ලිවීම කියන්නෙම භාෂාව නැවීම | දිනමිණ

ලිවීම කියන්නෙම භාෂාව නැවීම

කාංචනා අමිලානි
මායා ඇන්ජලෝ

මායා ඇන්ජලෝ අමෙරිකානු කිවිඳියකි. ගායිකාවකි. නවකතා රචිකාවියකි. ස්වයංලිඛිත චරිතාපදාන රචිකාවියකි. සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරිනියකි. 86 වැනි වියේදී ඈ ජීවිතයෙන් සමුගත්තාය.

මම ජීවත් වුණ හැම ටවුමකම හෝටල් කාමරයක් මාස කීපෙකට කුලියට ගත්තා. හෝටල් කාමරේ බිත්තියේ එල්ලලා තියෙන ඔක්කොම දේවල් සේවකයන්ට කියලා ගලවනවා. මල් පෝච්චි පවා අයින් කරවනවා. කාමරේ කිසි දෙයක් තියෙනවට මම කැමැති නෑ. පාන්දර 6 ට ගෙදරින් පිටවෙනවා. 6.30 වෙද්දි හෝටලේට යනවා. ඊට පස්සේ ලියන්න ගන්නවා. 12.30-1.30 වෙනකන් එක දිගට ලියනවා. ඊට පස්සේ ගෙදර ගිහින් නිදහසේ හුස්මක් ගන්නවා. ලියපු දේ දිහා ආයෙමත් පොඩ්ඩක් බලනවා. රෑ කෑම කනවා. ගෙදරට අමුත්තෝ ඇවිත් හිටියොත්, සංගීතයක් අහමින් කෑම කනවා. භාජන හෝදලා කුස්සිය අස් කළාට පස්සේ, උදේ ලියපු ටික කියවනවා. පි‍ටු නවයක් ලියලා තිබ්බා නම්, කපලා-කොටලා පි‍ටු දෙකහමාරකට අඩු කරනවා. ලියපුවා සංස්කරණය කරන එක තමයි නරුමම වැඩේ. සමහර දවස්වලට ගෙදර ඇවිත් හොඳහැටි නාගන්නවා. ලියනවා කියන්නේ හරි ම මහන්සි වැඩක්. ඒ මහන්සියේ හැටියට ලොකු සාත්තුවකුත් ඕනා.

සමහර වෙලාවට ලියන්න කලින් ඩන්බර්, ජේම්ස් වෙල්ඩන් ලියපු දේ පොඩ්ඩක් කියවනවා. එතකොට ඉංග්‍රීසි භාෂාව කොච්චර අලංකාරද? නම්‍යශීලී ද? කියලා හිතෙනවා. 'පහසු කියැවීමක තියෙන්නේ ඉතා ම දුෂ්කර ලිවීමක්' කියලා නතෑනියල් හෝ‍තෝන් කියලා තියෙනවා. ලිව්වට පස්සේ හරි ම සුනම්‍යයි කියලා පේන වාක්‍ය ලියන්න වෙන මහන්සිය කොහොම විස්තර කරන්නද? මගේ අලුත් පොතක් ආපු ගමන් නිව්යෝර්ක් පන්නයේ විචාරකයෝ, 'මායා ඇන්ජලෝගෙ අලුත් පොතක් පිටවෙලා. පොත හොඳ එක නියතියක්. ඈ ස්වාභාවිකම ලියන්නියක්' කියලා කියන්න ගන්නවා. එහෙම ලියන අයගෙ ගිරියෙන් අල්ලලා බිම දාගෙන පහර දෙන්න මට හිතෙනවා. මොකද භාෂාව සුමන්‍ය කරගන්න මගේ මුළු ජීවිත කාලෙම ගත වුණා. ලිවීම කියන්නෙම භාෂාව නැවීමට. ඒක ලේසි වැඩක් නෙවෙයි. භාෂාව එක්ක කරන මේ ගනුදෙනුවට වැඩිපුර ම උදව් වෙන්නේ බයිබලය. භාෂාවෙ තියෙන සංගීතවත් ගතිය, පෝසත්කම වගේ ම, රිද්මය මට අහු වෙන්නේ බයිබලයෙන්. ඒ නිසා ම මම ලියන්න පාවිච්චි කරන කාමරේ බයිබලයක් අනිවාර්යෙන්ම තියා ගන්නවා. ෂෙරී බෝතලේකුත් තියා ගන්නවා.ඊට අමතරව හරස්පද ප්‍රහේලිකා පුරවන එක, සොලිටෙයාර් ගේම් එක සෙල්ලම් කරන එකත් ලියන වැඩේට බාධාවක් නොවී කරන්න පුළුවන්. හැබැයි ලියන අතරේ සංගීතයට ඇහුම්කම් දෙන එක නම් කරන්නම බෑ.

ලිවීම වගේම සංස්කරණයත් හරි ම වැදගත්. කෙනෙක් එහෙම නොකරනවා නම්, ඒක වස වැ‍රැද්දක්. සංස්කාරකවරයට අත් පිටපත යවන්න කලින් ඔක්කොම වැ‍රැදි ටික හදලා යැවීම අනිවාර්යයි. එහෙම නොකළොත්, අක්ෂර වින්‍යාස වැ‍රැදි ටිකයි, කතාවෙ වැ‍රැදියි ඔක්කොම එයා දකිනවා. ඒක හරි ලැජ්ජාවක්. පොතක් මුද්‍රණය කරන්න කලින් කර්තෘ ඒ ගැන සෑහීමකට පත් වෙන්න ඕනැ.

අනිත් එක, නිර්මාණශීලීත්වය කියන්නෙ පාවිච්චි කරන තරමට වැඩෙන දෙයක් මිසක්, ගෙවෙන දෙයක් නෙමෙයි. වැඩි වැඩි ලිවීමෙන් වාසිය ලැබෙන්නෙ තමන්ටමයි.

මම 1967 ඉඳන් ම වැඩ කළේ එක ම සංස්කාරකවරයෙක් එක්කයි. එදා ඉඳන් අද වෙනකන්ම එයා අහන පොදු ප්‍රශ්නයක් තියෙනවා. 'කොමාව පාවිච්චි කරන්න ඕන හැම තැනකම තිත් කොමාව පාවිච්චි කරන්නෙ?' මේ ප්‍රශ්නෙට එදා ඉඳන් ම මම විවිධ උත්තර දීලා තියෙනවා. ඒවා මෙන්න මේ වගෙයි. 'ආයෙ කවදාවත් මං ඔයත් එක්ක කතා කරන්නෑ. කවදාවත් ම නෑ. බොහොම ස්තූතියි.' ඊට පස්සේ ගෙදර ගිහින් ලියපු එක බලමින් ඔහුගෙ යෝජනාව ගැන හිතනවා. 'ඔබ හරි. ඒත් ඉතිං ඒක ලොකු දෙයැක්යැ? ආයෙ කවදාවත් මේ ගැන මතක් කරන්නෙපා. ආයෙ මතක් කළොත් මම කිසි දවසක ඔබත් එක්ක කතා කරන්නෑ' කියලා ටෙලිග්‍රෑමයක් යවනවා. හැබැයි ඔහු තිත් කොමාව ගැන ආයෙ, ආයෙ මතක් කරන එක නැවැත්තුවෙත් නෑ. මම ටෙලිග්‍රෑම් යවන එක නැවැත්තුවෙත් නෑ. මම එවපු ටෙලිග්‍රෑම් ඔක්කොම එකතු කරලා තියාගෙන ඉන්නවා කියලත්, එක දවසක් ඔහු කිව්වා .

පත්තරේක වැඩ කරන නෝනා කෙනෙක් දවසක් කවි ලියන්නෙ කොහොමද කියලා මගෙන් ඇහුවා. ඇත්තට ඒක හරි ම වැදගත් ප්‍රශ්නයක්. හරියට පියානෝ වාදකයෙක් පියානෝවේ යතුරු මත ඇඟිලි අරගෙන යනවා වගෙයි. ලියන්න ඕන කරන දේ මම මුලින්ම මගේ මනසෙන් හොයනවා. ඊට පස්සෙයි කවියට එළියට එන්න ඕන වෙන්නෙ. තව සමහර වෙලාවට යම් සිද්ධියක් දැක්කහම, මට කවියක් ලියන්න වුවමනාවක් ඇති වෙනවා. මේ වුවමනාව දෙ ආකාරයි. එක්කො කවිය මගේ ළඟට එළැඹෙනවා. නැත්නම් මම කවියට එළැඹෙනවා. ඒ වගේම ඕනම කෙනකුට කවි ලියන්න පුළුවන් කියලත් මම හිතනවා. ඒක තමන්ගෙ ඇතුළෙන්ම පැන නඟින්න ඕන වුවමනාවක්. අවට පරිසරේ සිද්ධ වෙන දේ ගැන ඇහෙන විදිහෙ තියුණු කනක් තියෙනවා නම්, වැඩේ ලේසියි. කවියක් ලියන්න පටන් ගන්නෙ තමන්ගෙම ඇතුළේ, තමනුත් නොදන්න ඉතා ම නිශ්ශබ්ද අහුමුල්ලකින්. අවට පරිසරේ සද්ද තියෙන්න බෑ කියලා ඒකෙන් කියවෙන්නෙ නෑ. ලියද්දි, ජෑස් සංගීතේ මහ හයියෙන් දාගන්න මම දන්න සමහර කවියෝ, ලේඛකයෝ ඉන්නවා. හැම ලේඛකයකුටම ලියන්න උත්තේජනයක් ගන්න, ඒ අයටම ආවේණික ක්‍රම තියෙනවා. සමහර ලේඛකයෝ පැය හයක් තිස්සේ හිටගෙන ටයිප් රයිටරෙන් ලියනවා. මම දන්න තවත් ලේඛිකාවක් ලියන්නේ, එයාගෙ කම්පියුටරය ඇඳුම් ගබඩාව ඇතුළේ තියාගෙන. මම ලියන්නෙ කුලියට ගත්ත හෝටල් කාමරයක් ඇතුළේ, කහ පාට ලියන කඩදාසිවල, බෝල්පොයින්ට් පෑනෙන්.

සාමාන්‍යයෙන් මාසයක් විතර ගියාට පස්සේ, හෝටලේ සේවකයෙක් මගේ දොර යටින් කොළයක් දානවා. 'ඔබේ කාමරයේ ඇඳ ඇතිරිලි මාරු කරන්න ඉඩ දෙන්න, ඒවා දැන් කිළිටි වෙලා ඇති බවට සැකක් නෑ' ඒත් මම කවදාවත් ඇඳේ නිදා ගන්නෙ නෑනෙ. පු‍ටුවෙ වාඩි වෙලා ලියන එකනෙ මම කරන්නේ. ඉතිං කොහොමද ඇතිරිලි කිළිටි වෙන්නේ. කුණු කූඩය අස් කරන්න විතරක් මම ඒ අයට ඉඩ දෙනවා.

හෝල්මාර්ක් ආයතනේ සුබ පැතුම්පත්වල මම කෙටි වාක්‍ය ලියනවයි කියලා එක දවසක් ඔවුන් ප්‍රසිද්ධ කළා. මේ ගැන කිවිඳියකගෙන් පත්තරේක කෙනෙක් අදහස අහලා තිබ්බා. එයා කිව්වේ මායා ඇන්ජලෝ එයාගෙ කලාව ඒතරම් පහළට ගෙනාව එක ගැන කනගා‍ටුයි කියලයි. මම ඒ කතාව පත්තරෙන් කියෙව්වා. එදාම හවස මම උන්නේ මියාමිවල පොත් සාප්පුවක පොත් ‍තෝරමින්. පොත් සාප්පුවෙ ඇතුළේ ඇවිදිමින් ඉන්න අතරේ, මගේම උස, මගේ වයසේ ගෑනු කෙනෙක් හම්බ වුණා. 'ඔබ මායා ඇන්ජලෝ වගේමයි' එයා කිව්වා. 'ඉතිං මම තමයි මායා ඇන්ජලෝ'. ඈ මගේ දිහා බලාගෙන අඬන්න ගත්තා. 'ඇන්ජලෝ මහත්මිය, මම මගේ දුවත් එක්ක අවුරුදු පහක් තිස්සේ අමනාප වෙලයි උන්නේ. ඒත්, පහුගිය නත්තල් මාසෙ දුව මට කාඩ් එකක් එව්වා. ඒකෙ තිබ්බේ 'අම්මාගේ ආදරය සුවපත් කරයි' කියලා. ආයෙමත් ඈ අඬන්න ගත්තා. මාත් ඇඬීමට එකතු වුණා. 'දුවයි-මමයි ආයෙත් යාළු වුණා. දැන් මම ඇඳට යන්නේ දුව එවපු කාඩ් එකත් අරන්. ඇඳ ළඟ මේසෙ උඩින් කාඩ් එක රදවලා තියලා මම නිදා ගන්නවා. උදේට කෝපි හදන්න මුළුතැන්ගෙට යද්දි, ඒකත් අරගෙන යනවා. වෙන්වෙලා හිටපු අපි දෙන්නා දැන් ආයෙත් එකතු වුණා. ඔබට බොහෝම ස්තූතියි.' ඒ වෙලාවෙ මට දැනුණ හැඟීම හරි ම ලස්සනයි. හෝල්මාර්ක් සුබ පැතුම්පත් ලිවීම අභියෝගයක්. දිගු කාලයක් ඒක නොකළත් කළ කෙටි කාලය ගැන මට සතු‍ටුයි.

භාෂාවත් එක්ක සෙල්ලම් කරන්න මම හරි ම කැමැතියි. හැම වාක්‍යයකටම අයිති සර්ව සම්පූර්ණ වචන තියෙනවා. ඇත්තම අභියෝගය වෙන්නේ, ලියනකොට ඒ වචන හොයාගන්න එකයි. භාෂාවට ගරු කරන්න ඉගෙන ගත්තහම, භාෂාවත් ඔබට උදව් කරන්න එකඟ වෙනවා. ප්‍රධානම දේ, අවධානයෙන් සිටීම සහ නොනවත්වා ලිවීමයි. ඊළඟට බය නොවීම. කෙනෙක් නිර්භීතව ඉපදුණේ නැත්නම්, ඒ කෙනා දියුණු කරන්න පුළුවන් ශක්තියක් එක්ක හැසිරෙනවා. තමන්ගෙ ඇතුළේ තියෙන ශක්තිය හොයාගන්න එකයි වැදගත්. ධෛර්යය නැතිව අපට කරුණාවන්ත වෙන්නවත්, සත්‍යකාමී වෙන්නවත්, අවංක වෙන්නවත් බෑ. ලියනවා කියන්නෙ බය නැතිව අවදානම් ගන්න ලෑස්ති එකටයි. තමන් ලියන්නෙ මොනවද? ඒකෙ අන්තර්ගතය, හැඩය, ආකෘතිය මේ ඔක්කොම තීරණය වෙන්නෙ ඊට පස්සෙයි.

ආශ්‍රිත කියැවීම්:

https://bit.ly/2mfFCx3
https://bit.ly/2VylftW
https://bit.ly/2bPfELk
https://bit.ly/2NIIdMi
https://read.bi/2ECn0iL
https://bit.ly/2TyYdFO

නව අදහස දක්වන්න