇති ගස් කපා හෙළීම තහනම් කිරීම, සෑම පාසල් දරුවකුම එක් පැළයක් රෝපණය කිරීමට දිරිමත් කිරීම ඇතුළු වැඩසටහන් රැසක් මේ වන විට රජය ක්‍රියාත්මක කරමින් සිටින්නේ ජනපතිවරයා පරිසර අමාත්‍යවරයා ලෙස ඉටු කරන කාර්යය භාර්යයක ප්‍රතිඵලයක් ලෙස ය.

මෙරට ජල භාණ්ඩාගාරය වන මධ්‍යම කඳුකරයේ වනාන්තර හෙළි කිරීම භූගත ජල මට්ටම පහළ බැසීමට එක් හේතුවකි. ලෝක ජල දිනය යෙදී ඇත්තේ ද මාර්තු මාසයේ ය. මේ වන විට මෙරට දිස්ත්‍රික්ක 17ක පුද්ගලයන් ලක්ෂ 13කට අධික පිරිසක් පිරිසුදු පානීය ජලය නොමැති කමින් පීඩා විඳිති.

දේශපාලනඥයින්ගේ සහ නිලධාරින්ගේ අකටයුතුකම් නිසා මධ්‍යම කඳුකරයේ වන පෙත් එකිනෙක සිඳ දැමීමේ විපාකය අද රටවැසියෝ අත්විඳිති. ව්‍යසන එකිනෙක තුරන් කරන ජනපති, පරිසරය සුරැකීමට දැඩි ක්‍රියාමාර්ග ගැනීම මෙරට ජනතාව ලැබූ ජයග්‍රහණයක් සේ දක්නට පුළුවන.

‘පරිසර දිනයේ වැඩසටහන් කරන්නේ පරිසර අධිකාරිය විතරයි. අනෙක් හැම ආයතනයක්ම ජාතික මට්ටමේ ලොකු වැඩපිළිවෙළක් පරිසරය වෙනුවෙන් කරන්න ඕන‘ පරිසර අමාත්‍යාංශ නිලධාරින් හමුවේ ජනපතිවරයා අවධාරණය කළේ උත්සවවලට පමණක් සීමා නොවී වෙන්වන මුදල්වලින් මේ රටේ පරිසරය සුරක්ෂිත කිරීමට කැපවන ලෙස යි. මේ රටේ සොබාදහම සුරැකීමට පෙළ ගැසෙන සියලු අංශවල කොඳුනාරටි ශක්තිමත් කිරීමට ජනපති ගන්නා උත්සාහය අගය කළ යුතු ය. නිදහසේ හුස්ම ගත හැකි පරිසරයක් මිනිසාට අවැසි ය. ඒ මඟ විවර කරන්නට හැකි බලධරයා වන්නේ ද ජනපතිවරයා ය. එනිසා පරිසරය සුරැකෙන ඕනෑම ආකාරයේ වැඩසටහනකට සහාය දීම පුරවැසියාගේ ද යුතුකමකි.


නව අදහස දක්වන්න