මං ජීවත් වෙන්න කවි ලියන්නේ නෑ | දිනමිණ

මං ජීවත් වෙන්න කවි ලියන්නේ නෑ

අනුසාර මාහිංගොඩ
රංග සමරවික්‍රම

රංග සමරවික්‍රම කවියාගේ දෙවැනි කාව්‍ය සංග්‍රහය, "බාගත සොඳුරිය" යි. මෙය ගොඩගේ ප්‍රකාශනයකි. පහත පළවන්නේ රංග සමරවික්‍රම කවියා හා කළ සාකච්ඡාවකි. 

 ඔබ දීර්ඝ කාලීනව කවි නිර්මානයේ නියැළෙන්නෙක් විදිහට, කවියෙකුට තිබිය යුතුම දේ කුමක්ද?

ටී. එස්. එලියට් කියනවා, වචන සහ පෑනක් තිබුණට කවියක් ලියන්න බෑ. ඒ සඳහා ප්‍රතිභාවක් අවශ්‍යයි කියලා.

වචන, පෑන, ප්‍රතිභාව සියල්ල තිබුණත්, පරිකල්පනයෙන් නිර්මාණයක් කරනවට වඩා, අවට පරිසරයත් එක්ක ගැටී අත්දැකීමක් ලබාගෙන කරන නිර්මාණය සාර්ථකයි. එතැනදී අපට බීජ සපයාගත හැකියි. ඒ සඳහා අප සංවේදී විය යුතුයි. සංවේදී වීම මඟින්, සමාජයෙන් ගොඩාක් බීජ අහුලා ගන්න පුළුවන්. අපට දැනෙන වස්තු බීජයක් ගත්තහම, ප්‍රතිභාවෙන් ලබා ගන්නා ව්‍යුප්පත්තිය, සතතාභ්‍යාස මඟින්, සාර්ථක කවියක් බිහිකර ගැනීමේ හැකියාව තිබෙනවා. ඊට අමතර, කවියට ආකෘතියක් ගොඩනඟා ගැනීම.බොහෝ පිරිස හිතන්නේ, කවිය කියන්නේ සිව් පද එසේ නැතිනම් සඳැස් කවියට කියලා. ඒ අදහස නිවැරැදි නැහැ. නිසඳැස් ආරේ කවියත් කවි හැටියට ගන්න පුළුවන්.

වෘත්ත තරංගනී, කව් සිළුමිණ, මුවදෙව්දාවත, සසඳාවත වැනි සම්භාව්‍ය කෘති හදාරලා, ඒ හැදෑරීම මඟින් අපි ගොඩනඟා ගන්නා ආකෘති අපටම ආවේණික කර ගන්න පුළුවන්. සීගිරි කුරුටු ගීවල වෙනම ආකෘතියක් තියනවා. කවියක්, චිත්‍රයක්, ගීතයක් හෝ වෙන ඕනෑම නිර්මාණයක් මඟින් අප බලන්නේ, ග්‍රාහකයා තෘප්තියට පත් කරන්නයි. නිර්මාණය බොහෝ දුරට ආනන්දයෙන් පටන් අරගෙන, ප්‍රඥාවෙන් අවසන් වෙන්න පුළුවන්. ආනන්දයෙන් ආනන්දයට වෙන්නත් පුළුවන්. සමහර නිර්මාණ ගැඹුරුයි. සමහර නිර්මාණවල ඇත්තේ වින්දනයක් විතරයි. මේ සියල්ල මඟින්, අපට සාර්ථක කවියෙක් වෙන්න පුළුවන්.

"බාගත සොඳුරිය" කවි පොත පාඨක සමාජයට මුදා හැරීමෙන්, ඔබ පෙරළා සමාජයෙන් බලාපොරොත්තුව වන්නේ?

"බාගත ‍සොඳුරිය" පොතක් විදිහට එන්නේ 2017 වසරේදී ගොඩගේ සමාගම පවත්වන අත්පිටපත් තරගය හරහායි. තරගයට අත්පිටපත භාර දුන්නා. එහිදී අවසන් වටයට තේරුණු කවි අත්පිටපත් අතර, මගේ "බාගත සොඳුරිය" ත් තිබෙනවා. ඒ අනුව තමයි ගොඩගේ සමාගම තීරණය කරන්නේ, මගේ අත්පිටපතත් මුද්‍රණය කරන්න. මා කවියක් ලියන ප්‍රධාන කාර්යය වන්නේ මගේ ඇතිවෙන හැඟීම්, සංවේදනා, අත්දැකීම් ලියන එක. ඇතැම් අවස්ථාවල "නෝට් බුක්" එකේ කුරුටු ගාලා තියෙනවා. මේවා කවි විදිහට ගන්න සුදුසු නම් තමයි, කවියක් බවට පත් කරන්නේ.

මා කවියක් ලිවීමෙන් බලාපොරොත්තු වෙන්නේ, යහපත් දෙයක් සමාජයට දෙන්න. මගේ නිර්මාණ මම සමාජගත කරනවා. රසිකයා ඒක ග්‍රහණය කරගෙන, යම් රසයක් ලබනවා. කවිය තේරුම් ගන්නේ රසවිඳින්නන් තුළ තියෙන විඥාන ධාරාවත් එක්කයි ඒ සීමාව තීරණය වෙන්නේ.

රසිකයා, කවියෙන් මා දෙන දේ ග්‍රහණය කරගෙන යහපත් වෙනවා නම්, සංවේදී පුද්ගලයෙක් බවට පත් වෙනවා නම්, රසවත් පුද්ගලයෙක් වෙනවා නම්, යම් දැනුමක් ලබනවා නම්, ඒක මගේ අපේක්ෂාවේ මල්ඵල ගැන්වීමක් වෙන්න පුළුවන්.

ඔබ කවියෙන් ප්‍රකාශ කරන දේ රසිකයාට ග්‍රහණය කර ගැනීමට නොහැකි වුවහොත්?

නෙල්ලි ගෙඩියක් කනකොට, අපට එකපාරටම දැනෙන්නේ කහට රසයක් වෙන්න පුළුවන්. සමහර විට තිත්ත රසයක්, ඇඹුල් රසයක් වෙන්නත් පුළුවන්. ලුණු රසයක් වෙන්නත් පුළුවන්. ටිකකින් මේ රස මුහුවෙලා, පැණි රසයක් අපට දැනෙනවා. අන්න ඒ වගේ මම දකින්නේ. රසිකයාට මා දෙන දෙය ග්‍රහණය කර ගන්න පුළුවන්. සමහර විට ග්‍රහණය කර නොගන්න පුළුවන්. ඒක වෙන්නේ, රසිකයාගේ විඥාන ධාරාවත් එක්කයි. මා ලියන කවිය, සමාජයේ හැමෝම රසවිඳින්න ඕනෑ කියන මතයේ මම නෑ. එහෙත් සමහර අවස්ථාවල විවිධ මතවාද, රස ගුණ තියෙන විවිධ පුද්ගලයන් තුන්දෙනෙක් එකතුව මගේ කවිය ගැන විවිධ අදහස් පළ කරන්න පුළුවන්. සමහරෙකුට තේරෙන්න පුළුවන්. සමහරෙකුට නොතේරෙන්න පුළුවන්. කවිය දැනිච්ච පුද්ගලයා, කවියේ අර්ථය අනෙක් අයට තේරුම් කරලා දෙන්න පුළුවන්. එතැනදී අනෙක් අයත් මගේ කවිය විඳින්න පුරුදු වෙනවා.

කවිය නොතේරෙන පුද්ගලයා, කවිය හොයාගෙන යන මට්ටමට නිර්මාණය රසිකයාට දෙන්න ඕනැ. සමාජයේ කවි සාක්ෂරතාව වැඩි කරන්න දායක වෙන්න අපට හැකි නම්, ඒක තමයි මා දකින යහපත.

මෙරට කවියන් අතර රංග සමරවික්‍රම කියන කවියාට ඇති තැන ?

ලේබල්ගත වෙන්න පුළුවන් මට්ටමේ කවි‍යෙක් කියලා, මා විශ්වාස කරන්නේ නෑ. ඒත්, මගේ කවි පිළිබඳ දැක්මක් මට දුන්නු කෙනෙක් තමයි නන්ද වීරසිංහ ප්‍රවීණ කවියා. මගේ නිර්මාණශීලීකම අඳුරගෙන, උපදෙස් දෙන පුද්ගලයෙක් තමයි එතුමා. ලේබල් ගතවීමට කෙසේ වෙතත්, මම මේ අභ්‍යාසයේ ඉන්නවා. ලේබල් ගතවීම අනාගතයේදී සිද්ධ වෙයි. දැන්ම මට ඒකට අනාවැකි පළ කරන්න බෑ.

මේ පරිභෝජන සමාජය තුළ කවියට අත්වන ඉරණම පිළිබඳ ඔබ පෙරවදනේ සටහන් කරනවා?

ඒක තමයි යථාර්ථය. ඒකට හේතුව, "කලාව කන්නද?" කියලා ඇතැම් තැනක අපේ සමාජයේ ඇහෙන අවස්ථා තියෙනවා. මනුෂ්‍යයෝ සංවේදී වෙන්නේ, දුක හඳුනන පුද්ගලයන් වෙන්නේ, අනුන්ට උපකාර කරන පුද්ගලයෙක් වෙන්නේ, ඔහු හෝ ඇය කලාකාමියෙක් වුණොත් විතරයි. දයාව, අනුකම්පාව, ආදරය සියල්ල මානවීය ගුණාංග එකතු වෙන්න නම්, මිනිසා තුළ කලාත්මක හැඟීම් වර්ධනය වෙන්න ඕනේ.

කවි පොතක් මුද්‍රණය කරන්න ගියොත්, ප්‍රකාශකයෙක් බාර ගන්නේ නෑ. මගේ "බාගත සොඳුරිය" දෙවැන්න. පළමු පොත "අතුරු ප්‍රේමය" කර්තෘ ප්‍රකාශනයක් විදිහට තමයි එන්නේ. කවි පොත් මුද්‍රණය නොකරන්න හේතුව හැටියට ප්‍රකාශකයෝ කියන්නේ, කවි පොත් විකිණෙන්නේ නෑ කියලයි. ඒත්, මා දකින්නේ මේ සමාජයේ කවි පොත් රසවිඳින සුළුතරයක් ඉන්නවා. ඒ පිරිස අතරට කවි පොත් ගියහම ඇති. ලාබ ලබන්නවත්, ජීවත් වෙන්නවත් කවි ලියන්න හොඳ නෑ. අපි ඒ මඟින් සමාජයට දීප්තියක් දෙනකොට, සමාජයෙන් අපට දීප්තියක් ලැබෙනවා. කවියකුගේ සතුට විය යුත්තේ ඒක තමයි .

ඔබ දිගු කවියට වඩා කෙටි කවිය ගැන විශ්වාස කරන්නෙක්?

අපට ලැබිලා තියෙන පැය විසිහතර තුළදී, අපේ ජීවිතය කළමනාකරණය කර ගැනීමට වෙලා තියෙනවා. රැකියා, ගෘහ, සමාජ ජීවිත සඳහා වේලාව වෙන් කරනකොට, කියැවීම, රසවිඳීම, හිතීම සඳහා තියෙන්නේ සීමා සහිත වේලාවක්. ඒ, සීමා සහිත වේලාවේදී චූල කවිය, හයිකු වැනි කවි සම්ප්‍රදාය භාවිත කිරීමට හැකියි. ඒ, අපට මහා දෙයක් සඳහා වෙන් කිරීමට කාලයක් නැති නිසයි.

මා කරන්නේ අත්හදා බැලීමක්. මා චූල කවිය පුවත්පත්වල, මුහුණු පොතේ පළ කරනවා. ඒවාට ප්‍රතිචාර ලැබෙනවා. කෙටි කවියෙන් අත්හදා බැලීම් කළා. මෙයින් ලොකු ගැඹුරකට යන්න පුළුවන්. රසිකයාට මේ කවිය හොඳට දැනෙනවා කියන විශ්වාසය මට ආවා. සඳැස් ආර, සිව්පද ආර කවිය ලියන්නේ සහ රසවිඳින්නේ නෑ කියලා, එයින් අදහස් වෙන්නේ නෑ. යවහන් දෝෂ මඟහැරලා, සිව්පද කවි පන්ති ලියලා තිබෙනවා. ඒත්, දනවන්න පුළුවන් ආකෘතිය කියලා හිතෙන්නේ කෙටි කවි සම්ප්‍රදායයි.

කවිය ගැන අන් කවරදාටත් වඩා ප්‍රබල කතිකාවක් ගොඩනැගෙමින් පවතිනවා?

කොළඹ හා තදාසන්න ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන, යම් කිසි ප්‍රමාණයකට කවි පොත් එළිදැක්වෙනවා. ඒක සතුටක්. ඒ වගේම තමයි, කවි ටිකක් ලියලා පොතක් එළිදැක්වීමෙන්, කවියේ යෙදෙන්න තල්ලුවක් ලැබෙනවා. අංකුර කවියන්ට මම කියන්නේ, කොහොම හරි කවි ටික පොතක් විදිහට එළියට දාන්න කියලයි. තමන් කවි ලියනවා කියලා, එතකොට තමයි තමන්ට දැනෙන්නේ. සමාජ මාධ්‍ය මඟින් තමන්ට තමන්ගේ නිර්මාණ හෘදයග්‍රාහී විදිහට එළියට දෙන්න පුළුවන්. සීමිත පිරිසකට, කවිය සමාජගත කරන්න ජාතික පුවත්පත් මඟින් අවස්ථාව සැලසෙනවා . අද කවියට, කවි පොත්වලට තැනක් තිබෙනවා. කවිය කියවන රසික පිරිසක් බිහි වෙමින් සිටිනවා. ඒක කවියන්ට තව තවත් කවි ලියන්න උත්තේජනයක් සපයන්නක්.

අද ඇතැම් කවියන් සමූහගත වෙන්නේ, තම තමන්ට ලැදි කල්ලි වටායි?

ඇතැම් කවියන් කුලක හදාගෙන ඉන්නවා. ඒ කුලකයෙන් පිට කිසිම දෙයක්, ඒ අය ගණන් ගන්නේ නෑ. ඒ සීමාව තුළ තමයි ඔවුන් කවිය රස විඳින්නේ. සමූහගතවීම් වෙන්නේ මේ පිරිස විතරයි. කවිය අගයන්නේ, ඒ ගැන කතා කරන්නේ, ඒ කුලකයේ අය එක්ක විතරයි. මේ කුලකගත වීමෙන් වෙන්නේ, ඇතැම් හොඳ අංකුර කවියන් හුදෙකලා වීමයි. ඔවුන් අගය කරන්න කවුරුත් නැති වෙනවා. ඒ නිර්මාණ ගැන කතා කරන්න කෙනෙක් නැති වෙනවා. ඒත්, කැළෑවේදී ජය ගන්නේ ශක්තිවන්තයා. ඒ වගේ අංකුර කවියන්, නිර්මාණ ශක්තියෙන්, මූල්‍යමය ශක්තියෙන් ශක්තිවන්තයන් වෙනවා නම්, අර පිරිස පරද්දලා, ඉදිරියට යන්න පුළුවන්. ඒ අය කාටවත් නවත්තන්න බෑ.

නව අදහස දක්වන්න